Print this Article


කායික සුවතාවයට බුදු දහමේ මඟ පෙන්වීම

කායික සුවතාවයට බුදු දහමේ මඟ පෙන්වීම

බුදුන් වහන්සේ විවිධ අවස්ථාවල දී සිය දේශනාවන් මඟින් යහපත් සෞඛ්‍යයකින් යුතු දිවි පැවැත්මක් ගොඩනගා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් සේක. එබැවින් ලෝකයේ ඇති සෑම ලාභයක් අතරින් උතුම් ම ලාභය ලෙස බුදු දහම සලකන්නේ නීරෝගී බව යි. බුදුන් වහන්සේ මජ්ක්‍ධිමනිකායේ මහා අස්සපුර සුත්‍රයේ දී මෙසේ ප්‍රකාශ කොට ඇත.

“මහණෙනි යම් පුරුෂයෙක් තෙමේ ආබාධයකින් යුක්තවූයේ, එයින් හටගත් දුක් ඇත්තේ, දැඩිව ගිලන්වේ ද, ඔහුට ආහාර ද රුචි නොවන්නේ ය, ඔහුගේ ශරීරයේ බලය ද නොවන්නේ ය, එසේ වූ ඔහුට මෙබඳු අදහසක් වන්නේ ය. මම, වනාහී පෙර ලෙඩ වූයෙමි, එයින් හටගත් දුක්වේදනා ඇත්තේ වීමි, දැඩි ගිලන්වීමි, බත ද රුචි නොවේ, මගේ ශරීරයේ ශක්තිය ද නැතිවිය, ඒ මම, දැන් රෝගයෙන් මිදුනෙමි, බත ද රුචි ය, මගේ කයෙහි ශක්තිය ද ඇත, හෙතෙම ඒ හේතුකොට ගෙන සතුටට පත්වේ. සොම්නසට පැමිණේ” මෙහි දී බුදුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ පුද්ගලයෙක් රෝගී තත්ත්වයට පත්වීමෙන් විඳීිමට සිදුවන අපහසුතාවයන් සහ ඉන් මිදීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභයන් ය.

සැබෑ නිරෝගී බව කුමක්දැයි යන්න බුදුහිමියන් විසින් මාගන්දි සූත්‍රය ඇසුරෙන් මෙසේ දේශනා කර තිබේ. දිනක් මාගන්දිය බමුණා හමු වූ බුදුන් වහන්සේ “ආරොග්‍ය පරමා ලාභා, නිබ්බාණං පරමං සුඛං” යනුවෙන් ප්‍රකාශ කළ සේක. එම අදහස අගය කළ මාගන්ධිය බමුණා ද තමන්ගේ ආචාර්යවරුන් ද මෙසේ ප්‍රකාශ කොට ඇතැයි බුදුන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේ ය. එහි දී බුදුන් වහන්සේ මාගන්ධිය බමුණාගෙන් “බ්‍රාහ්මණය, නුඹ නිරෝගීකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැනයක් විමසී ය” එහිදී මාගන්ධිය බ්‍රාහ්මණයා “තෙමේ, “ස්වකීය වූ ශරීරාවයවයන් අතින් පිරිමදියි. භාග්‍යවතුන් වහන්ස, ඒ නීරෝගී බව නම් මෙය ම වේ. ඒ නිවන නම් මෙය වේ, භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දැන් නීරෝගීව, සුවසේ වසමි, මට කිසිදු රෝගයක් පීඩා නොකරන්නේ ය.” යනුවෙන් ප්‍රකාශ කරයි. එහිදී බුදුන් වහන්සේ එම අදහස සාවද්‍ය බව දේශනා කළහ. ආර්ය විනයේ නීරෝගී බව යනු කුමක්දැයි පැහැදිලි කළ සේක. “මාගන්ධිය මේ ශරීරය වනාහි රෝගයක් වූයේ ය, ගඩක් වූයේ ය, හුලක් වූයේ ය, විනාශයක් වූයේ ය. ලෙඩක් වූයේ ය, ඒ

