Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 35 : මහා පරාක්‍රමබාහු රජුගේ රාජසභා මණ්ඩපය

මහා පරාක්‍රමබාහු රජුගේ රාජසභා මණ්ඩපය රාජවෛශ්‍ය භුජංග මණ්ඩපය

මහාපරාක්‍රමබාහු රජතුමාගේ “වෛජයන්ති” නමින් හඳුන්වන රජ මාලිගය උත්තුංග හස්ති රාජයෙකු සේ ඈතට දිස්වන්නේ ය. පරාක්‍රම සමුද්‍රය ද, මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් නිර්මාණය වූවකි. පොළොන්නරු ඇතුළු නගරයේ පරාක්‍රමබාහු රජුගේ රාජමාලිගයට නැගෙනහිර දෙසින් “රාජ වෛශ්‍ය භුජංග” මණ්ඩපය පිහිටියේ ය.

පොළොන්නරුව අනුරාධපුර රාජධානියට පසුව ලංකාවේ මධ්‍යතන යුගයේ අගනුවර වූ අතර, එම රාජධානිය පොළොන්නරුව නමින් ප්‍රකට වූයේ ය.

එම රාජධානියෙහි රජ කළ සෙසු රජවරුන්ට වඩා මහ විජයබාහු, මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරු ප්‍රමුඛ වූහ. විශේෂයෙන් ඒ රජවරුන් තිදෙනාට අයත් රාජ මන්දිර සහ සාදවන ලද විහාර ආරාම පොළොන්නරුව පුරාණ නටබුන් වලින් පැහැදිලි වෙයි.

(මහ විජයබාහු රජතුමා – සිරිසමන් විජේතුංග පි. 25 – දයාවංශ ජයකොඩි සහ සමාගම -2012)

මහාපරාක්‍රමබාහු රජතුමාගේ “වෛජයන්ති” නමින් හඳුන්වන රජ මාලිගය උත්තුංග හස්ති රාජයෙකු සේ ඈතට දිස්වන්නේ ය. පරාක්‍රම සමුද්‍රය ද, මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් නිර්මාණය වූවකි. පොළොන්නරු ඇතුළු නගරයේ පරාක්‍රමබාහු රජුගේ රාජමාලිගයට නැගෙනහිර දෙසින් “රාජ වෛශ්‍ය භුජංග“ මණ්ඩපය පිහිටියේ ය. රජතුමා සහ ප්‍රභූන් එකල ගත කළ සුඛෝපභෝගී ජීවිතයට එම මන්දිරය උපකාරි වූයේ ය. මෙම අතිරේක ගොඩනැගිලි විශේෂය මාළිගාවේ ම කොටසක් වූ “වැටුම් මඩුව“ ලෙසින් හැඳින්වේ. මෙහි දිග අඩි 73 කි. පළල අඩි 32 කි. මේ ගොඩනැඟිල්ලේ බිම් සැලැස්ම ගලින් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ලකි. අනුක්‍රමයෙන් කුඩා වන ලෙස තට්ටු තුනකින් සමන්විත විය. මෙම බිම් සැලැස්ම අනුව ද මෙය මහල් ගොඩනැගිල්ලක් බව පැහැදිලි ය. එහි සෝපානයෙන් බිමට බසින පා ගලෙහි මේ සඳහා වූ නාමය “රාජ වෛශ්‍ය භුජංග යනුවෙන් හඳුන්වා ඇත.

මෙම ගොඩනැගිල්ල, ප්‍රසිද්ධ මඟුල් මඩුවක් ලෙසින් ආරක්ෂා වී ඇත. මෑතදී මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කර තිබේ. එහි දී එය මුලින් පැවති ස්ථානයෙන් වෙනස් වී ඇති බවත්, මුලදී තෝපා වැව ඉවුර අසල නිශ්ශංකමල්ල රජු කරවන ලද වර්ගයේ ම ගොඩනැගිල්ලකින් ගත් කැටයම් සහිත ගල්පුවරු මෙහි ගෙනවුත් එය අලංකාර කොට ඇති බවත් පැහැදිලි වෙයි. උස් වූ පාදමක් සහිත පේළි තුනකින් යුතු මෙම ගොඩනැගිල්ල ගණ දෙවි රූප සහ එකිනෙකින් වෙනස් වන හස්තිරූප පේළියකින් කැටයම් කර සරසන ලද්දේ ය. ගොඩනැගිල්ලේ වහලය සිහින්ව හා මැනවින් අලංකාර කරන ලද ටැම් පේළි හතරක් මගින් දරා සිටී. ඒවා මල් ලියකම් මෝස්තර වලින් අලංකෘත ය. සෑම පේළියක ම එවන් ශිලාමය ටැම් පේළි දොළහක් දක්නට ලැබේ. මේවා පිහිටා තිබුණේ ශිලාමය පදනමක් මත ය. මේ පාදමෙහි පහළ වේදිකාව පැතලි ඇත්රූප වලින් ද, මධ්‍ය වේදිකාව සම්ප්‍රදායික සිංහරූප වලින් ද, ඉහළ වේදිකාව වාමන රූපවලින්ද අලංකාර කර ඇත. අදියර දෙකකින් යුක්ත පියගැට පෙළ පාදමෙන් (අධිෂ්ඨානයෙන්) විහිදෙන උතුරු අන්තයෙන් මණ්ඩපයට ඇතුළුවන එකම ප්‍රවේශ ස්ථානය වේ. පියගැට පෙළ මකර රූපයෙන් හෝ කොරවක් ගලින් යුක්ත වන අතර, එහි පාමුල සඳකඩ පහණක් වේ. දොරටුවෙහි දක්නට ලැබෙන චිත්තාකර්ෂණීය ලක්ෂණය වන්නේ පියගැට පෙළෙහි මුහුණේ දෙපසින් ම දොරටු ආරක්ෂා කරන, ශෛලිගත ලෙසින් නිර්මාණය කර තිබෙන සිංහ රූප දෙක ය. මෙවැනි දොරටු හඳුන්වන්නේ සිංහ දොරටු හෙවත් “සිංහද්වාර” යනුවෙනි. ස්තම්භයන් ගෙන් සෑදුම්ලත් මෙම චිත්තාකර්ෂණීය ප්‍රාසාදය තුළ පිරිවර අමාත්‍යවරුන් සමගින් සභා ගොඩනැගිල්ලේ මහාපරාක්‍රමබාහු නම් වු මෙම ශ්‍රේෂ්ඨ නරපතියා සිංහාසනාරූඪ වී සිටියේ කෙලෙසින් ද යන්න පවා ඕනෑම අයෙකුගේ සිහියට නගා ගත හැකි ය. මෙම ප්‍රාසාද ගොඩනැගිල්ලේ ගිණිකොන දිශාභිමුකව වසන ලද මැටි නළයන් සහිත වැසිකිළි වළක් වෙයි. මෙම වැසිකිළිය අසල මාවත ඔස්සේ යාර කීපයක් පෙරට ගමන් කළ විට ගිණිකොන ආසන්නව ඇතුළු නුවර ප්‍රාකාරයෙන් පිටත රාජකීය පොකුණ දක්නට ලැබේ.

