Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 34 : නිශ්ශංකමල්ල රජුගේ රාජසභාව හා සිංහාසනය

නිශ්ශංකමල්ල රජුගේ රාජසභාව හා සිංහාසනය

පොළොන්නරු යුගයේ රජවරුන් අතර ප්‍රමුඛ වු රජවරු තිදෙනෙකි. මහාවිජයබාහු,මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරු ය. පොළොන්නරු රාජධානි සමයේ රජවරුන්ගේ රාජ සභා ගොඩනැගිලි දෙකක නටබුන් දක්නට ලැබේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවක සැකැස්ම පිළිබඳ ඉතා අගනා සාක්ෂි ලැබෙන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාජ්‍ය සභාවෙනි.

පුරාණ කාලයේ දී පාලන තන්ත්‍රයෙහි ප්‍රධානියා රජු විය. ඒ අනුව පාලන තන්ත්‍රය සකස් වී තිබුණේ රජතුමා කේන්ද්‍රගත කර ගෙන ය. රජුට සහායවීම සඳහා කිසියම් උපදේශක මණ්ඩලයක් විය. පොළොන්නරුව රාජධානි සමය වනවිට මේ පිළිබඳ ලිඛිත සාක්ෂි හමු වී ඇත.

ඒ අනුව මහා විජයබාහු රජතුමා විසින් තමාගේ මුල් කාලයේ දී රැකවරණය සැලසූ බුද්ලිනාමන්ට තඹ සන්නස (පනාකඩුව තඹ සන්නස) ප්‍රදානය කිරීමේ දී ඈපා, මාපා, යුවරජු ආදී ප්‍රමුඛ රාජ නිලධාරීන් පිරිවරකොට සිංහාසනාරූඪව සිටි බව (ක්‍රි.ව. 1055-1110) පනාකඩුව තඹ සන්නසෙහි සඳහන් වීමෙන් පැහැදිලි වේ. (Epigraphia Zeyzanca.v.p.174) 

පොළොන්නරු යුගයේ රජවරුන් අතර ප්‍රමුඛ වු රජවරු තිදෙනෙකි. මහාවිජයබාහු,මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරු ය. පොළොන්නරු රාජධානි සමයේ රජවරුන්ගේ රාජ සභා ගොඩනැගිලි දෙකක නටබුන් දක්නට ලැබේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවක සැකැස්ම පිළිබඳ ඉතා අගනා සාක්ෂි ලැබෙන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාජ්‍ය සභාවෙනි. ශෛලමය සිංහාසනය හා ඒ ඒ නිලධාරින් අසුන්ගත් ආකාරය සඳහන් වන කුලුනු ලිපි එවකට මන්ත්‍රණ සභාව පිළිබඳ පැහැදලි අවබෝධයක් ලබා ගැනීමට එම නටබුන්වලින් හෙළිවේ.

පොළොන්නරුවේ දීප උයනෙහි පිහිටි ගොඩනැගිලි අතුරින් ඉතා පූර්වතම ගොඩනැගිල්ලක් වන්නේ මඟුල් මඩුවට උතුරු දෙසින් පිහිටි මාලිගා සංකීර්ණයක් ලෙස භාවිත කළ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය යි. එය විවෘත වූ හරස් බැම්මකින් වෙන් කර ඇත.

මෙම මණ්ඩපය වාස්තු විද්‍යාත්මකව සලකා බලන කල සභා මණ්ඩපය එක මත එක පිහිටා ඇති කෝණාකාර ශෛලමය (ශිලාවලින් සාදන ලද) වේදිකා දෙකක් මත ඉදිකර ඇත. එයට දොරටු දෙක කි. එයින් ප්‍රධාන දොරටුව උතුරු දිශාවෙන් පිහිටා ඇති අතර, බටහිර දෙසට කුඩා පැති දොරටුව කි. මෙම මණ්ඩපයේ කුලුනු පේළි හතරකි. ඒ සෑම පේළියක ම කුලුනු දොළහ බැගින් ඇත. මෙම මණ්ඩපයට අයත්වන වහලය දරා තිබෙන්නට ඇත්තේ එම කුලුනුු මත ය. රාජසභා මණ්ඩපයේ ශිලාමය කුලුනුුවල වැදගත් ම ලක්ෂණය වන්නේ සිංහාසනයෙහි රජු වැඩ හිඳීනා අවස්ථාවේ දී රාජ සභාවේ සාමාජිකයන් දරන තනතුරු සඳහන් වන කුඩා ශිලා ලේඛන ඒ සමඟම තිබීම ය. සිංහාසනය මණ්ඩපයට පිටත තිබී මීට අවුරුදු සියයකට පමණ ඉහත දී හමුවී ඇති මෙම සිංහාසනය වර්තමාන කාලයේ ගොඩනැගිල්ලේ දකුණු අන්තයේ ඊට නියමිත ස්ථානයෙහි සවිකර ඇත. සිංහාසනය නියම ස්ථානයේ තිබෙන විට රාජ සභාවේ මැති ඇමැතිවරුන් අසුන් ගෙන රට පාලනය කිරීම ගැන වැදගත් තීන්දු තීරණ ගත් ආකාරය ගැන අදහසක් ලබා ගත හැකි ය. ඒ මැති ඇමැතිවරුන් කවුරුන්ද? යන්නත්, ඔවුන්ට අයත් වගකීම් කෙබඳුද? යන්නත් දැනගත හැකි ය.

