Print this Article


පිදිය යුත්තෝ පුදමු

පිදිය යුත්තෝ පුදමු

බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය තුළ පුද්ගලයෙකුගේ භෞතික ජීවිතය මෙන් ම, අධ්‍යාත්මික දිවිය ද ධර්මය ට අනුගතව සකස් කරගත යුතු ආකාරය මනාව දේශනා කළහ.

ඒ අතර පිදිය යුත්තන් පිදීම සමාජ ප්‍රගමනයට, පුද්ගලයාගේ භෞතික සහ අධ්‍යාත්මික දියුණුව කෙරෙහි සෘජුව ම බලපායි. වන්දනා මාන, පුද පූජා සිදුකිරිම සචේතනික මෙන් ම අචේතනික වස්තූන් කෙරෙහි ද ක්‍රියාත්මක විය යුතු ය. මෙහි පිදිය යුත්තන් ලෙස සඳහන් වනුයේ බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරාජණන් වහසේ ය. නව ලොකෝත්තර ශ්‍රී සද්ධර්මය, අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නය, ගුරුවරුන්, මව්පියන්, සහ වැඩිහිටියන් ය.

බුද්ධ ප්‍රතිමා, චෛත්‍ය, බෝධි වෘක්‍ෂ ආදී පූජනීය වස්තූන්ට වන්දනා මාන කිරීම, පුද පූජා පැවැත්වීම බුදුරජාණන් වහන්සේ පීදිම හා සමාන ආනිසංසයන් ලබා ගත හැකි ය. යමෙක් ඉතා සුළු දෙයක් වුව ද සිත පහදවාගෙන, අපමණ සැඳැහැ සිතින් යුක්තව පූජා කරයි ද, එයින් ලැබෙන ඵලය මහත්ඵලය, මහානිසංස ය. ඒ බව උත්තර මහරහතන් වහන්සේ විසින් ම අපදාන පාලියෙහි මෙසේ වදාරා තිබේ.

මෙයින් කල්ප තිස්දහසකට පෙර ලෝකයෙහි සූමේධ නම් බුදු කෙනෙක් පහළ වූ සේක. දිනක් උන්වහන්සේ හිමාල වනයට වැඩ පර්වත මුදුනක ඇවිලෙන ගිනි කඳක් මෙන් බුදුරැසින් ප්‍රභාශ්වර කරමින් වැඩ සිටි සේක.

එකල්හි ත්‍රිශූලයක් ගෙන අහසින් යන එක් විද්‍යාධරයෙක් බුදුන් වහන්සේ දැක එතැනට පැමිණ පැහැදී වනයේ ගසකින් කිණිහිරි මල් තුනක් නෙළා බුදුරජාණන් වහන්සේට පූජා කළේ ය. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් එම මල් තුන බිම නොවැටී තමන් වහන්සේගේ හිස මතුයෙහි අහස් මල් වියනක් මෙන් සිටියේ ය.

ඒ විද්‍යාධරයා ඒ ප්‍රාතිහාර්ය ය දැක බලවත් ප්‍රසාදය ට මෙන් ම සතුට ට ද පත් විය. එම පිනෙන් ආයු කෙළවර මිනිස් ලොවින් චුතව තව්තිසා දෙව් ලොව උපන්නේ ය. ඔහුගේ විමානය උසින් සැට යොදුනක් හා දිගු පුලුලින් තිස් යොදුනක් විය. විසිතුරු දද පෙළින් හා සියගණන් කූටාගාරයන්ගෙන් ද යුක්ත විය. තැනින් තැන තැබු රුවන් පුවරු වලින් හා විසිතුරු යහන්වලින් සමලංකෘත විය. කිණිහිරි මල් පූජාවේ කුසලයෙන් ලද හෙයින් එයට කණිකාර විමානය යි නම් විය.

මම මල් තුනක් පූජා කළා වූ පිනෙන් පන්සිය වරෙක දිව්‍යලෝකයෙහි දිව්‍යරාජ්‍ය කළෙමි. තුන්සිය වරක් මුලු පොළවටම අධිපති වූ චක්‍රවර්ති රජ වීමි. මහත් වූ ප්‍රාදේශීය රාජ්‍යයන් ලද වාරයන්ගේ ගණන අපමණ ය. මම සසර භවයෙන් භවය ට හැසිරෙන්නේ මහත් වූ සම්පත් ලබමි. මා හට සම්පත්තින්ගේ අඩු බවක් කිසි කලෙක නැත්තේ ය. මෙය උත්තර මහරහතන් වහන්සේ සැදැහැ සිතින් යුක්තව පුද පූජා පැවැත්වීමෙන් ලද ඵලයන් ය. යමක් පූජා කිරිමේ දී යමෙකුගේ සද්ධාව මෙන් ම, ප්‍රඥාව ද සම මට්ටමක පවත්වා ගත යුතු ය. මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වැඳුම් පිදුම් කිරිමේ අනුසස් පිළිබඳව දේශනා කළහ

ආනන්දය, යම්කිසි සැදැහැවතෙක් සැදැහැ සිතින් චෛත්‍යචාරිකාවෙහි හැසිරෙත් ද, ඒ යන අතරමග කලුරිය කෙරෙත් ද? ඔවුහු මරණින් මතු සුගතියෙහි උපදිති

පිදිය යුත්තන් පිදීමේ දී වැඩිහිටියන් හටද ගෞරව සම්මාන දැක්විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. වැඩිහිටියෝ නම් තමන්ට වඩා වයසින්, ගුණයෙන් හා ගුණ වයස දෙකින් ම වැඩි ගුරුවර, මව්පිය, සහෝදර සහෝදරියන් නෑ හිත මිතුරන් ආදීහු ය. සිඟාලෝවාද සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ මව්පියන්ට ගුරුවරුන්ට, ගරු සම්මාන දැක්විය යුතු ආකාරය මැනවින් දේශිත ය. ඔවුනට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, අසුන් පැනවීම හා ඔවුනගේ වචනයට අවනතව කටයුතු කිරිම ආදිය සිදු කිරීම තුළින් ගුරුවරුන් හා වැඩිහිටියන් විෂයෙහි ගෞරව දැක්විය හැකි ය. වැඩිහිටියන් පිදීම දෙලොව දියුණුවට මගකි. එම නිසා මෙලොව පරලොව සැප කැමැති සියලු දෙනා විසින් ම ඇතිකර ගත යුතු ගුණධර්ම අතුරෙන් එකකි වැඩිහිටියන් පිදීම. පිළිබඳව තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කර තිබේ.