රෝගයක් වූ, ගඩක් වූ, හුලක් වූ ද, විනාශයක් වූ, ලෙඩක් වූ මේ ශරීරය, ඉන් මිදීම නිරෝගී බවයි. නිවනයි. කීයෙහිය”. මේ අනුව බුදු දහමේ නීරෝගී බව යනුවෙන් අදහස් වන අදහස ඉතා පෘථුල අර්ථයක් බව පැහැදිලි වේ. බුදු දහමේ, රෝගී භාවයට පත් වූ කෙනෙක් නිරන්තරයෙන් සිහිපත් කළ යුත්තේ එකී රෝගී බව ගැන නො ව නිරෝගී බව ගැන ය, යන්න සඳහන් වේ. ඒ අනුව තමන් නිරන්තරයෙන් ම රෝගී වූ අයෙක් ය යන සිතිවිල්ල නිසා එකී රෝගයෙන් මිදීමට හැකියාවක් නැත. උත්සාහ කළ යුත්තේ නීරෝගී බව මෙනෙහි කිරීම ය. ඒ සඳහා උත්සාහ කිරීම ය. බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේ දී දේශනා කොට ඇත්තේ මේ ලෝකයේ ඇතැමෙකුට වසර ගණනාවක් කායික රෝගාබාධවලින් තොරව ජීවත්වීමට හැකියාව ඇතත් , මානසික රෝගවලින් තොර ව එක මෙහොතක් හෝ ගත කරන කෙනෙකු නො මැති බව ය. ලෝකයේ බොහෝ දෙනෙක් හිත වූ ද, කැමැති වූ ද, මනාප වූ ද එහෙත් දුර්ලභ වූ කාරණා අතරින් නිරෝගීකම ද එකකි. මේ ආදී වශයෙන් නීරෝගී බව පිළිබඳ ව නොයෙක් අදහස් බුදු දහමේ විස්තර වේ.

මනා කායික සෞඛ්‍යයක් සඳහා අනුගමනය කළ යුතු කාරණා පිළිබඳව බුදුන්වහන්සේ සිදු කළ දේශනා කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. එනම් මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම, අනවශ්‍ය දෑ මඟහැර සිටීම, හිතකර චර්යා විධි අනුගමනය කිරීම ය. මිනිසාට සිය පැවැත්ම සෞඛ්‍ය සම්පන්න ව පවත්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ ආහාර, ඇඳුම්, ඖෂධ, නිවාස ආදී මූලික අවශ්‍යතා ඇත්නම් පමණි. එබැවින් කායික සෞඛ්‍ය දියුණු කර ගැනීමේ දී මෙකී මූලික අවශ්‍යතා සපුරා ගෙන තීබීම ඉතා වැදගත් වේ. බුදුන් වහන්සේගේ දර්ශනයේ සඳහන් වන්නේ “සබ්බේ සත්තා ආහාරට්ඨිටිකා” ලෝකයේ සෑම සත්වයෙක් ම ආහාරයෙන් යැපෙන බව යි. මේ නිසා ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් ආදී මූලික අවශ්‍යතාවන් නොමැති ස්ථානයකට ඖෂධ වර්ග පමණක් ම ප්‍රමාණවත් නො වේ. මේ නිසා බුදු දහම නිර්දේශ කරන්නේ එකී මූලික අවශ්‍යතා පළමු කොට ම සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන බව යි.

කායික සෞඛ්‍යය ආරක්ෂාකර ගැනීමට කැමැති පුද්ගලයා නිරතුරුව ම අහිතකර වූ චර්යාවන්ගෙන් සේ ම, අහිතකර පරිසරවලින් ද ඉවත් වී සිටිය යුතු ය. තමාට ගැලපෙන, නොගැලපෙන දේ

පිළිබඳ ව තේරුම්ගත යුතු ය. යමෙක් දැන දැන ම නුසුදුසු ආහාර පාන පරිභෝග කරයි ද, නුසුදුසු ස්ථානවලට ගමන් කරයි ද, නුසුදුසු පාප මිත්‍රයින් ඇසුරු කරයි ද, පහත් ක්‍රියා කරයි ද, ඔහුගේ කායික සුවතාවය පමණක් නො ව ජීවිතය ද විනාශයට පත් වේ. බුදුන් වහන්සේ මේ නිසා පෙන්වා දුන්නේ තම දිවි පැවැත්මට බාධාවන අහිතකරවන දේ, අහිතකර පුද්ගලයන්, අහිතකර ස්ථාන මඟ හැරිය යුතු ය බවයි.

