Print this Article


පූජාච පූජනියනං: සසුනඹරේ මහ පහන්ටැඹක් වූ බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

සසුනඹරේ මහ පහන් ටැඹක් වූ බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

දැයට නායකත්වය ලබා දුන්, බුදු සසුන බබළවමින් මුළු රටම ආලෝකවත් කරමින්, සුදිලෙන මහා පහන් ටැඹක් හා සමානව වැඩ විසූ බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තම දිවි මගෙහි සැත්තෑ සයවෙනි වසර ගත කරත් ම කිසිවෙකුත් නොසිතූ වේලාවක අප අතරින් වියෝ වූහ. උන්වහන්සේ අද්විතීය දැනුමකින් හෙබි මහා ප¼ඩිරුවනකි.

ඉතා ගැඹුරු අදහස් ඉතා ලිහිල් ලෙස සමාජයට ඉදිරිපත් කළ දක්ෂ කථිකයෙකි. ගැටලු, ප්‍රශ්නයන්ට නිවැරැදි විසඳුම් ඉදිරිපත් කළ විශාරදයෙකි. ජාති, ආගම්, කුල, නිකාය භේදයෙන් තොරව මානුෂිකත්වයෙන් ක්‍රියාකළ සැමගේ කල්‍යාණ මිත්‍රයෙකි. නිවැරැදිව හා අභීතව අදහස් ප්‍රකාශ කළ සුපටිපන්න, උජුපටිපන්න ගුණයෙන් යුත් ආදර්ශ සම්පන්න සංඝ පිතෘවරයෙකි. .දුල්ලභො පුරිසාජඤ්ඤො. යන බුදුවදනට අනුව මෙවැනි ගුණ ඇති උතුමෙක් ලොව පහළ වන්නේ කලාතුරකිනි.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ ජීවිතය දෙස හැරී බලන විට පැහැදිලි වන්නේ උපතේ සිට විපත දක්වා සම්පූර්ණ ජීවිත කාලය ම ආදර්ශ සම්පන්න වූත්, පුණ්‍යවන්ත වූත් ස්වභාවය කි. 1942 වර්ෂයෙහි ලක්වැසි සැම දෙන මහත් ප්‍රීතියෙන් පසුවන සිංහල අවුරුදු දිනයෙහි උපත ලබා ඉතා දක්ෂ ලෙස ගිහි අධ්‍යාපනය සපුරමින් සිටිය දී 1952 පෙබරවාරි 28 වන දින බෙල්ලන්විල විමලරතන නමින් සසුන්ගත විය. තම පැවිදි ආචාර්යන් වහන්සේ වූයේ ඕමත්තගේ පෝල් පෙරේරා පියාණන්ගේ ගිහි සොහොයුරු අතිපූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ වීමත්, තමාගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෙකු වූ බෙල්ලන්විල ධම්මරතන හිමිපාණන් එම ආචාර්යත්වයෙන් ම පැවිද්ද ලබා සිටීමත් යනු දුර්ලභ ගණයේ වාසනාවන්ත සිදුවීම කි. ඉතා කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් ව පැවති වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙණෙන් අධ්‍යාපනය ලබා පැවිදි ජීවිතයකට අවශ්‍ය විෂය හා විෂය බාහිර කරුණු වලින් සම්පූර්ණත්වය ට පත් වූ විමලරතන හිමියෝ මේ රටේ පැවැති ශ්‍රේෂ්ඨතම පැවිදි අධ්‍යාපන ආයතන දෙකෙන් එකක් වූ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණට ඇතුළත්ව කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නා හිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති නා හිමි, ආචාර්ය වල්පොල රාහුල නා හිමි වැනි අග්‍රගණ්‍ය මහා පඬිවරුන් ඇසුරෙන් අධ්‍යාපනය ලබා තම ජීවිතය බෙහෙවින් අර්ථවත් කොට ගත්හ.

