Print this Article


ඇසළ පෙරහරට උපරිම ආරක්ෂාව

ඇසළ පෙරහරට උපරිම ආරක්ෂාව

අගමැති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී කියයි

මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් මෙවරත් පෙර පරිදි සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසී ය.

පෙරහරට අවශ්‍ය ආරක්ෂාව විධිමත් ලෙස තහවුරු කරන ලෙස මෙහිදී අගමැතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේ ය.

මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන තිබෙන හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී ඉකුත්දා (24) පැවැති විශේෂ රැස්වීමක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා එම සාකච්ඡාවට සම්බන්ධ විය.

අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි, අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද නා හිමි,දළදා තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නා හිමි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමි එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මෙවර රුහුණු කතරගම පෙරහරේ අවසන් පෙරහරට අති විශාල ජනතාවක් පැමිණි බවත්, එලෙසින්ම මහනුවර ඇසළ පෙරහර නැරඹීමටත්, විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි, අපේක්ෂා කරන බවත් අගමැතිවරයා කී ය.

එම අවස්ථාවට ඇමැති මලික් සමරවික්‍රම, ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, මහනුවර පුරපති කේසර සේනානායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල , සතර මහා දේවාල බස්නායක නිලමේවරු, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , එස්.එම්. වික්‍රමසිංහ . යුද හමුදාවේ එකොළොස්වන සේනාංකාධිපති, මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූ හ.

සාකච්ඡාවෙන් අනතුරුව අගමැතිවරයා මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.