Print this Article


සෙංකඩගලපුර ඇසළ පෙරහරට කප් සිටුවීම 2 වනදා

සෙංකඩගලපුර ඇසළ පෙරහරට කප් සිටුවීම 2 වනදා


කිත්සිරි මෙවන් රජ දවස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟ දළදා වහන්සේ උදෙසා පෙරහර පැවැත්වීම ආරම්භ විය.ක්‍රමයෙන් විකාශනය වූ පෙරහර අද වන විට මෙරට ජාතික,ආගමික හා සංස්කෘතික වශයෙන් පිළිගැනීමට ලක්වන ප්‍රධානතම මංගල්‍යය බවට පත්ව තිබේ.

රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් සලකා රජවරු දළදා වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් ය. උන්වහන්සේ උදෙසා පෙරහර මංගල්‍යයක් පවත්වා පූජෝපහාර පැවැත්වීම එකල පටන් අද දක්වා පැවැත එන චාරිත්‍රය කි. මහනුවර රාජ්‍යය සමයේ ලක්දිව උපසම්පදාලත් භික්ෂූන් වහන්සේ නොමැති වීමෙන් ශාසනික පරිහානියක් ඇති විය.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සෙංකඩගල පුර රාජ්‍යත්වයට පත් වීමෙන් පසු වැලිවිට අසරණ සරණ සරණංකර මා හිමියන්ගේ මූලිකත්වයෙන් සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන විත් යළි ලක්දිව උපසම්පදාව ස්ථාපිත කළහ.ඒ වන විට නායක්කාර වංශික රජුන් බලයට පැමිණ තිබීම නිසා ඉන්දියාවේ සිට පැමිණ සිටි ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හා ඥාතීන්ට වන්දනාමාන කිරීමට මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් දේවාල බිහිව තිබිණි.එම දේවාල මූලික කර ගනිමින් පැවැති පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා පෙරහර යළි එක්ව තිබෙන්නේ මහා සංඝරත්නය රජුගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිපලයක් ලෙසිනි. එදා පටන් ශ්‍රී දළදා මාළිගාව මුල් කර ගනිමින් නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන දේවාල පෙරහර මහනුවර නගරයේ සෑම ඇසළ මසකම වීදී සංචාරය කරයි.

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මෙරට පමණක් නොව ලෝකවාසී ජනතාව ගේ ද අවධානය දිනා ගැනීමට සමත් මෙම මහා කලා මංගල්‍යය බුදුරදුන් හා දෙවියන් උදෙසා පවත්වන පූජෝපහාරය කි. සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් මහනුවර ඇසළ පෙරහර ආරම්භ වෙයි. මෙවර ඇසළ මංගල්‍යය සඳහා කප් සිටුවීම ට නියමිතව ඇත්තේ අගෝස්තු මස 02 දින පෙරවරු 5.10 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛ ව ය.එතැන් සිට දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත් වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහර 05 දින වීදී සංචාරය කිරීමට නියමිත ය. අගෝස්තු 09 දින දක්වා දින පහක් කුඹල් පෙරහර වීදී සංචාරය කරයි.රන්දෝලි පෙරහර අගෝස්තු 10 සිට 14 වන දින දක්වා වීදී සංචාරය කරන අතර පසුදින දවල් පෙරහර වීදී සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ මංගල්‍යය නිමාව ට පත්වනු ඇත.

මහනුවර ඇසළ මංගල්‍යයේ ආරම්භය සනිටුහන් වන්නේ සුබ නැකතට කප් සිටුවීමෙනි. “කප” යනු කැප කිරීම යන්නෙන් බි¼දී ආ වචනයකි. කවර වූ වැදගත් කාර්යයක් වුවද, සුබ මුහුර්තියෙන් ආරම්භ කෙරෙන්නේ එහි ආරම්භය පිළිබඳ සංකේතයක් ලෙස මුල් ගලක් තැබීමක් හෝ කප් සිටුවීමක් කරමිනි. එය පුරාණයේ සිට පැවැත එන චාරිත්‍රය කි.එම කාර්යයන්ගේ සාර්ථකත්වයත්, ඒ සඳහා නියැළෙන්නන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමත් මෙමඟින් අපේක්ෂා කෙරෙයි. මහනුවර ඇසළ මංගල්‍යය සඳහා කප් සිටුවීමට අවශ්‍ය කප, කපා ගනු ලබන්නේ අලුත්නුවර දේවාල පරිශ්‍රයෙනි. කප සඳහා තෝරා ගනු ලබන්නේ පල නොදැරූ කිරි ගස කි.කිරි යනු පවිත්‍රත්වයේත්, සෞභාග්‍යයේත් සංකේතය කි. වර්තමානයේ මේ සඳහා බහුලව යොදා ගන්නේ පණස වෘක්ෂය කි. ප්‍රමාණය වියත් තුනක් පමණ වූ ලපටි කොස් ගසක් තෝරා ගෙන ඒ වටා හොඳීන් පිරිසුදු කර ගැනීමෙන් පසු මහ දේවාලයේ ගස් කපන්නා ප්‍රමුඛ පිරිස පෙරහරින් එහි ගොස් සුවඳ දුම් අල්ලා සුවඳ පැන් ඉස, මල් බුලත් තබා, ගස කැප කර ගැනීම සිදු කරයි.ගස වටා පහන් නවයක් දල්වා බුලත් කොළ නවයක් මත මල් වර්ග නවයක් තබයි. දෙහි ඇඹුල් ගා ස්නානය කොට සුදුවතින් සැරසී අලුයම් කාලයේ මෙම ගස කපනු ලබන්නේ දේවාලයේ ගස් කපන්නා විසිනි.නැගෙනහිර දිශාව බලා ඒ දෙසට ගස වැටෙන්නට සැලැස්වීම ද සම්ප්‍රදාය කි.

