Print this Article


ඥාන පද සතර

ඥාන පද සතර

(මෙම ලිපියේ මුල් කොටස ඇසළ අව අටවක (ජූලි 25) පත්‍රයේ පළවූ අතර තවත් කොටසක් නිකිණි පුර අටවක (අගෝස්තු 07) පත්‍රයේ පළ වේ.

 

වාද කරන්නට පැමිණි පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා, දෝෂාරෝපණය කරන්නට කියා ළඟට යන විටම , බුදුරජාණන් වහන්සේ ඔවුන් සමඟ හිතවත්ව කතා බහ කර, ඔවුන්ට දැහැමින් කරුණු දක්වනවා.

එවිට මෙතන දී ‘දැහැමින් කරුණු දක්වනවා’ කියන එක ඉතාම වැදගත් කාරණයක්. මොකද? මේ සඳහා යෙදෙන පාලි වචනය ‘සංදස්සෙති’ වෙයි. දස්සෙති කියන්නේ දක්වයි යනු යි. සං යනු උපසර්ග පදයක්. උපසර්ග පදය මේ පදයට යෙදුණු විට, දක්වයි කියන අර්ථය තවත් වැඩිකර, උද්දීපනය කරලා, මැනවින් දක්වයි යනුවෙන් අර්ථයක් එනවා. එසේනම්, මෙහි අර්ථය දැහැමි කතාවෙන් මනාව කරුණු දක්වනවා යනු යි. සමාදපෙති එනම්, පැමිණි ශාස්ත්‍රීය පඬිවරු ඒ කාරණා තුළ, ඒ ධර්මය තුළ සමාදන් කරවනවා. , සමුත්තෙජෙති එනම්, ඒ කාරණාවන් තුළ ඔවුන් තෙද ගන්වනවා. එනම් උත්සාහවත් කරවනවා. සංපහංසෙති , හංසෙති යනු සතුටු වෙනවා යනු යි. එසේනම්, සංපහංසෙති, ඒ අය ඒ ධර්ම කාරණය තුළ මැනවින් සතුටු කරනවා යනු යි.

එවිට වාද කරන්න පැමිණි පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ ඒ අයට මැනවින් ධර්මය පෙන්නුවා, ඒ ධර්මය තුළ සමාදන් කරවූවා. ඒ ධර්මය තුළ උත්සාහවත් කරවූවා. ඒ ධර්මය තුළ සතුටු කරවූවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ධර්මය අසන්නට පැමිණි අය නැවත ප්‍රශ්න අසන්නේවත් නැතිව, බුදුරජාණන් වහන්සේ සරණ යනවා මා දැක තිබෙනවා යනුවෙන් පිලෝතික බ්‍රාහ්මණතුමා පැවසුවා. එවිට සංදස්සෙති , සමාදපෙති, සමුත්තෙජෙති, සංපහංසෙති වචන සතර භාවිත කළේ, පිලෝතික බ්‍රාහ්මණතුම යි. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් නො වෙයි. එවිට සංදස්සෙති, සමාදපෙති , සමුත්තෙජෙති, සංපහංසෙති යනුවෙන් පෙන්වා දෙන්නේ ඥාන පද සතරක් ලෙස නො වෙයි, පළවන ඥාන පදය වන්නේ ක්ෂත්‍රීය පණ්ඩිතවරු වාද කරන්නට එනවිට, ඒ අයට ධර්මය මැනවින් දක්වනවා. ඒ අය ධර්මයෙහි සමාදන් කරවනවා. ඒ අය ධර්මයේ උත්සාහවත් කරවනවා. ඒ අය ධර්මය තුළ සතුටට පත් කරවනවා. මෙය යි, පළමුවන ඥාන පදය.

ඇතාගේ ඇත් පියවර සතරක් තියෙනවා වගේ මා, බුදුරජාණන් වහන්සේගේ දෙවන ඥාන පදය ද දුටුවා. එනම්, ඇතැම් වේලාවට බ්‍රාහ්මණ පණ්ඩිතවරු ඉතාම දක්ෂ අය කතපරප්ප්‍රවාදයේ එනම්, අනුන් සමඟ වාද කර දිනූ මහා ප්‍රසිද්ධ බ්‍රාහ්මණවරු, ආදී මහා පඬිවරු බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන්නට එනවා. ඒ අය ප්‍රශ්න අසන්නට පැමිණ පෙර සංවාදය සේ ම කතාබහ කරගෙන ම බුදුරජාණන් වහන්සේ මුලින්ම ඒ අයට දැහැමි කතාවෙන් කරුණු දක්වනවා. ඒ අය දැහැමි කතාවෙන් සමාදන් කරවනවා. ඒ අය පැමිණ කියනවා, ‘ධම්මියා කතාය සංදස්සෙති’ දැහැමි කතාවෙන් කරුණු දක්වනවා. ‘සමාදපෙති’ කරුණු දැක්වූ ධර්මය තුළ ඔවුන් සමාදන් කරවනවා. ‘සමුත්තෙජෙති’ ඒ පිළිබඳව නැවත නැවත යෙදෙන්න උත්සාහවත් කරවනවා. ඒ වගේ ම ඒ උත්සාහය දිගටම පවත්වන්නේ සතුට නිසා. ඒ අය, ඒ ධර්මය තුළ සතුටට පත් කරවනවා. මෙයයි දෙවන ඥාන පදය වන්නේ.

තුන්වන ඥාන පදය වන්නේ ‘ගහපති පණ්ඩිතෙ නිපුණෙ කතපරප්ප්‍රවාදෙ’ යනුවෙන්. එනම් ගෘහපති පණ්ඩිතවරු දක්ෂ කරන ලද පරප්ප්‍රවාද තියෙනවා. අනුන් සමඟ වාද කර දිනූ අය පැමිණ ඒ ලෙසින් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි විට, බුදුරජාණන් වහන්සේ ඒ අයට ‘ධම්මියා කතාය සංදස්සෙති’ දැහැමි කතාවෙන් කරුණු දක්වනවා. ඒ වගේම ඒ අය, ඒ කාරණය තුළ ‘සමාදපෙති’ සමාදන් කරවනවා.

ඒ අයට ඒ දැහැමි කතාව සමාදන් කරවා පමණක් නතර වෙන්නේ නැහැ. ‘සමුත්තෙජෙති සංපහංසෙති’ ශ්‍රමණ පණ්ඩිතයෝ පැවිදි භූමියට පත්වන , මේ ශාසනයේ පැවිද්ද නො වෙයි, බාහිර ශාසනවල පැවිදි වුණ අය එලෙසම බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එවිට ඥාන පද සතරක් ගැන කතා කළේ, පිලෝතික බ්‍රාහ්මණයා යි. නමුත් එතුමත් පවසන්නේ, සංදස්සෙති, සමාදපෙති, සමුත්තෙජෙති, සංපහංසෙති ඥාන පද සතරක් නොවන බවත්, ක්ෂත්‍රීය පණ්ඩිතවරු, බ්‍රාහ්මණ පණ්ඩිතවරු , ගෘහපති පණ්ඩිතවරු සහ අනෙකුත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු වාදෙට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සරණ යාම දැක, මා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන පැහැදුණේ යනුවෙන් පිලෝතික පරිබ්‍රාජක තුමා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට පිළිතුරු දෙනවා. මෙතැන තමයි, අද ‘සං දේශනාව’ යනුවෙන් ඉදිරිපත් කරන වචන සතර සඳහන් වන තැන.