Print this Article


එණිජංඝලක්ඛණං

එණිජංඝලක්ඛණං

“යම්පි, භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො”

මහණෙනි , තථාගතයන් වහන්සේ පෙර ජාතීන්හි පෙර භවයන් හි, පෙර ඇල්මෙන් වාසය කළ ස්ථානයන්වල දී , පෙර මනුස්සයෙක් ව සිටින විට ‘සක්කච්චං වාචෙතා අහොසි සිප්පං වා විජ්ජං වා චරණං වා කම්මං වා” .

“සිප්පං වා” ශිල්ප ශාස්ත්‍ර, “විජ්ජං වා” විද්‍යාව, “චරණං වා” චරණ ධර්ම, “කම්මං වා” කර්මාන්ත මේ සතර වර්ගය ම උගන්වා තිබෙනවා. කොහොමද උගන්වා තියෙන්නේ. සකසා උගන්වා තියෙනවා. “වාචෙතා” කටපාඩම් කරවා තියෙනවා.

මෙම කරුණ සම්බන්ධයෙන් අට්ඨ කතාවේ මේ ආකාරයෙන් විස්තර වනවා. “සිප්පං වාති ආදීසු සිප්පං නාම ද්වෙ සිප්පානි” ශිල්ප වර්ග දෙකක් පවතිනවා. “හීනඤ්ච සිප්පං , උක්කට්ඨඤ්ච සිප්පං” හීන ශිල්ප වූ ශිල්ප හා උත්කෘෂ්ඨ වූ ශිල්ප වශයෙන්. “හීනං නාම සිප්පං” හීන ශිල්ප වශයෙන් හඳුන්වන්නේ “නළකාරසිප්පං” බට ලී ශිල්පය. “කුම්භකාරසිප්පං” වළං සාදන ශිල්පය. “පෙසකාරසිප්පං” රෙදි වියන ශිල්පය. “නහාපිතසිප්පං” කෙස් රැවුල් කපන ශිල්පය යනුවෙනි.

උත්කෘෂ්ට ශිල්ප වශයෙන් හඳුන්වනු ලබන්නේ “ලේඛා” ලිවීම, “මුද්දා” මුද්‍රණ ශිල්පය හා “ගණනා” ගණන් කරන ශිල්පයයි. මෙම ගණන් කරන ශිල්පය අදට වඩා එදා දියුණු ශිල්ප ක්‍රමයක් වශයෙන් පැවතී තිබෙනවා. උදාහරණයක් ලෙස එය මේ ආකාරයෙන් පෙන්විය හැකියි. අක්කර ගණනක අඹ ගස් දෙස බලා අඹගස් කොපමණ තිබෙනවා ද කියා පැවසිය හැකියි. කුඹුරක් දෙස බලා එහි කොපමණ වී බුසල් ප්‍රමාණයක් තියෙනවා ද කියා පැවසිය හැකියි. “විජ්ජාති” විද්‍යාව “අහිවිජ්ජාදි අනෙකවිධා” සර්පයන් පිළිබඳ විද්‍යාව ආදී වශයෙන් විද්‍යාවන් ගණනාවක් තිබී ඇත. මේ පිළිබඳව දීඝ නිකායේ පළමු පොතේ සූත්‍ර දහතුනක් පවතිනවා. එම සූත්‍ර දහතුනේ ම මේ විද්‍යා වර්ග පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. විද්‍යාව යනු සෑම අංශයක් පිළිබඳව ම තිබෙන දැනුමක්. සත්ත්ව විද්‍යාව, ගෘහ විද්‍යාව, රුක්ෂ විද්‍යාව ආදී හැම අංශයක් ම පිළිබඳව ම පවතින අවබෝධයක්. වර්තමානයේ යම් මහාචාර්යවරයෙක් සතු දැනුම වන්නේ එක් ක්ෂේත්‍රයක් පිළිබඳව පමණයි. නමුත් එදා බ්‍රාහ්මණයෙක් සතු දැනුම හැම අංශයක් පිළිබඳව තිබුණා. එහි දී පුළුල් පැතිකඩක් සාකච්ඡා වෙනවා.