ගසේ කඳ අඩි දෙක බැගින් වූ කැබලි හතරකට කපා ගැනීමෙන් පසු එහි මුල් කොටස නාථ දේවාලයටත්, දෙවැන්න විෂ්ණු දේවාලයටත්, තෙවැන්න කතරගම දේවාලයටත්, අවසන් කොටස පත්තිනි දේවාලයටත්, බෙදා දීම පිණිස මහනුවරට රැගෙන එන්නේ අලි ඇතුන් සහිත පෙරහරකිනි.මෙම කොටස් දේවාල අතර බෙදා දීම සිදු කෙරෙන්නේ විෂ්ණු දේවාලයේ මූලිකත්වයෙන් වන අතර ඊට දළදා මාලිගාව කිසිදු ආකාරයකින් සම්බන්ධ වන්නේ නැත.දේවාලය ඉදිරිපිට සකස් කරනු ලබන විශේෂිත ස්ථානයක කප සිටුවන අතර වටතිර ඇද, උඩුවියන් බැඳ සරසන ලද මෙම ස්ථානයට “ඇහැළගේ” යනුවෙන් අතීතයේ හඳුන්වා තිබේ.ඇහැළගේ හෙවත් කප සිටුවන ස්ථානයේ කුඩා වලක් හාරා සුදු රෙදි කඩකින් ඔතන ලද කප එහි සිටවනු ලබයි. ඒ දෙපස ලෙලි පොල් ගෙඩි තුනක් තබන අතර, කප උදුරන තෙක් එහි පහන් තුනක් දල්වනු ලබයි.පෙරහර පැවැත් වීමෙන් අපේක්ෂා කරනුයේ නිසි කලට වැසි පල ලබා, ගොවිතැන් සාර්ථකව කර රටේ සෞභාග්‍යය උදාකර ගැනීම යි.වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් උදෙසා මෙම කප් සිටුවීම සිදු කරනු ලබයි.ඒ ඒ දේවාලවල කපු මහත්වරු පංච තූර්ය නාද මධ්‍යයේ දේවාභරණ කප වටා වැඩම කරවන අතර මෙය ඇතුළේ පෙරහර ලෙස හඳුන්වයි.

දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වෙන අතර මෙම කාලසීමාව තුළ දේවාලය අවට ගොක් අතු වලින් මොනවට සරසා තබනු ලබයි.කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහර වීදී සංචාරය කොට අවසන් පෙරහර දින රාත්‍රීයේ මාලිගාවේ පෙරහර ගෙඩිගේ ආදාහන මළුව වෙත පැමිණ සධාතුක කරඬුව එහි තැන්පත් කරනු ලබයි. සතර දේවාල පෙරහර දිය කැපීමේ මංගල්‍යය සඳහා ගැටඹේ තොටට පිටත්ව යයි.එහිදී නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන දේවාල වල සිටුවා තිබූ කප උගුල්වා රැගෙන ගොස් ගැටඹේ තොටේ දී ජලයේ පා කර හරී.මෙසේ ගඟේ පාව යන කප අල්ලා ගැනීමට අති විශාල පිරිසක් ගඟ පහළ රැදී සිටිති. මෙම කප තම කෙත් වතුවල සිටුවා ගැනීමෙන් ඉහළ සශ්‍රිකත්වය ක් හා සෞභාග්‍යය ක් උදාවන බව ඔවුන්ගේ විශ්වාසය යි.