(පොළොන්නරුව මධ්‍යකාලීන ලක්දිව අගනගරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 133-134) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1998)

මහාපරාක්‍රමබාහු රජතුමා පිළිබඳ සඳහන් කරන මහා වංසයේ දෙවැනි කොටසෙහි (චූලවංසයේ යැයි සමහරුන් හඳුන්වන) මේ රජතුමා නෘත්‍ය ගීතාදිය පැවැත්වීම සඳහා “රාජ වෛශ්‍යභුජංග නමින් මණ්ඩපයක් ඉදිකර වූ බව පෙන්වා දී ඇත. පැරකුම්බා සිරිත නම් ග්‍රන්ථයෙහි ද “දින පැරැකුම් බුජරජහිමි රාජ වෛශ්‍යභුජංග“ යනුවෙන් පැරකුම්බා රජුගේ විරුද නාමයක් ලෙස ඒ නම සඳහන් වෙයි. පොළොන්නරුවේ උපනගර තුනක් පැවැති බවත්, එකක් රාජ වෛශ්‍ය භුජංග පුරය නමින් ප්‍රකටව තිබුණු බවත් කියනු ලැබේ. මේ කුමන ආකාරයෙන් වුවද, එම විරුදාවලිය භාවිත කර තිබෙන්නේ රාජ්‍යත්වය හැඟවීම සඳහා ය. එ බැවින් රාජකීය ගොඩනැගිල්ලක් වූ මෙයට එනම භාවිත වන්නට ඇත. මහා පරාක්‍රමබාහු රජු විසින් මහවිජයබාහු රජුගේ මාළිගාවේ නටබුන් පිහිටි ස්ථානයෙහි මෙය ඉදිකරන්නට ඇති බව සමහරු සිතති. කෙසේ වුවද, මෙම ගොඩනැගිල්ල මහාපරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස සලකනු ලැබේ. පසු කාලයේ දි දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජු සිය පුතණුවන් ලවා මෙම මන්දිරය ප්‍රතිසංස්කරණය කරවා සිය දෙවැනි අභිෂේකයක් ද මෙහි දී කළ බව සඳහන් වෙයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු වු ඒ.ඇම්. හෝකාර්ට් මහතා විසින් සොයාගන්නා විට විනාශ වී තිබූ ගොඩනැගිල්ල ඔහු හා පසුව පරණවිතාන මහතා ද සංරක්ෂණය කළහ. පැරැණි සිංහල රජවරුන්ගේ සම්භාව්‍ය රාජ්‍ය මන්ත්‍රණ සභාවකට මනා නිදසුනක් ලෙස මෙය සැලකිය හැකි ය. චූලවංසයේ සඳහන් වන පරිදි” තුන් මහල් රාජ වේසිභුජංග නම් මණ්ඩපය කර වූ රජතුමා එය ද විසිතුරු සිත්තමින් හා කල්ප වෘක්ෂයකින් සරසවා වෘක්ෂ මූලයෙහි මා හැඟි වේදිකාවක් ද කරවී ය. “මෙහි සඳහන් කල්ප වෘක්ෂය හා සිතුවම් නැතත්, තුන් මහල් වේදිකාව ඇත් රූපවලින් යුක්ත ය. මෙයින් අටලොසකම සොඬ හා වල්ගය වෙනස් ආකාරයකට නිම කොට තිබේ. කෙළිදෙළෙන් දුවන,සොඬ කටලාගත්, වල්ගය දිගු කරගත් මේ ඇතුන් ගේ විලාශය කලාත්මක ලෙස නිමාකොට ඇත.

(මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව මහාචාර්ය ඒ ලගමුව පි. 92-93 සරසවි ප්‍රකාශකයෝ -1999)