Print this Article


නිසල සිත

නිසල සිත

භාවනා වැඩීමට බොහෝ දෙනා කැමැති ය. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා භාවනාවේ නිරතවන අය සීමිත ය. මෙයට එක් හේතුවක් හැටියට භාවනා වැඩීම පිළිබඳ නිසි පරිදි දැනුමක් නොමැතිවීම දැක්විය හැක. භාවනාවට සරල මගක් අනුගමනය කරන්න.

මූලික වතාවත් සිදුකොට විධිමත් ඉරියව්වකින් භාවනාවට සූදානම් වීම කෙනෙකුට අපහසු විය හැක. එහෙයින් සුව පහසු ක්‍රමයකින් භාවනාවට පිවිසෙන්න. සිව් ඉරියව්වෙන් ඔබට පහසුම ඉරියව්ව සයනගත ඉරියව්ව යැයි සිතමු. නින්දට පෙර සයනගත ඉරියව්වේ අතපය පිළිවෙළකට තබාගෙන, දෙනෙත් පියාගෙන සිටිය හැක. බුදු සමිඳුන් සැතපී සිටින ඉරියව්ව දෙස බලන්න. ඒ ක්‍රමය අනුව සයනයේ දිගා වී ඔබේ දකුණු අත උදරය මත තබා ගන්න. දැන් අතීතයට සම්බන්ධ සිතිවිලිත්, අනාගතයට සම්බන්ධ සිතිවිලිත් අත්හරින්න. කිසිත් සිතන්න එපා. දැන් ඔබ මේ මොහොත දක්වා සිතූ කිසිත් සිතන්නේ නැහැ. එමෙන්ම හෙට දවසේ, අනාගතයේ කරන කිසිවක් සිතන්නේ නැහැ.

හිස් මුදුනේ සිට ක්‍රමයෙන් දෙපා දක්වා සිත ගෙන එන්න. දෙපා වෙත ගෙනවිත් ඔබේ දකුණු පාදයේ මාපටගිල්ල දෙස මනසින් බලා සිටින්න. රාත්‍රිය මොනතරම් නිහඬද? ආලෝකයෙන් තොර පරිසරය. ඔබේ නෙතට කිසිත් පෙනෙන්නේ නැහැ. අමුතු ගඳ සුවඳක් දැනෙන්නෙ නැහැ. නාසයත් නිහඬයි. දහදිය දැමීමක් නැහැ. කය සයනයෙ දිගා වී තිබුණත් ඒ හැටි දැනීමක් නැහැ. මේ අන්දමට විනාඩි කිහිපයක් සිටින ඔබට දැනෙන දෙයට සිත යොමු කරන්න. ඒ අන්කිසිවක් නොවෙයි හුස්ම ඉහළ පහළ යන රිද්මයයි. සමහරවිට ඔබට ඔබේ උදරය මත තබාගෙන සිටින දකුණු අතට එය හොඳින් දැනෙන්න පටන් ගනීවි. දැන් හොඳට හුස්ම ඉහළ පහළ යන රිද්මය අනුව උදරයේ උස් පහත්වීම දැනෙනවා. එහෙම නැතිනම් හුස්ම ඇතුල්වන පිටවන අන්දම හොඳට දැනෙනවා. මේ පුහුණුව ටික දිනක් කරගෙන යන්න. මීළඟ පියවරේ දී ඔබටම හුස්මවල රිද්මය, වෙනස වැටහෙනු ඇත. මුල දී හුස්මවල තිබූ රළු බව මෙන්ම දීර්ඝබව වෙනුවට හුස්ම ඉතා සියුම්ව දැනෙන්න පටන් ගනීවි. ඔබ කළ යුත්තේ ඒ නියම ස්වභාවයම දකිමින්, දනිමින් නිහඬව සිටීමයි. දිග හුස්මක් කෙටි හුස්මක් යනුවෙන් සිතිය යුතු නැහැ.

හුස්ම රිද්මය දෙස සිතිවිලිවලින් තොරව අවධානයෙන් බලා සිටින්න. දින කිහිපයක් මේ සුළං රැල්ල දෙස බලා සිටින්න. ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ දැනීම නොදැනී යයි.

