Print this Article


හෙළ සංස්කෘතිය සුරකිමු

හෙළ සංස්කෘතිය සුරකිමු

ශ්‍රී ලංකාව යනු ශතවර්ෂ 22කට වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති නිර්මල බුදුසසුන සුරැකී ජනතාවක් සිටින, කුඩා දූපතකි. බුදුදහම පහළ වූයේ දඹදිව වුවත් එය ආරක්ෂා කරගැනීම, ඉන්දියානුවනට නොහැකි විය.

එහෙත් ශී‍්‍ර ලාංකිකයෝ ජීවිත පරිත්‍යාග කරමින් බුදු සසුනත්, බෞද්ධ සංස්කෘතියත් ආරක්ෂා කළහ. එකම ජාතියක් විසින් එක ම සංස්කෘතියක් ශතවර්ෂ 22ක් පමණ දීර්ඝ කාලයක්, තුළ සුරැකීම ඵෙතිහාසික වශයෙන් අගය කළ යුත්තකි. එය ලෝකයේ බොහෝ ජාතීන්ට කළ නොහැකිවූ කාර්යභාරයකි. බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික වැදගත්කම සනාථ කිරීමට ශිලා ලිපි, පුරාවස්තු, ඓතිහාසික ලේඛන, වංශකථා හා සාහිත්‍ය ග්‍රන්ථ, ජනප්‍රවාද දහස් ගණන් ඇත. එයට වඩාත් ප්‍රබල සජීවි සාධකය වන්නේ, එම සංස්කෘතිය යාවත් කාලීන කෙරෙන ජනතාවක් ලක්දිව ජීවත් වීම යි.

බුදුදහමින් පෝෂිත ලාංකේය සංස්කෘතිය ආරක්ෂා කළ යුත්තේ ඇයි?

ලාංකීය සංස්කෘතිය පෝෂණය වී ඇත්තේ බුදුදහමේ මූලික ඉගැන්වීම්වලට අනුකූලව ය. එය සංකේතවත් කෙරෙන්නේ වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යනුවෙනි. වැවෙන් ආර්ථික දියුණුවත්, දාගැබෙන් අධ්‍යාත්මික සංවර්ධනයත් අර්ථවත් කෙරේ. බුදුදහමින් , සංවර්ධනය යනුවෙන් අර්ථවත් කෙරෙන්නේ. ආර්ථික සංවර්ධනය සමඟ ම අධ්‍යාත්මික ගුණවගාවත් සමතුලිත විය යුතු බව යි. එය ද්විචක්ඛු හෙවත් ඇස් දෙකින් ම බලා කටයුතු කිීරීමට මාර්ගෝපදේශයකි. එවැනි ජීවන දර්ශනයක් ඇති ලාංකිකයන්ගේ දිවිපැවැත්ම සකස් වී ඇත්තේ පඤ්චනියාම ධර්මවලට අනුකූලවය. බීජ නියාමය, උතු නියාමය, චිත්ත නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය, යන සම්මතවලට අනුව ක්‍රියා කරන මිනිසාගේ දියුණුව, තිරසාර ය. එවැනි මිනිසුන් සිටින සමාජයක ජනතාව සතුටින් ජීවත් වන්නෝ වෙති. ඔව්හු තමාගේ අභිවෘද්ධිය මෙන් ම, අන්‍යයන්ගේ දියුණුවත් අපේක්ෂා කරති. කිසිවෙකුටත් හිංසාවක් නොකරති. ධනකාමයෙන් හෝ බලකාමයෙන් උමතු වූවෝ නොවෙති.