“චරණන්ති” “පඤ්චසීලං දසසීලං පාතිමොක්ඛසංවරසීලං” ‘චරණ’ යනු පංචශීල, දසසීල, ප්‍රාතිමෝක්ෂ සීලා දී සීලයන් වේ. යම් සීලයකින් සැපයක් ගෙන දෙනවා නම්, යම් චරණයකින් යම් දෙයකින්, දිව්‍ය ලෝකය උප්පත්තියක් ලැබිය හැකිනම්, මනුෂ්‍ය ලෝකයේ උප්පත්තියක් ලැබිය හැකිනම්, සැපය ගෙන දෙනවා නම්, මෙවැනි කාරණාවලටත් ‘චරණ’ යැයි හඳුන්වනවා. මෙයත් උගන්වා තිබෙනවා.

“කම්මන්ති” “කම්මස්සකතාජානනපඤ්ඤා” කම්ම යනු කර්මය ස්වකීය යැයි කියා දැනගන්න ප්‍රඥාවයි. මෙය සම්මා දිට්ඨිකත්වයේ මූලිකම ලක්ෂණ වන්නේ කම්මස්සකථා ඤාණය, තමන් කළ දේ තමන්ට පළ දෙනවා කියන ප්‍රඥාවයි. මෙම ලක්ෂණයත් උගන්වා තිබෙනවා.

බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට ම ශිල්ප, විද්‍යාව, චරණ, කම්ම යන මේ කරුණු උගන්වා තිබෙන්නේ, කිසිදු ආකාරයකට අඩුපාඩුවක් ඇති නොවෙන ආකාරයටයි. විශේෂ ඥාන ලබාගැනීම පිණිස වෙහෙස වෙද්දී, ඒ තමන්ගේ ශිෂ්‍යයන්, වැඩියෙන් වෙහෙස වන්නේ, නැත්තේ කොහොමද කියා විශේෂයෙන් ම සලකා බලා තියෙනවා. “කිං තිංමෙ ඛිප්පං විජානෙය්‍යුං” කෙසේ මොවුන් වහ වහා දැනගන්නේ ද? වහ වහා අවබෝධ කර ගන්නේ කෙසේද? කියා විශේෂයෙන් සලකා බලා තියෙනවා. යම් වූ ද ධර්ම දේශනයක ධර්ම පත්‍රිකාවක් ලබාදීම හෝ, වගු ගත කර දෙයක් ලබා දීම ආදී වශයෙන් ඔවුන්ට වහ වහා වැටහෙනවා ද කියා වෙනම සලකා බලා තියෙනවා. “ඛිප්පං පටිපජ්ජෙය්‍යු” ධර්මය අසා ඉක්මනින් අවබෝධ කරගෙන, ඉතා ඉක්මනින් පිළිපදින්නේ කෙසේද කියා වෙනම ම වෙහෙසී තියෙනවා.

උදාහරණයක් ලෙස ධර්මය වූවත් බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ සුතා, ධතා, වචසා, පරිචිතා මනසා උපේක්ඛිතා දිට්ඨි යා වා සුප්පටි විද්‍යා කියන ක්‍රමයටයි. එවිටයි නුවණ වැඩෙන්නේ. “සුතා” හොඳින් අසන්න අවශ්‍යයි. අහන දේ අපේ මනසේ වගු ගතවන සේ විය යුතුයි. ඊළඟට කන් දෙක යොමු විය යුතුයි’ ධර්ම දේශනාවට. ඒ මොහොතේ මුළු සිතේ ම ධර්මය වැඩිය යුතුයි. ඒ වගේ ම ධර්මය අසන විට බලාපොරොත්තුවක් තිබිය යුතුයි, මට මේ ධර්ම දේශනාවෙන් නිර්වාණය ලැබේවා’යි කියා. අරමුණක් සමඟ එකඟ වූ සිතකින් ම ධර්ම දේශනාවක් අසන්න පුළුවන්කමක් ලැබෙන්නේ එවිටයි. එසේ වූ විට ධර්මය මතක සිටිනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ අමාවක ( ජූලි 31) පත්‍රයේ පළවේ.