තමාගේ කායික සුවතාවය දියුණු කර ගැනීම සඳහා ඊට උචිත වන චර්යා රටාවන් අනුගමනය කිරීම ද හේතු වන බව බුදුහිමියෝ දේශනාව තුළ පෙන්වා වදාළ සේක . මේ අනුව බුදු දහම තුළ ඉගැන්වෙන පරිදි වැළකිය යුතු චර්යාවන්ගෙන් වැළකීමත්, යෙදිය යුතු චර්යාවන් අනුගමනය කිරීමත් කළ යුතු ය. කායික සුවතාවය මනාව පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු චර්යා අතර නිරතුරුව ම ශරීරය පිරිසුදුව තබා ගැනීම ප්‍රධාන වේ. පිරිසුදු බව ශරීරයේ සුවපත් භාවය සඳහා බෙහෙවින් බලපායි. සම, නාසය, මුඛය, හිසකෙස් ආදිය මෙන් ම බාහිර ඇඳුම් පැළඳුම් ද පවිත්‍ර ව තබා ගැනීම වැදගත් වේ. කෙනෙකුගේ සදාචාරාත්මක අපිරිසුදුකම ඒ තැනැත්තාගේ බාහිර ශාරීරික අපිරිසුදුකම තුළින් පිළිබිඹු වන බවට ඇගයීමක් බෞද්ධ චින්තනය තුළ ඇත. මේ ආකාරයෙන් සදාචාරාත්මක අපිරිසුදුකම හා ශාරීරික අපිරිසුදුකම අතර සැලකිය යුතු අන්දමේ සම්බන්ධයක් බුදුසමය දකී. එම නිසා යම් කිසිවෙකු බාහිර ව ප්‍රදර්ශනය කරන අපිරිසුදුකම තුළින් එම පුද්ගලයාගේ සදාචාරාත්මක අපිරිසුදුකම පිළිබඳ යම් නිගමනයකට පැමිණීමට හැකියාව ඇත.

එසේ වුවත් පුද්ගලයෙකු බාහිර ව පිරිසුදු වූ පමණින් ම ඔහු සදාචාර සම්පන්න යැයි කිසිසේත් ම නිගමනය කළ නො හැක. මේ අනුව නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන්නෙකු විසින් තම පැවැත්මට ගැලපෙන හිතකර චර්යාවිධි කවරේදැයි අවබෝධ කරගත යුතු ය. බොහෝ දුරට සදාචාරාත්මක පදනම මත ගොඩනැඟූණු චර්යාවිධි අනුගමනය කිරීම සුවතාවය පිණිස හේතු වේ. බුදුදහම මේ පිළිබඳ ව හඳුන්වා දී ඇති සෞඛ්‍ය පුරුදු රාශියක් විනය පිටකයේ හා සූත්‍ර පිටකයේ සඳහන් වේ.

ඉහත කරුණු දෙස අවධානය යොමු කිරීමේ දී සෞඛ්‍යය සංරක්ෂණය උදෙසා බුදු දහම මනා වූ මඟ පෙන්වීමක් සිදු කර ඇති බව පැහැදිලි ය. රෝග නිවාරණය පිළිබඳ ව බෞද්ධ ආචාර ධර්මයන්හි ඉගැන්වෙන මෙම කරුණු දෙස විමසිල්ලෙන් බැලීමේ දී අවබෝධ වන්නේ බුදුදහම වෛද්‍ය ක්‍රමයක් නොවුවත්, වෛද්‍ය ක්‍රමයක් හා සමානව ම චර්යාත්මක අංශයෙන් නොයෙක් ඉගැන්වීම් ඉදිරිපත් කොට ඇති ආකාරය යි.