Print this Article


අවදානම තේරුම් ගනිමු ද?

අවදානම තේරුම් ගනිමු ද?


බුදුරජාණන් වහන්සේ අප විසින් උසුලනු ලබන බර ගැන සූත්‍ර දේශනා කිහිපයක දී ම දේශනා කර තිබෙනවා. විශේෂයෙන් ම සිත දරා සිටින බර, කෙලෙස් බර, වගකීම් නමැති බර ගැනයි මේ තුළින් අදහස් කරන්නේ. භාර සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය හා ධාතු විභංග සූත්‍රය යන සූත්‍ර දේශනා ඇසුරෙන් බරෙන් නිදහස්වීමේ සුවය ලබා ගත යුතු වෙනවා. ඒ සඳහා මේ සූත්‍ර දේශනා ගැන ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙනවා.

පුද්ගලයෝ හතර දෙනා

භාර සූත්‍රයට අනුව මේ ලෝකයේ පුද්ගලයන් තුන් දෙනෙක් සිටිනවා.

බර රැගෙන යන පුද්ගලයා ( භාර හාරං), බර දරාගෙන යන පුද්ගලයා (භාර දානං) සහ බර බහා තබන පුද්ගලයා ( භාර නික්ඛේපනං) ලෙස ය.

මෙහිදී බර රැගෙන යන පුද්ගලයා යනුවෙන් අදහස් කරන්නේ පඤ්චස්කන්ධය උපාදානය කර ගත් පුද්ගලයා ය යන්නයි. සත්ත්වයා කියන්නේ ද මේ බර කර ගසාගෙන යන පුද්ගලයාට යි . බර යනුවෙන් දක්වා ඇත්තේ පඤ්චුපාදානස්කන්ධ බරයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ නම් වූ පඤ්චස්කන්ධය උපාදානය කර සිටීම ඒ බරයි. මේ බර ලෝකයේ ඇති ලොකුම බරයි. මහත් වූ දුක්, පීඩාවන් ඇති කරවන බරයි. ශරීරයේ බර නම් ව්‍යවහාර මිණුම් ක්‍රම මත රාත්තල්, කිලෝවලින් කිරා කිව හැකියි. නමුත් හැම පැත්තකින්ම දැනෙන වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන්ගේ බර කිසිවකින්වත් කිරන්නට බැහැ. මණින්නට බැහැ. මේ බර ඇතැමෙකුට උසුලා දරා සිටින්නට බැහැ. ඇතැම් අය සිය දිවි හානි කර ගැනීමට පවා පෙළෙඹෙන්නේ මේ බර නිසි ලෙසින් කළමනාකරණය කොට දරා ගන්නට අපොහොසත්වීම නිසා ය.

භාරහාර යනුවෙන් දක්වා ඇත්තේ පඤ්චුපාදානස්කන්ධ නම් වූ බර රැගෙන යන කෙනා ය. ඒ පඤ්චස්කන්ධය උපාදානය කර ගත්, ඒ බර කරට ගෙන සසර සැරි සරන සත්ත්වයා ය. ඒ සත්ත්වයා තමා විසින් ම ජනිත කර ගත් කර්මයේ බර ද උසුලාගෙන යනවා. පඤ්චස්කන්ධය මම ය, මගේ ය, මට අවශ්‍ය ලෙසින් පාලනය කළ හැකිය යැයි සිතා පුද්ගලිකත්වය ගෙන ගමන් කරන තැනැත්තා බර රැගෙන යන පුද්ගලයා වශයෙන් දක්වා තිබෙනවා. නාම රූපයන්ගේ බර කර දරා ගෙන භවයෙන් භවය මාරු වෙමින් මේ සත්ත්වයා සංසාරයේ සැරි සරනවා.

සංසාරගත සත්ත්වයා තමන් තුළ වූ පඤ්චුපාදානස්කන්ධයන්ගේ බර පමණක් නොව තමන්ගේ පැවැත්මට හේතුවන, තමන් නිසා පැවැත්ම තහවුරු කර ගන්නා වෙනත් පඤ්චස්කන්ධ බරත් කර ගහ ගන්නවා. ඒ අනුව තමයි සත්ත්වයා දූ දරු, අඹුසැමි, ඤාති මිත්‍ර, දෙමාපියන් ආදීන්ගේ වගකීම් ද සිතට ගෙන බර කරට ගන්නේ. ඒ සියලු වගකීම් ද ඉටු කරන්න තිබෙන නිසා මිනිසා තමන්ගේ පමණක් නොව අනුන්ගේ බරින් ද හොඳටම හෙම්බත් වෙලයි සිටින්නේ. වගකීම් ලෙසින් විවිධ දේ තමන්ගේ සිතට ගන්න මිනිසා සැබැවින්ම ඒ දේවල් කරන්නේ ඔවුනොවුන්ට තිබෙන බැඳීම, උපාදානය නිසාම යි. සියල්ල අත්හළ මහ රහතන් වහන්සේට එවන් ලෞකික බැඳීම් කිසිවක් නැහැ. උන්වහන්සේ ඒ නිසා සියලු බැඳීම් හෙවත් බර බහා තබපු කෙනෙක්. ඒ නිසයි රහතන් වහන්සේට ඕහිතභාර යන නම යොදන්නේ.

