Print this Article


බෞද්ධ ධර්මාචාර්ය විභාගය  - 2019 ආදර්ශ ප්‍රශ්නෝත්තර

බෞද්ධ ධර්මාචාර්ය විභාගය 

2019 ආදර්ශ ප්‍රශ්නෝත්තර - 1 කොටස

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

සියලුම කෙටි ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

1. (අ) ථෙරවාද සම්ප්‍රදාය අනුව භාරතයේ පැවැත්වූ ධර්ම සංගායනා ගණන කීය ද?

(ආ) මෙයින් දෙවන සංඝීතිය පවත්වන ලද්දේ කවුරුන්ගේ මතවාදයන් ඛණ්ඩනය කිරීම සඳහා ද?

2. (අ) පළමු සංගායනාවේ දී සාකච්ඡාවට බඳුන් වූ ඉතා වැදගත් ම ගැටලුව නම් කුමක් ද?

(ආ) මේ නිසා විනය සංශෝධන අපේක්ෂා කළ පිරිස් නැඹුරු වී සිටියේ කවර අරමුණක් සඳහා ද?

3. (අ) මහාසංඝීති නමින් නව සංගායනාවක් පවත්වන ලද්දේ කවර කරුණක් මුල්කොටගෙන ද?

(ආ) මේ කරුණ ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින් ද?

4. (අ) සමමිතිය නිකායේ ඉතිහාසය ලියන ලද්දේ කවරෙකු විසින් ද?

(ආ) සමමිතිය නිකායේ වැඩි අවධානයක් යොමු කරන ලද්දේ කිනම් සංකල්පයක් සඳහා ද?

5. (අ) ධර්මාශෝක රාජ්‍ය සමයට පෙර ථේරවාද සම්ප්‍රදායෙන් බෙදීගිය නිකායේ නම ලියන්න

(ආ) මහා සාංඝිකයන්ගෙන් බෙදී ගිය නිකාය දෙක නම් කරන්න.

6. (අ) පංචස්කන්ධය හුදෙක් ගිනිඅඟුරු ගොඩක් ලෙස උගන්වන ලද්දේ කවර නිකායක් මඟින් ද?

(ආ) ලොව පවත්නා සියලු දේ හුදු නාම මාත්‍ර සංකල්ප පමණක් බව උගන්වන ලද්දේ කවුරුන් විසින් ද?

7. (අ) “මාඝාත” නීතිය පනවන ලද රජතුමාගේ නම ලියන්න.

(ආ) “මාඝාත” යන්නෙහි අර්ථය ලියා දක්වන්න

8. (අ) අශෝක රජුගේ අනුශාසනා භාරතීය ජනතාව අතර, ප්‍රචාරය කිරීමට යෙදු උපාය මාර්ග මොනවා ද?

(ආ) එම උපාය මාර්ගය අනුව ස්වකීය අනුශාසනා ප්‍රදර්ශනය කිරීමට යෙදූ උපක්‍රම මොනවා ද?

9. (අ) භදන්ත අශ්වඝෝෂ හිමියන් ජීවත් වූයේ කවර රාජ්‍ය සමයක දී ද?

(ආ) එම හිමියන් කවර බෞද්ධ නිකායකට අයත් ද?

10.(අ) “සමන්තපාසාදිකා” විනය අටුවාව ලිවීමට ආරාධනා කළේ කවුරුන් විසින් ද?

(ආ) මෙම කෘතියේ කතුවරයාගේ නම ලියන්න .

