Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: මුසාබස් කීම සසර පුරුද්දක් ද?

මුසාබස් කීම සසර පුරුද්දක් ද?

බොරු කීම ඇතැම් විට සංසාර පුරුද්දක් නිසා සිදුවන අවස්ථා ද තිබේ. මරණින් මතු බොහෝ කාලයක් නිරයේ දුක් විඳීමට සිදුවේ. පේ‍්‍රත ආත්මවල උපත ලබයි. නොකළ වැරැදිවලට නින්දා ලබයි. අනුවණ වෙයි. දුප්පත් ව උපත ලබයි. ගොත ගැහීම්,මුඛය ගඳ ගැසීම්, ගොළුවීම්, කටහඬ අමිහිරි වීම් සිදුවෙයි. අවිශ්වාස කරනු ලබන්නෝ වෙයි.

අනුන් මුළා කරවන අදහසින් ඇති දෙය නැති ලෙස ද, නැති දෙය ඇති ලෙස ද, සිදු වූ දෙය සිදුවූයේ නැති ලෙස ද, සිදු නොවු දෙය, සිදු වූ ලෙස ද, වචනයෙන් පැවසීම මුසාවාදය යි. ලිඛිත මාධ්‍යයෙන් එබඳු දෙයක් ප්‍රකාශයට පත්කිරීම, වෙනස් ඉඟි බිඟි පෑමකින් හෝ හස්ත මුද්‍රාදියෙන් පැවසීම මුසාවාදය වේ.

මුසාවාද අකුසලය සිදුකරනු ලබන්නා කිසියම් හෝ ලාභයක් බලාපොරොත්තු වෙයි. එබඳු කිසිදු ලාභ අපේක්ෂාවෙන් තොරව, බොරු කියන අය ද සිටිති. ඇතැමෙක් මුසා තෙපළන්නේ විහිළුවට ය. ඇතැමෙක් අන්‍ය කෙනෙකුට විනාශයක් කරවීමේ අදහසින් එය කරති.

චතුර්විධ කර්ම ක්ලේශ අතර තුන්වන ස්ථානය හිමි වන්නේ මුසාවාදයටයි. එය වචනයෙන් සිදුවන අකුසලයක් වුව ද, මානසික අපවිත්‍රතාවක ප්‍රතිඵලයක් නිසා ක්ලේශයක් වෙයි. දියුණුවන මිනිසකු තුළ හෝ ගමක හෝ රටක නොතිබිය යුතු ක්ලේශයකි. එය ඇති තැන අභිවෘද්ධිය පලා යයි.

තමා ප්‍රකාශ කරන අසත්‍ය වූ සෑම ප්‍රකාශයක් ම මුසාවාදයක් ද වන්නේ නැත. තමා ප්‍රකාශ කරන අසත්‍ය වූ හැම ප්‍රකාශනයක් ම මුසාවාදයක් බවට පත්වන්නේ නැත. කෙනෙක් නොදැන යමක් ප්‍රකාශ කළ හැකි ය. එබඳු අවස්ථාවක එය තමා සත්‍යය දන්නා නිසා එය මුසාවක් බවට පත්වන්නේ ය. ඇතැමෙක් අනාවැකියක් කියති. නමුත් එය සිදුවන්නේ නැත. එබඳු අවස්ථාවක එය මුසාවාදයක් බවට පත්වන්නේ ද නැත. වචනයක්, මුසාවාදයක් බවට පත්වීම සඳහා බලපානු ලබන කරුණු සතරකි.

1.තමා කියන කරුණ බොරුවක් වීම

2.තමා බොරුවක් කරන බව තමා දැන ගැනීම

3.එම බොරුව අනුන් රවටන අදහසින් ප්‍රකාශ කිරීම

4.අන්‍ය කෙනා එම ප්‍රකාශය විශ්වාස කිරීම යන කරුණු ය.

මෙම කාරණා අධ්‍යයනය කර බලන විට බොරුවක් පැවසීමේ ක්‍රියාවලියේ දී මූලික වශයෙන් මනසෙහි ඇතිවන අපවිත්‍රතාව පැහැදිලි ය. සංචේතනික වශයෙන් තමා කරන ප්‍රකාශය පිළිබඳව මනා වැටහීමක් තිබේ. තමාගේ ඥාන තලයේ පවතින ඥාන විශේෂයක් ඥානයට එකතු නොවීම සඳහා කරනු ලබන උත්සාහයකි. එසේ නැතිනම්, තමා බලාපොරොත්තු වන ලාභයන් හෝ අන්‍ය සමාජය විෂයෙහි සිදුවන විපතකි. තමා ප්‍රකාශ කරනු ලබන්නේ මුසාවාදයක් වුව ද, එහි අකුසල කර්මය සිදු නොවන අවස්ථා තිබේ. එනම් තමා ප්‍රකාශ කරන්නේ බොරුවක් වුව ද, නොදන්නා භාෂාවකින් ප්‍රකාශ කිරීම, අසන්නාට තේරුම් ගත නොහැකි වීම, තමා කියන්නේ බොරුවක් යැයි හිතාගෙන කීව ද, එය බොරුවක් නොවීම ආදි විවිධ සංකීර්ණ අවස්ථා දැකිය හැකි ය. වැරැදීමකින් කියැවෙන බොරුවකින් අකුසලයක් සිදුනොවේ. ඇතැම් විටෙක ඉටුකරන අදහසින් පොරොන්දු වී එය ඉටුකරගත නොහැකිවීම මුසාවාදයක් නොවුණත්, එය ඉටු නොකරන අදහසින්, පොරොන්දුවක් වුවහොත්, ඒ අවස්ථාවේ සිට ම, පව පිරේ. එම පොරොන්දුව පසුව ඉටු කළ ද මුල් චේතනාව නිසා එහි අකුසල කර්මය සිදු වේ.