බුදුරදුන්ගේ උපකාරය

බුදුවරු ලොව පහළවන්නේ චතුරාර්ය සත්‍යය අපට කියා දෙන්නට යි . බුදුරජාණන් වහන්සේ නමකගේ උපකාරය නැතිව කිසිදු සත්ත්වයෙකුට තනිවම මේ සත්‍යාවබෝධය කරන්නට බැහැ. බුදු කෙනෙකුගේ උපකාරය නොමැති නිසා සත්ත්වයා දුකින් මිදෙන මඟ හරි හැටි නො දැන බොහෝ දුක් විඳගෙන සසර සැරිසරන කාලයකයි මේ අසිරිමත් බුදු උපත සිදු වුණේ. දුකෙන් මිදෙන මඟ අපට වටහා ගන්නට සුදුසු පරිසරය උදා වුණේ ඒ නිස යි. සත්ත්වයා දුක් විඳින්නේ හරිහැටි තමන් අවබෝධ කරගත්තේ නැති නිසයි .පෘථග්ජනයාට ඇති ලොකුම ගැටලුව වන්නේ ද තමන් අවබෝධ කර නො ගැනීමයි. අනතුර ඇත්තේ එතැන යි .

මිනිසුන් මොන මොන තනතුරු දැරුවත් තනතුරේ හැටියට අනතුර ද තිබෙන බව ඔවුන් වටහා ගත යුතුයි.අවම තරමේ සෝවාන් ඵලයට පත් වනතුරුම පුහුදුන් සත්ත්වයාගේ මරණින් මතු ජීවිතය තිබෙන්නේ ද අවදානම් තත්ත්වයක යි. චතුරාර්ය සත්‍යය නිසි ලෙසින් අවබෝධ කර ගන්නා තුරු පුහුදුන් පුද්ගලයා අනතුරෙන් නිදහස් නැහැ. එබැවින් බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම පරිදි අප උත්සාහවත් විය යුත්තේ තමන් අවබෝධ කර ගැනීමට යි. ඒ අනුව තමන් මෙතුවක් කල් ඔසවා ගෙන ආ පඤ්චුපාදානස්කන්ධයේ ඇති බර සැබැවින්ම බරක් බව වටහා ගත යුතුයි. එසේ වටහා ගෙන එම බර ඉවත් කර ගැනීමට උත්සාහ කළ යුතුයි. බර ඉවත් කර ගැනීමට නම් පඤ්චස්කන්ධයට ඇති උපාදානය අත්හළ යුතුයි. උපාදානය කඩා බිඳ දැමිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව ඇති කර ගත යුතුයි.

තෘෂ්ණාවේ බර

තෘෂ්ණාව හෙවත් පඤ්චස්කන්ධය පවත්වා ගැනීමේ කැමැත්ත ආකාර තුනකට ඇති වෙනවා. මේ පඤ්චස්කන්ධය කාම භවයන්හි පවත්වා ගැනීමට ඇති වන කැමැත්ත කාම තණ්හා වශයෙන් ද, මේ පඤ්චස්කන්ධය රූප භවයන්හි පවත්වා ගැනීමට ඇතිවන කැමැත්ත භව තණ්හා වශයෙන් ද , මේ පඤ්චස්කන්ධය අරූප භවයන්හි පවත්වා ගැනීමට ඇතිවන කැමැත්ත විභව තණ්හා වශයෙන් ද හැඳින්විය හැකියි. මේ මේ භවයන්හි පඤ්චස්කන්ධයට ඇති තෘෂ්ණාවේ ස්වභාවය අනුව බර ද අඩු වැඩි වෙනවා. කාම භවයෙහි පඤ්චස්කන්ධයට ඇති තෘෂ්ණාව, රූප භවයෙහි ඇති වන තෘෂ්ණාවට වඩා සාපේක්ෂව බැලූ විට වැඩියි.

රූප භවයේ පඤ්චස්කන්ධයට ඇති තෘෂ්ණාව අරූප භවයෙහි ඇති තෘෂ්ණාවට වඩා වැඩියි.අරූප භවයේ දී පඤ්චස්කන්ධයට ඇති තෘෂ්ණාව අනෙක් භව දෙකෙහි දී ම ඇති වන තෘෂ්ණාවට වඩා අඩුයි. කෙසේ වෙතත් මේ සෑම භවයක දී ම තෘෂ්ණාව තිබෙනවා. ඒ ඒ තෘෂ්ණාවේ ස්වභාවය අනුව උසුලන්නට වන බර ප්‍රමාණයේ ද අඩු වැඩිවීමක් වෙනවා. ඒ අනුව අප මේ දීර්ඝ සංසාරයේ සැරිසරන විට උසුලන්නට වෙන බර ගැන මනා වැටහීමක් ඇති කරගෙන තෘෂ්ණාව අඩු කර ගැනීමට උත්සාහවත් විය යුතු වෙනවා.

යමෙක් ඇසට ගොදුරු වන රූපයට බැඳීමක් හෝ ඇලීමක් ඇති කර ගන්නවා ද? ඒ තැනැත්තා මාරයාගේ වසඟයට පත් වූ කෙනෙක් වශයෙනුයි ධර්මය තුළ හඳුන්වනු ලබන්නේ. මුළු මහත් ලෝකය ම මාරයාගේ වසඟයේ පවතින එකක්. එසේ පවසන්නේ ලෝකය නමින් හැඳින්වෙන්නේ ද මේ ඉන්ද්‍රිය ගෝචර වන අරමුණු වන නිස යි. මරු වසඟයෙන් මිදෙන්නට නම් කළයුත්තේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු හමුවේ ඇලෙන්නටවත්, ගැටෙන්නටවත් නො යා කටයුතු කිරීම යි.

- නයනා නිල්මිණී