Print this Article


සතිපට්ඨාන භාවනාව 61 : සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා කම්මන්ත: පවෙන් වැළකී ගත සිත සනසගන්න

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා කම්මන්ත:

පවෙන් වැළකී ගත සිත සනසගන්න

සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි භාවනා කර්මස්ථාන රාශියක් මේ වන විට සඳහන් කරන්නට යෙදුණා. පාඨක ඔබ මේවා හොඳින් තේරුම් ගෙන භාවනා වශයෙන් ගන්නා ආකාරය තමන්ට වටහා ගන්න පුළුවන්කම ලැබෙන්න ඇති. ‘සති’ යනු සිහියට නමක්. ‘පට්ඨාන’ යනු එළඹීම යි. සිහියෙන් එළැඹීම යි. සිහියෙන් කටයුතු කිරීමයි. කය අනුව , වේදනාව අනුව, සිත අනුව, ධර්මය අනුව බැලීම සතර සතිපට්ඨානයෙන් ම සඳහන් වෙනවා. සත්‍ය නිර්දේශයෙහි දුක්ඛ සත්‍ය නිර්දේශය, සමුදය සත්‍ය නිර්දේශය, නිරෝධ සත්‍ය නිර්දේශය ඉදිරිපත් කළා. දැන් මාර්ග සත්‍ය නිර්දේශය යි. එයිනුත් මාර්ගාංග රාශියක් පහදා දුන් අතර අද සඳහන් කරන්නේ සම්මා කම්මන්ත මාර්ගාංගය යි.

තමන් මාර්ගාංගයෙහි ගමන් ගන්නා බව අධිෂ්ඨානයේ තබාගෙන සම්මා කම්මන්ත මෙනෙහි කළ යුතු යි. සම්මා කම්මන්ත යනු ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම යි. කයෙන් සිදුවන වැරැදි වලින් වැළැකී නිවැරැදි කර්මාන්ත කිරීම යි. තව ද මස් මාංශ වෙළෙඳාම, මස් පිණිස සත්ත්ව වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම , වස විස වර්ග, මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ වහල් වෙළෙඳාම ආදිය අධාර්මික වෙළෙඳාම් බුදු දහමෙන් ප්‍රතික්ෂේපිත යි. ගව පාලනය, කෘෂි කර්මාන්තය, වෙළෙඳාම ආදිය ආර්ථික ක්‍රම තුන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා.

එසේනම්, තමන් කල්පනා කළ යුත්තේ භාවනාවේ දී මම සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන් , කාමමිථ්‍යාචාරයෙන් වළකිමි යනුවෙන් නිබඳව ම අධිෂ්ඨාන කර ගත යුතු යි. මෙනෙහි කරගත යුතු යි. ලෝක සත්ත්වයා, සත්ත්ව ඝාතනයේ යෙදී වාසය කරනවා, ‘මම සත්ත්ව ඝාතනයෙන් වැළකී සිටිමි’, ‘ලෝක සත්ත්වයා සොරකමෙහි යෙදී සිටිනවා, මම සොරකමෙන් වැළකී සිටිමි’. ‘ලෝක සත්ත්වයා කාමයන්හි වැරැදි ලෙස යෙදී වාසය කරනවා’. ‘මම කාමමිථ්‍යාචාරයෙන් වැළකී සිටිමි’ යනුවෙන් නිතර සිතිය යුතු යි. මෙනෙහි කළ යුතු යි. එවිට සිහි නුවණ හොඳින් වැඩෙන අතර , කල්පනාව ද හොඳ වෙයි. මාර්ගාංගය ද හොඳින් වැඩෙයි. එපමණක් නොව සියලුම බෝධි පාක්ෂික ධර්මයන් ද පහළ වෙයි. එවිට සම්මා කම්මන්ත යන මාර්ගාංගය ගැන සිතා, ‘මම පවින් වැළකෙමි’ යනුවෙන් පාපී ක්‍රියා තුන මෙනෙහි කළ යුතු යි. ‘මම කායික සංවර ඇත්තෙක් වන්නෙමි’ යනුවෙන් නිතර ම සිතෙන් මෙනෙහි කළ යුතු යි. එලෙස මෙනෙහි කර යද්දී තම සිත බොහොම ශක්තිමත් වන අතර, සිත තැන්පත් වන අතර ඥානය හොඳින් දියුණු කරගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ සල්ලේඛ සූත්‍රයෙන් කෙලෙස් යටපත් කරන ක්‍රමය පැහැදිලි කරමින් මේ සැලැස්ම ම පහදා දුන්නා. එහි කරුණු රාශියක් ඇති අතර, ඒ සෑම කාරණයකින් ම කෙලෙස් යටපත් කරන ක්‍රමය උන්වහන්සේ පැහැදිලි කර දුන්නා. මේ අවස්ථාවේ මෙහි සඳහන් පව් තුන දුරුකර ‘මම පවින් වැළකී වාසය කරමි, කායික සංවරයෙන් වාසය කරමි’ යනුවෙන් සිතට ගත යුතු යි. එවිට තම සිත ගත සනසාගෙන ලෝභ, ද්වේශ, මෝහ ආදී පව් යටපත් කරන්න පුළුවන්. තමන්ගේ ශීලය, සමාධිය, ප්‍රඥාව හොඳින් වැඩෙනවා. ඡන්ද ඍද්ධිපාද, චිත්ත ඍද්ධිපාද , විරිය ඍද්ධිපාද, වීමංස ඍද්ධිපාද යන සතර ඍද්ධිපාද හොඳින් වැඩෙයි.