ධාර්මික ජීවිතයකට කැමැති ලාංකිකයා බීජනියාමය හෝ උතු නියාමය ඉක්මවා කටයුතු නොකරයි. එනිසා වැඩි ඵලදාවක් අපේක්ෂාවෙන් මහපොළොවට කෘමිනාශක එක් කරන්නේ නැත. මහපොළොව, ජලය, වාතය,ඇළදොළ, ගස්කොළන් සහ කෘමින් ඇතුළු සියලු සතුන් ආරක්ෂා කිරීම, තමාගේ වගකීමක් සේ ලක්වැසියෝ සිතූහ. එනිසා ඔවුහු පරිසර දූෂණයක් හෝ සම්පත් විනාශයක් නොකළහ. බීජ නියාමය ඉක්මවන ජානවිකෘති කිරීමක් හෝ උතු නියාමය ඉක්මවන පරිසර දූෂණයක් හෝ නොකර තමාගේ අවශ්‍යතා සපුරා ගත් ලාංකිකයෝ සතුටින් ජීවත් වූහ. මෙසේ තමාගේ ජීවන අවශ්‍යතා සපුරාගත් ඔවුහු,අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය ලැබූහ. තමාටත් තම දරුපවුලටත්, සමාජයටත් යුතුකම් ඉටුකිරීමට ප්‍රමාණවත් ධනයක් උපයා ගැනීමෙන් තෘප්තිමත් වූ බෞද්ධයා, අත්ථි සුඛයෙන් යුක්ත ය. මහේච්ඡතාවෙන් තොර වූවෙකි. අල්පේච්ඡතාවෙන් ද යුක්ත වූ ඔහු , යථා බල, යථා සාරුප්ප ගුණයෙන් පිරිපුන් වේ. එවැනි චින්තනයකින් පිරිපුන් මිනිසුන්ගෙන් යුක්ත සමාජයක්, අසීමිත ආසාවලින් පිරුණු පරිභෝජනවාදී ධන තෘෂ්ණාවෙන් හා තරගයෙන් වෙළාගත් එකක් නොවේ. මෙවැනි ජීවන දර්ශනයක් ඇති සමාජයක, ජනගහණය වර්ධනය වුවත් සීමිත සම්පත්වලට එතරම් අභියෝගයක් නොවේ.

කම්ම නියාමයත්, චිත්ත නියාමයත්, ධම්ම නියාමයත් පිළිගත් ලාංකිකයෝ පව් කිරීමට බිය වෙති. වැරැදි කිරීමට ලජ්ජා වෙති. පස්පව් නොකරති. එනිසා ඔවුන් තුළ ස්වයංවිනයක් තිබුණි. එය සමස්ත සමාජයේ ආරක්ෂාවටත් පැවැතීමටත් තිරසාර බලයක් විය. එය නීතියෙන් හෙවත් බලය යොදා මිනිසා හික්මවනවාට වඩා තිරසාර වන්නේ, අවබෝධයෙන් යුක්තව ස්වයං විනයෙන් සිදු වෙන්නක් නිසයි. නීතියෙන් හෝ බලයෙන් කෙරෙන සංවරය තාවකාලික ය. එය මර්දනයකි. අවස්ථාව, පරිසරය, හැකියාව ලැබුණොත් මිනිසා වරදට පෙළඹේ. එහෙත් කම්ම නියාමයත්, චිත්ත නියාමයත්, ධම්ම නියාමයත් පිළිගන්නා බෞද්ධයා , වැරැදි කිරීමෙන් වළකින්නේ, වැරැදි හෙවත් පවු කිරීමෙන් අපාගත වී දුක් විඳීමට බියෙනි. එය ස්වයං විනයකි. එවැනි අවබෝධයෙන් කෙරෙන දමනයක් නිසා ඇතිවෙන සංවර්ධනය තිරසාර ය. එනිසා තිරසාර සංවර්ධනයකට අවශ්‍ය ආර්ථික සහ අධ්‍යාත්මික මූලධර්ම, ලාංකික බෞද්ධ සංස්කෘතික ඉතිහාස කථාවෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවිත කථාවලත් අන්තර්ගත වේ.

වර්තමානයේ විවිධ බලපෑම් නිසා ලාංකික ජන ජීවිතය වෙනස් වෙමින් පවතී. තාක්ෂණ දියුණුවෙන් හා වාණිජ සංස්කෘතියෙන් මුළු ලෝකයම වෙළාගෙන සිටී, ආත්මාර්ථකාමිත්වය සහ තරග විසින් සමස්ත සමාජය ම ගිලගෙන ඇත. එනිසා නොයෙක් රටවල පැවැති වටිනා සංස්කෘති හා ස්වභාවික සම්පත් විනාශවෙමින් තිබේ. ලාංකික සංස්කෘතියත් මුහුණ පා ඇත්තේ එවැනි භයානක අනතුරකට ය. එනිසා මෙයින් ගැලවීමට සියලුම ලාංකිකයන් විමසිලිමත් විය යුතු ය.