1965 වර්ෂයෙහි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ විමලරතන ස්වාමින්ද්‍රයෝ සිංහල, පාලි හා ආර්ථික විද්‍යාව යන විෂයන්ගෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, 1972 වර්ෂයෙහි විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධියත් ලබා ගත්හ. තම ආචාර්යන් වහන්සේ හැරුණු විට විමලරතන හිමිපාණන්ගේ ජීවිතය සාර්ථකව ඉදිරියට මෙහෙයවීම සඳහා එක ් පැත්තකින් බෙල්ලන්විල විහාරස්ථානයේ එවකට වැඩ සිටි ආචාර්ය මැදගම වජිරඤාණ නා හිමිපාණන් ද, තවත් පැත්තකින් රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාපලගම විපුලසාර මාහිමිපාණන් ද නොමදව දුන් සහාය නිසා ම 1980 දී එංගලන්තයේ ලැන්කැෂ්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දර්ශන විශාරද උපාධිය හිමිකර ගැනීම ට හැකිවිය.

අධ්‍යයන කටයුතු උසස් සේ නිමකළ විමලරතන හාමුදුරුවන් ලංකාවට වැඩමවා පැපිලියාන සුනේත්‍රා මහා දේවි විද්‍යායතන පිරිවෙණෙහි කලක් ගුරුවරයෙකු වශයෙන් සේවය කොට අනතුරුව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙණෙහි පරිවේණාධිපතිත්වයට පත්ව ක්‍රියාත්මක කළ ක්‍රමානුකූල වූත්, සංවිධානාත්මක වූත් වැඩපිළිවෙල තුළින් එම ආයතනය දියුණුවට පත් කළහ. එයින් නොනැවතුන උන්වහන්සේ එහිම පිහිටි පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙහි කථිකාචාර්ය ධුරයකට පත්ව තරුණ භික්ෂූන් වහන්සේ දැනුමෙන් මෙන්ම මනා විනයක් ඇතිව සමාජ සේවාවන් සිදුකිරීමට අවශ්‍ය පුහුණුව ලබා දුන්හ.

1980 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ පාලි භාෂාව පිළිබඳ කථිකාචාර්ය ධුරයකට පත්ව ටික කලකින් එම අංශයේ මහාචාර්ය ධුරයකටත්, විශ්‍රාම ගැනීමෙන් පසු එම විශ්වවිද්‍යාලයේ කුලපති පදවියටත් පත්වීමට තරම් විමලරතන හිමියෝ වාසනාවන්ත වූහ. තම පැවිදි උපසම්පදාව ලබා ගත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ට මහත් ලැදියාවක් මෙන් ම ගෞරවයක් දැක් වූ විමලරතන හිමිපාණෝ 1972 දී එහි කාරක සංඝ සභාවටත්, පසුව ප්‍රධාන ලේඛකාධිකාරී තනතුරටත් පත්ව එයින් නොනැවතී 2005 වර්ෂයේ දී එහි අනුනායක පදවියට පත්වීමට තරම් භාග්‍ය සම්පන්න වූහ. සංඝ සභාවේ පැවැති උසස් ගෞරවණීය තත්ත්වය මහත් සේ වර්ධනය වීමට විමලරතන හිමිපාණන්ගේ දැඩි උත්සාහය හා කැපවීම හේතු වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 1984 වර්ෂයෙහි අපවත් වීමෙන් පසු ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් බෙල්ලන්විල රාජමහා විහාරයේ මෙන්ම අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරයේ විහාරාධිපති තනතුරට පත් වූ නමුත් උන්වහන්සේ සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලය ආයතනයෙහි අධිපතිවරයා වශයෙන් සිදුකරන අවිවේකී උසස් සේවය නිසා විමලරතන අනුනාහිමිපාණන්ට විහාරාධිකාරී ධුරය දරමින් කුදු මහත් සිය කටයුතු මෙහෙයවන්නට සිදුවිය. තම ආචාර්යන් වහන්සේටත්, සහෝදර හිමිපාණන්ටත් ඉමහත් ගෞරවයක් ලබා දෙමින් බෙල්ලන්විල විහාරස්ථානයේ ආරාම අංග වැඩිදියුණුවට පත් කරමින් ද, විශේෂයෙන් වාර්ෂික පෙරහර වඩාත් ක්‍රමවත්ව හා උසස් අන්දමින් පවත්වාගෙන යමින් ද කරගෙන ආ සේවය විශාල ය. එපමණක් නොව පැවිදි ශිෂ්‍යයන් වූ ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන සහ ආචාර්ය ඌරුපැලැව්වේ හේමාරාම යන පැවිදි ශිෂ්‍යයන් දෙදෙනාට ආරාම පාලනය පිළිබඳ පුහුණුවක් ලබා දීමට ගෙන තිබූ පියවර ප්‍රශංසනීය ය. මේ සා කටයුතු ඉතා උසස් සේ සාර්ථක කිරීමට හැකි වූයේ ගරුතර ධම්මරතන, විමලරතන දෙසොහොයුරන් සුහදත්වයෙන් තීරණයන්ට බැස ක්‍රියාත්මක කිරීම නිසා ය.