රාජසභාවේ රජතුමා සිංහාසනයේ සිටින විට අනෙකුත් රාජ්‍ය සේවකයින් අසුන්ගත අන්දම එම ශිලා ලේඛනවල සඳහන් වන්නේ මෙසේ ය.

1. රජු සිංහාසනය මත වැඩහුන් කල යුව රජු වැඩ හිඳිනා ස්ථානය

2. සිංහාසනයේ වැඩහුන් කල අගම්පඬි ඈපාවරුන් හිඳිනා ස්ථානය

3. සිංහාසනයේ වැඩහුන් කල සෙනෙවිරදුන් හිඳිනා ස්ථානය යි

4. සිංහාසනයේ වැඩහුන් කල ප්‍රදානයන්ට හිමි ස්ථානය යි

දෙවන පෙළ

1. සිංහාසනයේ වැඩහුන් කල භාරක මාණ්ඩලිකවරුන්ට හිමි ස්ථානය යි.

2. සිංහාසනයේ වැඩහුන් කල චෞරාසිවරුන්ට හිමි ස්ථානය යි

3. සිංහාසනයේ වැඩහුන් කල තඹ ඝෝෂ්ටියේ ඇත්තවුනට හිමි ස්ථානය යි.

සිංහාසනයේ වැඩහුන් කල පොත්වරුන් ඇතුළු කායස්ථයන්ට හිමි ස්ථානය යි. එකල රාජ සභාවක සංයුතිය මෙසේ ය.

ඉහත සඳහන් ලේඛනය පිළිබඳ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කරයි.

එම ලේඛනය අනුව කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය, ඉඩම් ආගමික කටයුතු වැනි රටෙහි සංවර්ධනය උදෙසා සිදු කෙරෙන කටයුතු මෙන්ම ජනතාවගේ අධ්‍යාත්මික සහ භෞතික ජීවිතය හා සම්බන්ධ සියලු වගකීම් ද රජු වෙතම පැවරී තිබුණු බව පැහැදිලි ය. අනෙක් අතින් බලන කල මුදල් හා වාණිජ කටයුතු මේවා අතරින් ප්‍රමුඛ වු බව උපකල්පනය කළ හැකි ය. වෙළෙඳාමේ අභිවර්ධනය පිළිබඳ වගකීම ව්‍යාපාරික සමූහ වෙත පැවරී තිබුණි.

සභා මණ්ඩපයෙහි ඇති ශිලාමය කුලුනුු ස්ථූල හා චාම් බවකින් යුක්ත ය .රජුගේ අතිවිශාල සිංහාසනය තවමත් මෙම ප්‍රාසාද මණ්ඩපයෙහි සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙන් පවතී.

(පොළොන්නරුව – මධ්‍යකාලීන ලක්දිව අගනගරය, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, පි. 126 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනය කි. 1998)

අවුරුදු 90 පමණ කොළඹ කෞතුකාගාරයේ තිබු එම සිංහයා එකල යළි පොළොන්නරුවට රැගෙන යෑම පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා මෙසේ සඳහන් කරයි. “මේ අනුව කලක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබුණු පොළොන්නරුවේ සිංහරූප සිංහාසනය මේ අවුරුද්දේ නැවතත් පොළොන්නරුවට ගෙන ගියේ ය. යථා කාලයේදී එය කලින්ම තිබුණු ස්ථානය වන නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ පිහිටුවනු ඇත.

(1964 -65 පුරාවිද්‍යා පාලන වාර්තාව ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පි. 1)

පසුගිය වාර්තාවේ (1964-65) කියන ලද පරිදි සිංහල රාජසභාව ද එහි එක් එක් නිලධාරින්ගේ තත්ත්වය ද හැඳින ගැනීමට ආධාර වන පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභාවට අයිති සෙල් මුවා සිංහයා කොළඹ කටු ගෙයි අවුරුදු 90 පමණ බන්ධනගත වී සිට දැන් නැවතත් තමාගේ පැරැණි වාසස්ථානයට පෙරළා පැමිණ සිටී.

(පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ 1965-66 පුරාවිද්‍යා පාලන වාර්තාව පි. 1)