* බීජ නියාමයත් උතු නියාමයත්, නොකඩා මිනිසාගේ අවශ්‍යතා සපුරාගන්නේ කෙසේ ද?

* ධනෝපායන මාර්ග වශයෙන් සුරාව, සූදුව වැනි මිච්ඡා ආජීවයට අයත් රැකියාවලට ජනතාව දිරිගැන්වීම නොකළ යුතු ය. සංචාරක ව්‍යාපාර දියුණු කිරීමේ දි වුවත්, සංචාරකයන් ඇදගැනීමට යැයි කියමින් හෝ මිච්ඡා ආජීවයට අයත් ව්‍යාපාර නොකර, දේශීය සංස්කෘතිය , පෞරාණික වස්තු, ස්වභාව සෞන්දර්යය වැනි දේ ප්‍රයෝජනයට ගෙන සංචාරක ව්‍යාපාර ආදිය දියුනු කළ යුතු ය.

* සංවර්ධන ව්‍යාපාරවල දී ස්වභාවික සම්පත් සුරැකීම පිළිබඳ ව විශේෂයෙන් යොමුවිය යුතු ය.

* තාක්ෂණ ඥානය, විද්‍යාත්මක උපකරණ සංස්කෘතියට බලපාන උපාංග ආදිය මෙරටට හඳුන්වා දී මේ දී බුද්ධිමත් ව හා විචාරශීලිව කළ යුතුය.

* තිරසාර සංවර්ධනයකට ගැළපෙන මූලධර්ම පදනම් කරගෙන අධ්‍යාපනය සකස්විය යුතු ය.

* බෞද්ධ ජන විඤ්ඤාණය විකෘති කෙරෙන කූට ව්‍යාපාරවලට ඉඩ නොදිය යුතු ය.

උදාහරණ, බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව දුර්වල කෙරෙන ආකාරයට බුද්ධ චරිතය කෙළෙසීම, සිදුහත් කුමරුන්ගේ උපත, සිදුහත් තවුසාණන් විසින් බුදු බව ලබාගැනීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය වැනි සිදුවීම් ලංකාවේ දී සිදුවූයේ යැයි කියමින් බුද්ධචරිතය විකෘති කිරීම, මහාමායා යනු මහාමායාවක් වැනි අතාර්කික ලෙසින් බෞද්ධ වචනවලට වැරැදි අර්ථ දැක්වීම් ආදි විකෘති කිරීම් දැක්විය හැකි ය.

09. වර්තමාන පිරිවෙන් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනයට සමගාමී ව යන ලෙසට විෂය ධාරා වෙනස් කිරීම නිසා භික්ෂූන් වහන්සේලාගේ දැනුම දුර්වල වී ඇත. එයට පැරැණි විෂය ධාරාත්, නූතන අධ්‍යාපන ක්‍රමවේදත් සංයුක්ත කරමින් අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි ගුණ නුවණින් පිරිපුන් භික්ෂුවක් නිර්මාණය කළ හැකි අධ්‍යාපනයක් බවට පිරිවෙන් විෂය ධාරා වෙනස් කළ යුතු ය.

10. මෙවැනි විශේෂ කරුණු පිළිබඳව අවධාරණය කරමින් සියලු ක්ෂේත්‍රවලට ගැළපෙන ලෙසින් අධ්‍යාපන, ආර්ථික සෞඛ්‍ය, මාර්ග, පරිසරය ආදිය සඳහා තිරසාර සංවර්ධන සැලැස්මක් සකස් කළ යුතු ය.

11. ආණ්ඩුක්‍රම පණතක් සකස් කරන්නේ නම් නීති විශාරදයන්ගේ ද, සියලු ජාතිකයන්ගේ ද, ලාංකික සංස්කෘතියත්, බෞද්ධ අනන්‍යතාවත් පිළිබඳ ව අවබෝධයක් ඇති බුද්ධිමතුන්ගේ ද සමන්විත මණ්ඩලයකින් සිදුකළ යුතු ය.