Print this Article


පහන් සිතක කවි

මංගල දම් දෙසුම

සක්විති රාජ සම්පත්
පිනැති රූබර දේවි බිම්බා
සමඟ කිරිකැටි පුතු ද රාහුල
අතැර සම්බුදු පදවි පතමින්
කළේ අභිනික්මන් ද සිදුහත්
මහා බෝසත් ඇසළ පෝදා
බරණැස ඉසිපතන පින්බිම
සවණක් බුදු රැසින් නහවා
එදා පස්වග තවුස් හමුවේ
මඟුල් දම් දේශනා කළහයි
ඇසළ මස පුන් පෝ දිනේ

****

ඇසළ පෝදා

රාහුල කුමරා ඉපදුන දවසේ
බිම්බා දේවිය හැරදා ගිහිගෙන්
රෑ කුමරුන් නික්මුණේ
ඇසළ පෝ දා

දෙව්, බඹ මහ විසල් පිරිස
මැද පස්වග මහ සඟනට
දම්සක් සුතුරෙන් සදහම්
දෙසූ දින අද යි.

****

සඳ එළියෙන්

ඇසළ සඳ අසිරිය දකින්නේ
පසළොස්වක පොහොය ලබන්නේ
සිල් සුවඳ දසත පැතිරෙන්නේ
මුළු ලෝකය සඳ එළියෙන් බබළන්නේ

****

උදපාදි

දම්සක් පැවැත් සුතුර දේශනයෙන් මේ පෝදා
දෙව මේ කියා පස් තවුස් අමතා ගොයුම් ගොත්
කොණ්ඩඤ්ඤ චක්ඛු උදපාදි ලැබී උදපාදී
සෙට්ඨට්ඨ පුග්ගල සඟුන් මැව්වා මුනින්දා

****

තෙරුවන් පහළ වූ දින

ඇසළ සඳ නැග ආ
ලෝ සත වෙත සිත් පැහැද
බුදු දම් දහර මිනිසත් හද පතුරා
මැද පිළිවෙතින් ජීවන මග පහදා
තෙරුවන පහළ වූ දින ලෙස
බුදු හිමි මුවින් දම් කඳ වගුරා
අද වෙයි තථාගත දම් දෙසුව දින