දහමෙහි දක්‍ෂ වූ, යම් මනුෂ්‍ය කෙනෙක් වැඩිහිටියන් පුදත් ද, ඔවුහු මෙලොව නුවණැතියන්ගෙන් ප්‍රශංසාවට ද පරලොව සුගතියට ද පත් වේ.

කිසිදු වියදමකින් තොරව ගුරුවර, මව්පිය, වැඩිහිටි අයට ගෞරව සම්මාන දැක්විය හැකි ය. වැඩිහිටියන් අනාගත ලෝකයට සත්පුරුෂයින් ගොඩනගන පරමාදර්ශි මූල බීජයන් ය. යමෙකු ඔවුනගේ අවවාද අනුශාසනාවන්ට දෙසවන් යොමු කොට දිවිය යහපත් සේ සකස් කර ගනී ද ඔවුනට දෙලොව ම ජයගත හැකි ය. වැඩිහිටියන් පිදීමෙන් මෙලොව දී ම ආනිසංස ලබා ගත හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ

මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් පවා වැඩිහිටියන්ට ගෞරව දක්වන බව ජාතක පොත් වහන්සේගේ අන්තර්ගත තිත්තිර ජාතක කතාව තුළින් මොනවට පැහැදිලි වේ. පෙර මහ නුග රුකක් ඇසුරු කොට වටුවෙකුත්, වඳුරෙකුත්, ඇතෙකුත් මිත්‍රව වාසය කළහ මෙසේ බොහෝ කලක් මිත්‍රශීලිව වසන ඔවුනට මෙබඳු අදහසක් පහළ විය. මෙතෙක් කලක් අපි තිදෙනා පිළිබඳව විශ්වාසයෙන් යුක්තව කටයුතු කළෙමු. අද සිට අපි අතරින් වැඩි මහල්ලා කවරෙක් දැයි විමසා සොයා ඔහු හට සලකන්නෙමුයි, අවවාදයන්ට අනුගතව ක්‍රියා කරන්නෙමුයි කතිකා කර ගත්හ.

මෙසේ සිතා දිනක්, තිදෙනා ම එක්ව සාකච්ඡා කළහ. පළමුව වටුවාත්, වඳුරාත් මිතුර නුඹ කෙතරම් කලක සිට මෙම නුග ගස ගැන දන්නේදැ යි ඇතාගෙන් ඇසූහ. මිතුරනි, මම ළදරු කල මෙම නුග රුක යට කරගෙන ගියෙමි. එවිට මෙම නුග ගසෙහි දල්ල මගේ බඩෙහි ගෑවුණේ ය. යැයි ඇතා පිළිතුරු දුන්නේ ය. වඳුරාගේ පිළිතුර වූයේ යහලුවනි, මම කුඩා කල බිම සිටගෙන මෙම නුග ගසෙහි දළු කෑවෙමියි කීවේ ය. වටුවා ද තමා නුග ගස පිළිබඳව දන්නා කාලය ඇතාටත්, වඳුරාටත් පැහැදලි කර දුන්හ. යහළුවනි, මෙවැනිම නුග ගසක් මෙයට ටිකක් නුදුරින් පිහිටා තිබේ. මම එහි නුග ගෙඩි කා මෙතන මළ පහ කළෙමි. ඉන් මෙම විශාල නුග ගස හටගත් බව කී ය.

මෙම කතාව තුළ වටුවා කයින් සැමටම වඩා කූඩා වුව ද, මහල්ලා බව හෙළි විය. ඉන්පසු වඳුරා සහ ඇතා ද වටුවාට ගරු කළහ. බසට අවනත වූ හ. අවවාද අනුශාසනා පිළිගත්හත වටුවා ද පන්සිල්හි ම පිහිටා අතවැසියනට යහපත් මාර්ගය ම පෙන්වා දුන්නේ ය. මෙම තිදෙනා මෙසේ වැඩිහිටියන් පුදා මරණින් මතු සුගතියෙහි ඉපදුණහ.

අප තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන රාත්‍රියෙහි කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී ආනන්ද හිමියන්ට බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්වීම් හා ගෞරව දැක්විය යුතු ආකාරය දේශනා කළහ.

ආනන්දය, මේ මහත් වූ පූජාවෙන් තථාගතයන් වහන්සේ සත්කාර කරන ලද්දේ නොවේ. බුහුමන් කරන ලද්දේ නොවේ, පූජා කරන ලද්දේ නොවේ. උපස්ථාන කරන ලද්දේ ද, නොවන්නේ ය. ආනන්දය, යම් භික්‍ෂුවක්, භික්‍ෂුණියක්, උපාසකයෙක් හෝ උපාසිකාවක් මාගේ ධර්මය අනුගමනය කර උතුම් විමුක්තිය සලසා ගනිත් ද එය මා හට දක්වන උත්තරීතර ගෞරවය බව දේශනා කළහ.