Print this Article


ශ්‍රී දළදා සමිඳු තේවාව මෙවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට

ශ්‍රී දළදා සමිඳු තේවාව මෙවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට

ශ්‍රී දළදා සමිඳු උදෙසා දෛනිකව සිදු කෙරන තේවා කටයුතු සම්ප්‍රදායානුකූලව මෙවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ සිට මල්වතු මහා විහාර පාර්ශ්වය වෙත මාරු වීම පසුගිය ඇසළ පුන් පොහෝ දිනට පසු දින ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය. ඒ අනුව ලබන වසරේ ඇසළ පුන් පොහෝ දිනට පසු දින දවල් දක්වා ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් සිදු කරනු ඇත.

දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු හා අස්ගිරි මහා විහාර පාර්ශ්ව වෙත වසරක් පාසා මාරුවන ලෙස රාජ නියමයෙන් පිරිනමා තිබෙන අතර අද ද එම සම්ප්‍රදාය එලෙසින්ම ඉටු කෙරෙමින් පවතී.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම හා විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් හා ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා ප්‍රමුඛ එහි කාර්ය මණ්ඩල ප්‍රධානීන් කිහිප දෙනෙකු එම තේවා මාරුව සිදුවන අවස්ථාවට සහභාගි වූහ.

මෙවර මල්වතු මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් තේවා කටයුතු ඉටු කිරීම සඳහා තිබ්බටුවාවේ මේධංකර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මිණිගමුවේ රතනපාල, හරංකහවේ ගුණානන්ද, කැලියල්පිටියේ බුද්ධරක්ඛිත,රඹුක්වැල්ලේ නන්දාරාම යන හිමිවරු මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් විසින් පත් කරනු ලැබ තිබේ.