1980 දී තම විහාරස්ථානය මුල්කොට පිහිට වූ ප්‍රජාසංවර්ධන පදනම. මගින් තරුණයන්ට වෘත්තීය පුහුණුව ලබා ගැනීමට අවස්ථාව උදාකර දුන්හ. දුර බැහැරින් පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන් අතර එහි නතර කළ රථවාහන වලින් සුළු මුදලක් අයකර ගැනීමට දායක සභාවට බලය දී එසේ ලැබෙන සිය මුදල් අසරණ රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට යොදා තිබූ වැඩපිළිවෙල බෙහෙවින් අගය කළ යුතු ය.

ලෝකයේ විවිධ රටවල විශ්ව විද්‍යාල වැනි ආයතනයන්ට දේශන සහ සාකච්ඡාවලට ලැබුණ ඇරයුම් නොපිරිහෙලා ඉටුකිරීම තුළින් ලාංකික භික්ෂුන්ට ලබා දුන් ගෞරවය සුළු නොවේ. ආචාර්ය මාපලගම විපුලසාර මාහිමිපාණන් අපවත් වීමෙන් පසු උන්වහන්සේ දැරූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයෙහි ඉංග්‍රීසි අංශයෙහි ලේකම් ධුරයට පත්ව අපවත් වන තුරුම කළ සේවය ලංකාවට ගෞරවයක් ලබා දීමට හේතු විය. මෙවැනි උසස් සේවාවන් අගය කරමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය මගින් සාහිත්‍යශූරී උපාධි පිරිනමා තිබීම වැදගත් ය.

සිතිය නොහැකි තරම් කාර්යභාරයක් තමා වෙත පැවරී තිබූ නමුත් තම දැනුම තුළින් පාඨක ලෝකයා පිනවීමට අමතක නොකළහ. බුද්ධ ප්‍රතිමා කලාව, බිතු සිතුවම්, බෝධිසත්ව සංකල්පය, මහායාන බුදු දහම, බුදු දහම හා වෙනත් ආගම් ආදී අංශයන්ට අදාළ ලෙස ග්‍රන්ථ රාශියක් ම ලියා පළ කරවීමට විමලරතන නාහිමියෝ ක්‍රියා කළහ. රටේ ජාතික, ආගමික හා පාලනය පිළිබඳ කවර ප්‍රශ්නයක් පැමිණිය ද ඉතා නිර්භයව සහ අපක්ෂපාතීව තම අදහස් ඉදිරිපත් කරමින් දුන් ආදර්ශවත් නායකත්වය බෙහෙවින් අගනේ ය. මෙවැනි මහඟු සේවාවක් සිදුකරමින් වැඩ සිටිය දී හදිසියේ හටගත් සිදුවීමක් නිසා 2018 පෙබරවාරි 03 වන දින අප නාහිමියෝ අපවත් වූහ. 2019 අගෝස්තු මස 04. ඉරිදා පෙරවරු 09.00 ට උන්වහන්සේගේ ගුණ සමරමින් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඉදිකළ යතිවර සමරු පාය විවෘත කිරීමට නියමිත ය.

අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන්ට නිවන් සුවයෙන් සැනසීම ලැබේවා !