මේවා මෙනෙහි කිරීමේ කැමැත්ත ඡන්ද ඍද්ධිපාද වෙයි. තමන්ගේ චිත්ත සන්ථානය දියුණු කිරීමට අවශ්‍ය නිසාම , සිත දියුණු කරගන්නට අවශ්‍ය නිසා ම අතිශයින් කුසල් වැඩෙන උතුම් ධර්ම සම්පත්තියක් ලෙස සැලකෙනවා. එසේනම්, කායික සංවරය ඇතිකර දෙන බැවින්, මානසික සංවරයට බැසගෙන සිටින බැවින්, බලවත් සිතකින් මේ ටික කිරීම චිත්ත ඍද්ධිපාද නම් වෙයි. මේවා මෙනෙහි කරන්නට කම්මැළිව බැහැ. උත්සාහය තිබිය යුතු යි. එය විරිය ඍද්ධිපාද නම් වෙයි. මේ සෑම දෙයක් ම මෙනෙහි කරන්නේ නුවණැත්තන් පමණ යි. ඥානය , නුවණ තියෙනවා නම්, හොඳට වටහාගෙන මෙනෙහි කිරීම වීමංස ඍද්ධිපාද නම් වෙයි. මේ සෑම දෙයක් ම මෙනෙහි කිරීමට සතර ඍද්ධිපාද පහළ විය යුතු යි. එපමණක් නොව, බෝධි පාක්ෂික ධර්ම තිස් හතම මෙනෙහි කරන වරක් පාසා ම තමන්ගේ සිතේ පහළ වෙනවා. මෙවැනි වැදගත් දේ පහළ වන්නේ සිත දියුණු කරගෙන මෙම කටයුතු කරගෙන යාමෙන්. ඒ නිසා කවුරු වුණත් තම ගුණ ධර්මයන් හොඳින් දියුණු කරගත යුතු යි. සති, සමාධි, ඥාන වැඩි දියුණු කරගත යුතු යි. කම්මැළිකම, වංක බව , ඉවසීම නැති බව, තරහ , වෛර, ක්‍රෝධ, හැකිතාක් සිතෙන් බැහැර කර, තමන්ගේ සම්මා කම්මන්ත මාර්ගාංගය ම දියුණු කරගන්නට උත්සාහවත් විය යුතු යි. එවිට තමන්ට විශාල, සැනසුමක්, දියුණුවක් , යහපතක් සලසාගන්න පුළුවන්කම තියෙනවා.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහදා දුන් ක්‍රමයට මේ මාර්ගාංගය හොඳට මෙනෙහි කළොත් තමන්ගේ සිත වේගවත්ව හදා ගන්න, දියුණු කරගන්න පුළුවන්. බොහෝ වේලාවක් මෙනෙහි කළ යුතු යි. එවිට සිතේ පව් යටවී ගොස්, සිත තැන්පත් වෙයි. නුවණ දියුණු වෙයි. ඒ අවස්ථා තුනට එළැඹෙන්න පුළුවන් සම්මා කම්මන්ත මාර්ගාංගය හොඳින් මෙනෙහි කිරීමෙන්. ‘මම සම්මා කම්මන්ත මාර්ගාංගය දියුණු කරන්නෙමි’ යනුවෙන් සිය , දහස් වර මෙනෙහි කළ යුතු යි. අභ්‍යන්තර කරුණු මෙසේ මෙනෙහි කළ යුතු යි. ‘මම සත්ත්ව ඝාතනයෙන් වළකින්නෙමි, මම සොරකමෙන් වළකින්නෙමි, මම කාම මිථ්‍යාචාරයෙන් වළකින්නෙමි, යනුවෙන් සියවර, දසවර, දස දහස්වර සිතෙන් මෙනෙහි කරද්දී භාවනා හොඳින් වැඩෙයි. අවසානයේ ‘මම කායික සංවරයෙන් සංවර වන්නෙමි’ යනුවෙන් නිතර සිතන්න, තනි වචනයෙන්. එවිට තමන්ගේ මාර්ගාංගය හොඳින් පිරිසුදුව වැඩෙයි. සම්මා කම්මන්ත ගුණ ධර්ම හොඳින් වර්ධනය වෙයි. එපමණක් නොව, තමන්ගේ සියලුම ගුණ ධර්ම ටික හොඳින් දියුණු කරගන්නට, මේ කරුණ මෙනෙහි කිරීමේ ශක්තිය බලය හොඳින් පිහිටයි. මේවා පිළිබඳව හොඳ දැනීමක් කවුරුත් ඇතිකර ගත යුතු යි.

