Print this Article


කාටත්පොදු සිත

කාටත්පොදු සිත

අප අතර නොයෙකුත් වෙනස්කම් තිබුණත් අප කාටත් පොදු එක් දෙයක් තිබෙනවා. ස්ත්‍රී පුරුෂ කියා වෙනසක් නොමැතිව, වර්ණය හා ජාතිය කියා වෙනසක් නොමැතිව සියලු ම සතුන්ට මෙන් ම මිනිසුන්ට පොදු වූ මේ දෙයට තමයි සිත කියා කියන්නේ.

අපට වගේ තිරිසන් සතුන්ටත් මෙය පොදු විත්තිය ඔබට පහසුවෙන් දැක බලා ගන්න පුලුවන්. හඬා වැළපෙන සත්තු, සමහර වේලාවට කෝපවෙන සත්තු. ඒ වගේ ම තදියම්කාර සත්තු ඉන්නවා. කුරුල්ලන්ට නාන්න වතුර බේසමක් තබා කුරුල්ලන් නාන හැටි බලන්න. ඔවුන් නාන්න එකා පස්සේ එකා පෝලිමේ සිටින හැටි බලන්න. අපේ ආරාමයේ තිබෙන කුරුල්ලන්ගේ නාන බේසමට නාන්නට එන කුරුල්ලන් දිහා මම හොඳ සැලකිල්ලෙන් බලාගෙන සිටියා. සවස් කාලයේ නාන බේසම වතුරෙන් පිරෙව්වාම වතුර නාගන්නට කුරුල්ලො එතනට එනවා. කුරුල්ලන් පෝලිම් ගැසී සිටින විට, පෝලිමේ මැදින් සිටි තදියම්කාර කුරුල්ලෙක් පෝලිම කඩාගෙන ඇවිත් වතුරට පැන්නා. අනිත් ඔක්කොම කුරුල්ලෝ මේ තදියම්කාර කුරුල්ලාගේ ඇඟට කඩා පැන ඔහු එතැනින් පන්නා දැම්මා. ඊට පස්සේ ඔහු ආයෙත් පෝලිමට එකතු වුණා. මනුස්සයොත් මේ වගේමයි.

අනිත් සතුන්ටත් මනුස්සයන් වූ ඔබට වගේ ම සිතක් කියා දෙයක් තිබෙනවා. සමහර වේලාවට අනුවණ විදිහට, සමහර වේලාවට නුවණක්කාර විදිහට, සමහර වේලාවට කරුණාවන්ත විදිහට සතුන් කටයුතු කරනවා.