තමා බොරු නොකියා වෙනත් අය ලවා එය කරවීම මගින්, අකුසලය සිදුවන්නේ කාටද? අන්‍යයන් ලවා මුසාවාදයක් කරවන විට කියන, කියවන දෙදෙනාටම අකුසලය සිදුවේ. නමුත් යම් කෙනෙක් වෙන කෙනෙකුගේ නියෝගයෙන් බොරුවක් කියන අවස්ථාවක එහි බොරු, සැබෑ බව නොදැන අන්‍යයා රැවටීමේ අදහසක් නැතිව ප්‍රකාශ කළ විට ඔහුට ඉන් අකුසලයක් සිදු වන්නේ නැත. කිසියම් හෝ ක්‍රමයකට තමා ප්‍රකාශ කරන්නේ බොරුවක් ය යන අදහස තමා දැනගෙන සිටීම ද, ඇසූ වදනින් අන්‍යයා රැවටීමට පත් වීම ද නිසා තමා අතින් එම අකුසලය සිදුවු බව දැනගත යුතු ය.

මුසාවාදයේ දී ත්, අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය යන බේදයක් තිබේ ද? මේ අකුසලය තුළ ද, අල්ප හා මහා සාවද්‍ය යන ප්‍රභේදයක් එයි. තමා ප්‍රකාශ කරන බොරුවට රැවටෙන පුද්ගලයාගේ සීල ගුණය, බොරුවෙන් සිදුවන හානිය ආදි කරුණු අනුව අල්ප සාවද්‍ය සහ මහා සාවද්‍ය භේදය ඇතිවෙයි.

තමා කියන බොරුව මඟින් සමාජයට හා පුද්ගලයාට සිදුවන හානිය අඩුවීම එය අල්ප සාවද්‍ය වේ. එමඟින් විශාල හානියක් සිදුවන්නේ නම්, එය මහා සාවද්‍ය වේ. තමා කියු බොරුවට රැවටෙන්නේ කුඩා දරුවෙකි. එය අල්ප සාවද්‍ය නම් වේ. සිල් ගුණයෙන් පිරි භික්ෂු නමක රැවටීම මහා සාවද්‍ය වේ.

මුසාවාදය නොකළ යුත්තකි. අන්‍ය බොහෝ අකුසල කර්මවලට වඩා විපාක ගෙන දෙන මුසාවාදය මානසික දුශ්චරිතයක ස්වභාවයයි. මුසාවාදී පුද්ගලයා නිතර සැකයෙන් ජීවත් වෙයි. අන්‍යයා ද අවිශ්වාස කරනු ලබයි. සමාජයේ පොදු මහජනතාව ද ඇතැම් විට පීඩාවට පත් වෙයි. ඒ නිසාම එහි විපාක ද වැඩි ය. ඇතැම් විට විලාසිතාවක් වශයෙන් බොරු කියන අවස්ථා ද දක්නට ලැබේ. සමාජයේ නින්දාවට, අපකීර්තියට පත්වීම සඳහා මෙය හේතු වේ. අනුවණ වී ඉපදීම හා මන්ද බුද්ධික වීම කෙරෙහි ද මුසාවාද අකුසල කර්ම හේතු වේ. ලෝවැඩ සඟරාවෙහි මුසාවාදය පිළිබඳ කරුණු මෙසේ සඳහන් වේ.

ලැදිව රජෙක් බොරු බස් කී විගස කයා
නැතිව ඍද්ධි බලයක් ඒ මිනිස් කයා
පොළොව පලාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා

බොරු කීම ඇතැම් විට සංසාර පුරුද්දක් නිසා සිදුවන අවස්ථා ද තිබේ. මරණින් මතු බොහෝ කාලයක් නිරයේ දුක් විඳීමට සිදුවේ. පේ‍්‍රත ආත්මවල උපත ලබයි. නොකළ වැරැදිවලට නින්දා ලබයි. අනුවණ වෙයි. දුප්පත් ව උපත ලබයි. ගොත ගැහීම්,මුඛය ගඳ ගැසීම්, ගොළුවීම්, කටහඬ අමිහිරි වීම් සිදුවෙයි. අවිශ්වාස කරනු ලබන්නෝ වෙයි. අඹු දරුවන් පවා කීම පිළිනොගනියි. අකීකරු දරුවන් ඇතිවෙයි. එනිසා බොරු කියන විට එහි පල විපාක විඳීමට සිදුවන බව ද සිහියට නගා ගත යුතු ය.