Print this Article


පහන් සිතක කවි

මුල්ම බණ

පුන් සිසි සොමි රැසින් මිහි මඬල නැහැවින
කන්කළු විහඟ ගීතය සවන් පිනවන
සුන්දර නිවන් දොර නිවැරැදිව පෙන්වුන
පුන් පෝ දින ඇසළ , සිත සුවය කැන්දන

මහ මායා කුසෙහි බෝසත් පිළිසිඳින
මහ බන්ධනය ලෙස රාහුල උපත වුණ
යහපත නැත කියා ගිහි ගෙයින් නික්මුණ
පහසකි ‘සුතුර දම්සක්’ දෙසූ මුල් ම බණ

****

ඇසළ පොහොය

සිදුහත් කුමරු ගිහිගෙන් නික්මී ගියෙ ද
බිම්බා බිසව රාහුල පුතු බිහි කළෙ ද
අරිට්ඨ කුමරු සමඟින් හෙළ පිරිවර ද
උප සම්පදාව ද ලක්දිව කෙරුණ සඳ

පාත්තර ධාතුවද ලක වැඩම කළා
බොදු දම් සපිරි මව්බිම දෙව් ලොවක් වෙලා
සුදු බුදු රැස් දහර දසතට හැලෙයි ගලා
නමදිමු ඇසළ පෝදා සැම එකතු වෙලා

****

පුන් සඳ මඬල

පුන් සඳ මඬල ඇති දිනයක ගුවන් තිරේ
රාහුල පුතා බිම්බා හැර හෙමින් සැරේ
කන්තක පිටට නැග පන්නා එගං තිරේ
වූයේ ඇසළ දිනකයි ඒ කතන් දරේ

****

සත්මග නිවා

පස්වග මහණුන්ට වැඩි බරණැස් නුවර
ඇසළ පුර දිනක දෙසු මංගල සුතුර
තවමත් රැළි දිදී යයි තෙදියත පැතිර
සත්මග නිවා සනහයි බව දුක් කතර

****

සැනසුම් සුව

සව් ලෝ සතට සැනසුම් සුව උදා කළ
නිව් සව් කෙලෙස් නිකෙලෙස් සිත් බල විපුල
සිව් බඹ විහරණින් දිවි ගෙව් මුනිඳු මුල
පව් මළ සෝදවමි පුදනෙමි මෙකව් මල

****

ඇසළ සඳේ රැස් දහරා

මුළු ලෝකෙම එළිය කරල ඇසළ සඳේ රැස් දහරා
පුතු සමඟින් තද නින්දේ පසු වෙනවා යශෝධරා
ඡන්න ඇමැති සමඟින් කන්තක අසු පිටේ දරා
සිදුහත් කුමරුන් නික්මුනි අබිනික්මන කරා

ඡන්න ඇමැති ගෙදර යන්න කන්තක අසු පිට නැඟලා
පවසන්නකො සිදුහත් හිමි ඊයේ මහණ වුණා කියලා
කන්ථක අසු යන්න ගියේ කම්පිත ලෙස හැරී බලා
කෙටිම දුරක් යන විට දී අසු හදවත පැලී ගියා

****

දම්සක්

තෙරුවන පහළ වූයේ අද වැනි දිනක
යා යුතු නිවන් ම ඟ හෙළි කර දුන් සේක
ඒ මඟ අනුව ගොස් නැතිකර දුක් සෝක
වෙහෙසෙමු ලබන්නට අම සුව ළඟ දිනක