බුදු දහම යනු ශීල, සමාධි, ප්‍රඥාවට නමක්. මේවා වැඩීමෙන් අප්‍රමාද ගුණ ධර්මය සිතේ පහළ වන අතර, එය හොඳට වඩා වර්ධනය කළොත්, මේ බුද්ධ ශාසනය තුළ දී ම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නත් පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා හේතු වන්නේ පින යි. මේ භාවනාව හොඳට ගෙන යන්න, ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියයන් හොඳින් තිබිය යුතු යි. මේ ගුණ මෙනෙහි කරනවිට අපේ ශ්‍රද්ධාව, හොඳට පහළව දියුණු වෙයි. ශ්‍රද්ධාව නැතිනම්, මේවා දියුණු කරන්න පුළුවන්කමකුත් නැහැ. කම්මැළිකම පසෙකලා , උත්සාහය, වීර්යය දියුණුවෙන් මේ භාවනා ක්‍රම අනුගමනයෙන් වීර්යය හොඳින් වැඩෙයි. මේවා මෙනෙහි කිරීමෙන් සිහි කල්පනාව හොඳ වෙයි. විනාඩි පහක් , දහයක් හෝ මෙනෙහි කරගෙන යද්දී සිහිය හොඳින් පවතියි. එය සති නම් වෙයි. එයින් අපට ලැබෙන්නේ චිත්ත සමාධියක්. (සිතේ තැන්පත්කම) එය සමාධිය නම් වෙයි.

සමාධිය වැඩෙද්දී හොඳින් නුවණ වැඩෙයි. ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට පුළුවන් නුවණ, ප්‍රඥාව නම් වෙයි. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන් මෙම භාවනාවෙන් හොඳින් වැඩෙයි. මේවා හොඳින් ඉගෙන ගෙන, ගුණ ධර්මයන් ද දියුණු තියුණු කරගෙන ධර්මය අවබෝධ කරගන්න භාවනායෝගීව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. එසේනම්, භාවනා ක්‍රම ඉගෙන කියා ගන්නට, කවුරුත් උත්සාහවත් විය යුතු යි.

