Print this Article


මිලින්ද ප්‍රශ්නය 02: දහම් වැස්සට දිව මල් වැසි

දහම් වැස්සට දිව මල් වැසි

ඒ සත් වසර පුරාවට “මෙතැනින් යන්න“ වචනයවත් ඒ බ්‍රාහ්මණ නිවසින් අසන්න නො ලැබුණි. නමුත් අටවෙනි අවුරුද්දේ දී දිනක් “මෙතැනින් යන්න“ කියන වචනය ඔවුන්ගෙන් ඇසුණේ ය. එදා රෝහණ තෙරුන් වහන්සේ ඒ නිවෙසින් එළියට වඩිද්දී පිටතට ගොස් නිවසට පැමිණෙමින් සිටි සෝණුත්තර බ්‍රාහ්මණයාට මුණ ගැසුණි. “ස්වාමීනි, අපගේ නිවසින් කිසිවක් ලැබුණාදැයි” උන්වහන්සේගෙන් විමසුවේ ය. “ එසේය බ්‍රාහ්මණය” කියා තෙරුන් වහන්සේ පිළිතුරු දුන් විට බ්‍රාහ්මණයා කිපී නිවසට ගොස් “අර ශ්‍රමණයන්ට කිසිවක් දුන්නාදැයි” ඇසුවේ ය. කිසිවක් නො දුන් බව දැනගෙන පසු දා පිඬුසිඟා වැඩි විට “මුසාවක්” කීවා යැයි තෙරුන්ට අපහාස කළේය. “පින්වත් බ්‍රාහ්මණය, එය මුසාවක් නොවේ. පසුගිය සත් වසර පුරාවට ඔබ නිවසින් මෙතැනින් යන්න කියන වචනයවත් ඇසුණේ නැහැ. නමුත් ඊයේ ඒ වචනය ලැබුණා. අපේ නිවසින් කිසිවක් ලැබුණාදැයි ඇසුවිට එසේය, බ්‍රාහ්මණය කියා මා පැවසුවේ ඒ නිසයි” කියා තෙරුන් වහන්සේ වදාළහ. ඒ පිළිතුªරට සෝනුත්තර බ්‍රාහ්මණයා වෙසෙසින් පැහැදුණේ ය. තමන් උදෙසා සැකසූ බතින් තෙරුන් වහන්සේට උපස්ථාන කොට එතැන් පටන් දිනපතා ම නිවසට වඩමවා දන්පැන් පිදී ය, තෙරුන් වහන්සේ ද දන් වළදා මද වශයෙන් නමුත් ධර්මය ද වදාරණ සේක.

නාගසේන කුමරු බිහි වී සත් වසරක් ගතවෙද්දී පිය බ්‍රාහ්මණතුමා දක්ෂ ඇදුරෙකු ලවා ත්‍රිවේදය හැදෑර වී ය. කෙටි කලකින් ත්‍රිවේදය පරතෙරට ගිය කුමරු එහි හරසුන් බව දැක නො සතුටු වී ය. එකල්හි රෝහණ තෙරුන් වහන්සේ වන්තනිය නම් සෙනසුණේ වැඩ වසද්දී කජංගල නම් නියම් ගම සිටි නාගසේන කුමාරයාගේ නො සතුටු සිතිවිලි තමන්ගේ සිතින් දැක වදාළ සේක. ඒ සැණෙකින් ම සිවුරු පොරවා පාත්‍රය ද රැගෙන සෙනසුනින් නික්ම කජංගල බමුණු ගමට වැඩි සේක. නිවස ඉදිරිපිට සිටි නාගසේන කුමාරයා ද මහතෙරුන් වහන්සේ දැක දුටු පමණින් සිත පැහැදී අසලට ගොස් මෙසේ විමසී ය. “ පැවිදි වූයේ කුමක් නිසාදැයි?” ඇසුවේ ය. “රාගාදී කෙලෙසුන් දුරු කර ගැනීම පිණිස යි” කියා තෙරුන් වහන්සේ පැවසූ සේක “එසේනම් සෙස්සන් මෙන් දිග් නැතිව හිසකෙස් කපා ඇත්තේ ඇයි?” කියා යළි විමසූ කුමරුට “වැවුුණු හිසකේ නිසා ඇතිවන පළිබෝධ දහසය දුරුකිරීම පිණිස” යැයි පිළිතුරු ලැබිණි. එය වටහා ගත් නාගසේන කුමරු “ අන් අයට වෙනස් ලෙසින් කඩ කැපූ, පඬු පෙව් වස්ත්‍රයක් පොරවන්නේ ඇයිදැයි? ඇසීය. “ කුමාරයාණෙනි, කඩ කපා පඬු පොවා සකස්කරගත් නිසා පැහැයත් අඩු වී, වටිනාකමත් අඩු වී යන නිසා, සොර සතුරන්ගෙන් හානියක් නැත. එමනිසා අහිමිවීමෙන් වන ශෝකයකුත් නැත. අපගේ වස්ත්‍ර වෙනස්වීමට හේතුව එයයි” කියා තෙරුන් වහන්සේ කරුණු පහදා දුන් සේක.