දැන් ඔබට දැනෙන්නේ වේදනාව පමණයි. එය ද පළමුව ඕලාරිකව දැනී ක්‍රමයෙන් මෘදු බවට පත්වේ. ඉන්පසු සැහැල්ලු පී‍්‍රති සුවය දැනෙයි. මැනවින් සිත එකඟ වෙයි. පළමු දැහැනේ අංග පහකි. එහි මුල් අංග දෙක කය පිළිබඳවයි. ඉතිරි අංග තුන සිතට සම්බන්ධයි. භාවනාව ඇරඹි මොහොතේ ඔබ ආශ්වාස ප්‍රශ්වාස ආරම්භයත්, එහි සිත පැවතීමත් ගැන දැනීමෙන් සිටියි. අරමුණ පටන් ගෙන එහි නියුතු වීම විතක්ක විචාර නමින් හැඳින්වේ. කෙමෙන් අරමුණ ආරම්භ වූ අවස්ථාව නැති වී එහිම පැවතීම ද නො දැනී ගිය පසු මනසට සම්බන්ධ කොටස ක්‍රියාත්මක වෙයි. එය භාවනාවට කමටහන වූ හුස්ම නො දැනී සුවයක් සැහැල්ලුවක් දැනීමයි.

මේ සුව පහසු දැනීම දිගට පවත්වාගෙන යා හැකිනම් සිතේ එකඟබව ඇතිකර ගැනීම අපහසු දෙයක් නොවෙයි.

දින දෙක තුනක පුහුණුවකින් සිතේ එකඟ බව ලැබිය නොහැක. ඉවසීමෙන් යුතුව නිරතුරුව පුහුණුවීමෙන් සිතේ එකඟබව ලැබෙනු ඇත. සිතේ එකඟබව දියුණුවීමත් සමඟ හටගත් පී‍්‍රති සුවය තුළ රැඳී සිටීමේ කැමැත්ත නිතැතින්ම ඇති වෙයි. එයටම ගැළී නො සිට ඉදිරියට ගත යුතු පියවර වෙත යොමු වීම නිවන පතන සැදැහැතියාගේ අධිෂ්ඨානය විය යුතු යි. සිතිවිලි සංකල්පවලින් තොර අවධානය ගැන හැමවිටම සිතන්න. නිවන වැනි පරලොව ලබන උතුම් සැපය වගේම මේ ජීවිතයේ දී එයින් ලද හැකි ප්‍රතිඵල බොහොමයි. භාග්‍යවතුන් වහන්සේට සම්බන්ධ සිදුවීමක් මෙහිදී සිහිපත් කිරීම මැනවැයි සිතෙයි.

අවසාන වස්කාලය බේලුව ගම වැඩහුන් සමයෙ භාග්‍යවතුන් වහන්සේ දැඩි සේ ගිලන් වූ හ. පුහුදුන් සව්වෝ හඬා වැළපෙන්නට වූ හ. පසුදින විහාර සෙවනැල්ලේ අව්ව තපින භාග්‍යවතුන් වහන්සේ දුටු අනඳ හිමි විස්මයට පැමිණ සමිඳුනි, හරිම ආශ්චර්යයක්. ඊයේ රාත්‍රී භාග්‍යවතුන් වහන්සේ ගිලන්ව වැඩ හුන් වේලේ සියලු පුහුදුන් බුදු සව්වන් හිතුවේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම ආසන්න බවයි. එපමණටම භාග්‍යවතුන් වහන්සේ දැඩිව ගිලන් වූ සේක.

ආනන්ද භාග්‍යවතුන් වහන්සේට දැඩි වෙහෙසක්, ගිලන් බවක් ඇති වූ විට සියලු වේදනාවන් නතර කොට එක වේදනාවක පමණක් සිත පිහිටුවනවා. සිත, කය සමාධියට පත් වූ විට භාග්‍යවතුන් වහන්සේට පහසුව දැනෙනවා. රෝග පීඩාවෙන් මිදීමට හැකි වෙනවා.

සිත උපරිමතලයට දියුණුකළ භාග්‍යවතුන් වහන්සේට පමණක් සීමා වූ නිරෝධ සමාපත්තිය පුහුදුන් අයෙකුට නොමැත. එහෙත් ඇස, කන, නාසය, දිව, ශරීරය අරමුණු ගැනීමෙන් බැහැරව හුස්ම වෙතට සිත යොමු කිරීම කළ හැක. ඉහත සඳහන් කළ භාවනාවෙන් පැහැදිලි කළේ එම කරුණයි. එහෙයින් ගත සිත සනසන සිතිවිලිවලින් තොර අවධානය පුරුදු කරන්න.