සංසාර සාගරයෙන් එතෙර වෙන්න දානමය පින්කම පමණක් මදි. පන්සිල්, අටසිල්, රැකිය යුතු යි. බණ අසන්නට , භාවනා කරන්නට අවශ්‍යය යි. යන එන විට දී පවා ‘මම සම්මා කම්මන්තය දියුණු කරන්නෙමි’ යනුවෙන් සිතන්න. එසේ නැතිනම් ‘මම කායික සංවරයෙන් සංවර වන්නෙමි’ යනුවෙන් නිතර සිතන්න. එසේ නැතිනම් මම කයෙන් පව් නොකරමි යනුවෙන් හෝ සිතන්න. බොහෝ වරක් සිතද්දී සම්මා කම්මන්තය හොඳින් වැඩෙයි. ගුණ ධර්ම ද, සති, සමාධි, ඥාන ද හොඳ වෙයි.

මේ බුද්ධ ශාසනයෙන් උසස් ඵල නෙළා ගෙන ධ්‍යාන, අභිඥ්ඥා, විපස්සනා ඥාන ලබාගෙන සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵල ලබන්න, නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්.

ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නට නම්, සම්මා කම්මන්ත මාර්ගාංගය හොඳට වැඩිය යුතු අතර, එය දියුණු කරගත යුතු යි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගත යුතු යි. බුද්ධ ශාසනය ඔබ, අප වෙනුවෙන් ම පහළ වුණු මහා වස්තුවක්. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමත් ඔබට, අපට අයිති මහා කාර්ය භාරයක්. එය දියුණු කර ගැනීමත් ඔබ, අප සතු කාර්යයක්. ඒ නිසා තමන් ලබා ගන්නා මේ දැනුම තමන්ගෙන් පමණක් සෑහීමකට පත් නොවී , තමන් ආශ්‍රය නිශ්‍රය කරන අයටත් මේ කරුණු කියා දිය යුතු යි. බණ ඇසීමයි, භාවනාව යි කියන අවස්ථාවෙහි යොදවන්නට ඕනේ. එවිට විශාල දියුණුවක් සලසා ගන්න, ඉදිරියට යාමට ලොකු ශක්තියක් වඩා වර්ධනය කර ගන්න පුළුවන්කම තියෙනවා. පිරිසුදුව, ඍජුව , අවංක , භක්ත්‍යාධරයෙන් නිවන දක්වා ම හොඳ සිහි කල්පනාවෙන් ඉදිරියට යා යුතු යි.

බුදුරජාණන් වහන්සේ තරම් ජීවිතයේ දුක් විඳපු කෙනෙක් ලොවේ තවත් නැහැ. උන්වහන්සේ තරම් මානසික සුවයෙන් වාසය කළ කෙනෙකුත් ලොවේ තවත් නැහැ. එතරම්ම මානසික සුවයෙන් වාසය කළා. බුදුබවට පත්ව, ලෝකයෙන් එතෙරව , ලෝකයේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව මහා වාසනාවන්ත උතුමාණන් වහන්සේ වූවා. ගොහොරු මඩෙන් මතුවී, මඩත් –වතුරත් නොතැරවී, සුපිපෙන නෙළුම් මලක් සේ බෝසතාණන් වහන්සේ මනුලොව උපන්නත්, මනු ලොවේ ඇති තණ්හා, තරහ, වෛර, ක්‍රෝධ ආදී පාපී සිතිවිලි තමා තුළින් ම විනාශ කරදමා මනුලොවෙන් එගොඩ වී බුද්ධත්වය ලබා, නිකෙලෙස්ව වාසය කළා. ඒ උත්තරීතර මාවත ඔබටත්, මටත් පෙන්වා දුන්නා. එසේනම්, බුදුරජාණන් වහන්සේගේ අවවාදයට , අනුශාසනාවට අනුකූලව කවුරුත් වැඩ කටයුතු කරමින් සම්මා කම්මන්ත මාර්ගාංගය දියුණුවෙන් , පාරමී ගුණ ද දියුණුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කරගන්නට ලැබේවා!