එම පිළිතුරුවලට සතුටු වූ නාගසේන කුමාරයා “ඔබ වහන්සේ කිසියම් ශිල්පයක් දන්නා සේක් ද?” කියා විචාළේ ය. “එසේය කුමාරයනි, ශිල්ප දනිමි. හස්තසාර ශිල්පියෙක් සේ තිබෙනා බලවත් උදාර ශිල්පත් දනිමි” යැයි රෝහණ තෙරුන් පැවසූ සේක. එවිට නාගසේන කුමරු එම ශිල්ප ඉගෙනගනු කැමැතිව “මිහිරි දෙයක් ලැබුණුවිට සඟවාගෙන තබා කන කෙනා මසුරු කෙනෙකි. අන් අයගේ යහපත පිණිස නො පිළිපත් කෙනෙකි. ත්‍යාගී කෙනෙක් නම් අනුන්ටත් දෙති. එසේම නුඹ වහන්සේ දන්නා බලවත් ශිල්ප අපටත් උගන්වන්නට පුළුවන්දැයි” ඇසී ය. “ඔබ ඉගෙන ගන්නේනම්, උගන්වමි. දැන් පිඬුසිඟා වඩිනා වේලාව හෙයින් නො හැකියි . ” කියා තෙරුන් වහන්සේ පිළිවදන් දුන් සේක. ඒ අසා නාගසේන කුමාරයා ආරාධනා කොට පාත්‍රය රැගෙන ම නිවසට වඩමවා සිය අතින්ම බෙදා මනාව වළඳවා අවසානයේ දී “ශිල්ප ඉගැන්වුව මැනවයි” ඉල්ලා සිටියේ ය. “කුමරුනි, මෙසේ ගිහි ව සිටිය දී ශිල්ප උගන්වනු නො හැකි ය. මව්පියන්ගෙන් අවසර ගෙන අප සේ ම මහණ වුවහොත් උගන්වමි” කියා රෝහණ තෙරුන් පැවසූ සේක. එවිට කුමරු මව්පියන් වෙත ගොස් “ පියාණෙනි, මව්නි, මේ ශ්‍රමණයන් වහන්සේ තමන් බලවත් ශාස්ත්‍රයක් දක්නා බව කියති. මා ඉල්ලු විට මහණ වුවහොත් මිස දෙන්නට බැරිබව පවසති. මට මහණ වී ශාස්ත්‍රය ඉගෙන ගන්නට අවසර දුන මැනවි’ යැයි කීවේ ය. ඒ අසා මව්පියන් අපගේ පුතු ශාස්ත්‍ර ඉගෙනගෙන උපැවිදි වී නැවත එනු ඇතැයි සිතා මහණවීමට අවසර දුන්හ.

රෝහණ මහතෙරුන් වහන්සේ නාගසේන කුමරු සමග වන්තනිය සේනාසනයට වැඩම කොට පසුදා හිමාලයේ රත්ගල් තලාවට වැඩ රහත් සඟ ගණ මධ්‍යයේ කුමරු පැවිදි කළ සේක. එවිට නාගසේන සාමණේරයන් වහන්සේ “දැන් මා මහණ වූ නිසා පමා නො කර ශිල්ප උගන්වන්නැයිි” ඇය ද සිටියහ. එවිට රෝහණ තෙරුන් “මොහු සාමණේර බැවින් දැන්ම විනය පිටකය ඉගැන්වීම සුදුසු නොවේ. මහා නුවණැත්තෙක් හෙයින් මුලින් ම අභිදම් උගන්වමි කියා සිතා මුලින්ම අභිධර්ම ප්‍රකරණ උගැන්වූ සේක. ඉන්පසු සියුම් නුවණ ඇති විස්මිත ධාරණ ශක්තියක් ඇති නාගසේනයන් වහන්සේ තමන් උගත් ධර්ම පරියායන් මහා රහතුන් මැද කට පාඩමින් පැවසූ සේක. සසුන බබුළුවන මහා පුණ්‍යවන්තයෙකුගේ අසිමරිත් සදහම් පෙළහරක් වූ නිසා ම මහා පොළොව කම්පා විය. දහම් වැසි වැස්ස වූ සාමණේරයන් වහන්සේට උපහාර පිණිස දෙවියෝ දිව මල් වැස්ස වූ හ.

පසු කලෙක නාගසේනයන් වහන්සේට විසි වයස් සම්පූර්ණ වූ විගස රහතන් වහන්සේ ඒකරාශි වී සාමණේරයන් වහන්සේ අධිසීල උපසම්පදා සීලයෙහි පිහිටවූහ. දිනක් උපාධ්‍යාය තෙරුන් වූ රෝහණ මහරහතන් වහන්සේත් සමඟ පිඬුසිඟා වැඩම කරන නාගසේනයන් වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇතිවි ය. “අනේ මාගේ උපාධ්‍යායන් වහන්සේ නො දන්නා තරම්! විනය හා සූත්‍ර තිබෙද්දී මුලින්ම අභිදම් ඉගැන්වී ය. ඒ කළේ කුමක් ද?” කියා යි. රෝහණ මහරහතන් වහන්සේ එම සිතිවිල්ල පරසිත් දක්නා නුවණින් දැක “ආයුෂ්මතුනි, ඔබ සිතූ අයුරු අයහපත් ය. එවැනි සිතිවිලි සිතීම ඔබට තරම් නො වන්නේ” යැයි අවවාද කළ සේක. ඒ ඇසු නාගසේනයන් වහන්සේ “අනේ මගේ උපාධ්‍යායන් වහන්සේ බලවත් වන සේක. ළග සිට කියූ දෙයක් සවණින් අසා දැනගත්තා සේ, මා සිතූ සිතිවිල්ල සොර බඩුත් සමඟ සොරකු අල්ලාගත් සේ දැනගත් සේක” යැයි සංවේගයට පත් වී මහතෙරුන් වහන්සේගෙන් සමාව අයැද සිටියහ.