පිළිතුරු

1. (අ) තුනයි (ආ) වජ්ජිපුත්තක භික්ෂූන්ගේ මතවාද ඛණ්ඩනය සඳහා

2. (අ) ඛුද්දානුඛුද්දක ශික්ෂා පද (ආ) අභිනව නිකායන් ආරම්භ කිරීමට

3. (අ) පංචවස්තුව අරභයා (ආ) මහාදේව තෙරුන්

4. (අ) භාවවිවේක (ආ) පුද්ගල සංකල්ප උදෙසා

5. (අ) වාත්සීපුත්‍රයන් (ආ) ඒකබ්බොහාරික හා ගොකුලික

6. (අ) ගෝකුලිකයන් (ආ) ඒකබ්බෝහාරිකයන්

7. (අ) ධර්මාශෝක රජු (ආ) සතුන් නොමැරිමයි

8. (අ) සෙල්ලිපි මගින් (ආ) ගිරි ලිපි, පර්වත ලිපි, ස්ථම්භ ලිපි

9. (අ) කණිෂ්ක රාජ්‍ය සමයේ (ආ) සර්වාස්තිවාදය

10.(අ) බුද්ධසිරි තෙරුන් (ආ) බුද්ධඝෝස හිමි

ජපානයට බුදු දහම ලැබුණු ආකාරය හා එරට බුදුදහම ව්‍යාප්තව ගිය අයුරු පැහැදිලි කරන්න

ජපානය යනු පෙරදිග ඇති ඉතාම දියුණු රටකි. මෙම රටට බුදු සමයේ පණිවිඩය ලැබී ඇත්තේ අසල් වැසියෙක් වූ කොරියාවෙන් ය. ක්‍රි.ව. 552 දී පමණ කොරියානු ධර්මදූත පිරිසක් ලෝහමය බුදු පිළිමයක්, ත්‍රිපිටක පොත්පත් කීපයක් ගෙන ජපානයට ගියහ. කොරියාවේ සෙයිමෙයි රජු ජපානයට බුදුදහම ලබා දෙන විට එහි පාලකයා වූයේ කිං මෙයි නමැති අධිරාජ්‍යයා ය. ජපානයේ එවකට ආගම වූයේ ෂිංකෝ දහම යි. එම දහමට අනුව මළවුන් පිදීම, භූත විශ්වාස ආදී නොදියුණු මිථ්‍යා සංකල්ප ආගම් වශයෙන් අදහනු ලැබී ය. ජපානයට බුදුදහම ලැබෙන අවදියේ ජපන් අධිරාජයාට පාලනය ගෙන යාම සඳහා ගෝත්‍රික කණ්ඩායම් තුනක එනම් මොනො නොබේනකතෝමි සහ යෝගවරුන්ගේ සහයෝගය ලැබී තිබුණත් බුදු දහම ලැබීමත් සමඟ මේ අය දෙපිරිසක් බවට පත්වූහ. එක පිරිසක් පැරැණි ෂිංතෝ දහමට ගරු කරමින් බුදු සමයට එරෙහිව ක්‍රියා කළහ. සෝඝාවරු විශේෂයෙන් බුදු දහම වැළඳගෙන ක්‍රියා කළ අයයි. එවකට ජපන් අගමැතිව සිටින සෝගාතෝ ඉතාමේ ධර්මදූතයන් සමඟ සාකච්ඡා කර බුදු දහම බැහැර කළ යුතු දහමක් නොවන බවත්, හරවත් දහමක් බවත් පිළිගෙන ක්‍රියා කළහ.

මේ කාලය තුළ ජපානය තුළ මහා සාගරයක් ද හදිසි ගින්නක් ද ඇති විය. ෂිංතෝ දහම පිළිගත් අය කීවේ නව දහමේ සම්ප්‍රාප්තිය මෙම විනාශයට හේතුව බවයි. ඔවුන් බුදු මැදුර කඩා ත්‍රිපිටක පොත් විනාශ කර ප්‍රතිමාව ගඟකට දැමීය. එසේ වුවත් සාගතය අඩු නොවී ය. ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොවුයෙන් පෙර පරිදි පුදපූජා පැවැත්වීය. එම දරුණු නියඟය නිමාවී වැසි ඇද හැලී සමෘද්ධිමත් රටක් බවට ජපානය පත්වීම යි.

ජපානයට මෙසේ ලැබුණු බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා පුරෝගාමී වූයේ ජපානයේ අශෝක නමින් හඳුන්වන පොතෝකුතෛෂි හෙවත් උමයාදො කුමරු ය. මොහුගේ කාලයේ ශීඝ්‍රයෙන් බුදු දහම ප්‍රචලිත වූ අතර එරට රාජ්‍ය ආගම බවටද පත් කළහ. චතුර කථිකයෙකු වු මොහු ජපානයේ රජවන විට වයස අවුරුදු දහනමයක තරුණයෙකි. ඔහු ඉතා දර්ශනීය පෙති පිළිම වෙහෙර විහාර ඉදිකිරීම, පොත්පත් රචනා කිරීම් කළේ ය. මොහුගේ කාලයේ ප්‍රධානත ම බෞද්ධ ආරාමය ලෙස සලකන්නේ හොරියුජි ආරාමය යි. ලෝකයේ දැනට ඇති පැරැණිම දැවයෙන් සෑදූ ගොඩනැගිල්ලක් ලෙස මෙය සලකන ලදී. මොහු බෞද්ධ විනය පිටකය මැනවින් හදාරා කාණ්ඩ දහහතකින් යුතු නීති රීති ග්‍රන්ථයක් රචනා කළේ ය. “දයිබුත්සු’ නමින් ලෝක ප්‍රකට ලෝහමය බුදු පිළිමයක් කළේය. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මහායානික සූත්‍ර පරිවර්තනය කොට ජනතාවට අත් පොත් වශයෙන් බෙදා දුන්නේ ය. බෞද්ධ ආභාෂය මුල් කරගෙන විශාල අධ්‍යාපනික ආයතන, අනාථ මඩම්, විශ්‍රාම ශාලා, ගිලන් හල් ඇති කළහ. නාරා ප්‍රදේශය මුල් කොට ගෙන විශාල බෞද්ධ ප්‍රබෝධයක් මොහුගේ කාලයේ දී ඇති කළේ ය. ජපන් රටේ බුදුසමය පැතිරී ගියේ මේ ආකාරයෙන් ය.