[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අල්පේශාක්‍ය මහේශාක්‍ය වෙනසක් ඇයි ?

අල්පේශාක්‍ය මහේශාක්‍ය වෙනසක් ඇයි ?

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මා ඔබට දේශනා කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මහා වග්ගයේ හත්වැනි සූත්‍රය යි. එහි නම මල්ලිකා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක මල්ලිකා දේවිය පැමිණ වන්දනාමාන කර පසෙකින් වාඩි වුණා. එහිදී ඇය බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කිහිපයක් විමසුවා.

“ස්වාමීනි, සමහර කාන්තාවෝ අවලස්සන යි. දැකීම අප්‍රසන්න යි. දිළිඳු යි. ධන ධාන්‍ය අල්ප යි. අල්පේශාක්‍ය යි. බෝග සම්පත් අල්ප යි. එයට හේතුව කුමක් ද?” ඉන්පසුව අසනවා ස්වාමීනි, ඇතැම් ස්ත්‍රීන් අවලස්සන යි, විරූප යි, දැකීමට අප්‍රසන්න යි. නමුත් ධන ධාන්‍යයෙන් ආඪය යි. මහා ධනයක් තියෙනවා. මහා භෝග සම්පත් තියෙනවා. මහේශාක්‍ය යි. එයට හේතුව කුමක්ද? කියා විමසුවා. ඉන්පසුව විමසනවා ඇතැම් ස්ත්‍රීන් අභිරූපවත්, දර්ශනීය යි, දුටුවන් පහදවනවා, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත යි. නමුත් දිළිඳු යි. අල්ප ධන ධාන්‍යයෙන් යුක්ත යි. අල්ප භෝග සම්පත්තියක් තිබෙන්නේ.අල්පේශාක්‍ය යි. ඒකට හේතුව කුමක්ද? කියා ඇසුවා. ඊළඟට විමසා සිටිනවා ‘ස්වාමීනි, ඇතැම් ස්ත්‍රීන් අභිරූපවත්. දර්ශනීය යි. දුටුවන් පහදවනවා. වර්ණ සෞන්දර්යයෙන් යුක්ත යි. ආඪ්‍යය යි. මහා ධනයක් හිමියි. මහා භෝග සම්පත් තිබෙනවා. මහේශාක්‍යය යි. එයට හේතුව කුමක්ද?

එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මල්ලිකා දේවිය, ඇතැම් ස්ත්‍රීන් ක්‍රෝධ කරනවා, බොහෝ ලෙස කිපෙනවා. සුළු දෙයක් පැවසුවත් ගැටෙනවා. තරහ ගන්නවා. දැඩි වෙනවා. කෝපය, ද්වේෂය නොසතුට පල කරනවා. ඒ වගේම ඇය ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයෙකුට ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල්, සුවඳවිලවුන්, සයනාසන, ආවාස ආදිය පුජා කරන්නේ නැහැ. ඊර්ෂ්‍යාවෙන් යුක්ත යි. අනුන්ගේ ලාභ සත්කාර ගෞරව වන්දනා පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරනවා. ද්වේෂ කරනවා. ඒ නිසා ඇය ඒ ලොවින් චුතවෙලා මේ ලොවට පැමිණ යම් තැනක උපදිනවා නම් අවලස්සන වෙනවා. විරූපී වෙනවා. දැකීමට අප්‍රසන්න වෙනවා. දිළිඳු වෙනවා. අල්ප ධාන්‍ය, අල්ප භෝග ඇති තැනැත්තියක් වෙනවා. අල්පේශාක්‍ය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඊළඟ කාරණයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතැම් ස්ත්‍රීන් ක්‍රෝධ කරනවා. බොහෝ කිපෙනවා. සුළු දෙයක් පැවසුවත් ගැටෙනවා. දැඩි වෙනවා. කෝපය, ද්වේෂය, නොසතුට පල කරනවා. නමුත් ඇය ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල්, සුවඳ විලවුන්, සයනාසන, ආවාස ආදිය පූජා කරනවා. ඊර්ෂ්‍යාවෙන් තොරව කටයුතු කරනවා. අනුන්ගේ ලාභ, සත්කාර, ගෞරව, වන්දනාමාන පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ද්වේෂ කරන්නේ නැහැ. ඇය ඒ ලොවින් චුත වෙලා මේ ලොවට පැමිණ යම් තැනක උපදිනවා නම් අවලස්සන වෙනවා. විරූපී වෙනවා. ඒකට හේතුව ක්‍රෝධ කිරීම. නමුත් දානය දීම නිසා ආඪ්‍ය වෙනවා. මහා ධනය ඇති කෙනෙක් වෙනවා. මහා භෝග ඇති කෙනෙක් වෙනවා. මහේශාක්‍ය වෙනවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතැම් ස්ත්‍රීන් ක්‍රෝධ කරන්නේ නැහැ. බොහෝ ලෙස කිපෙන්නේ නැහැ. කුමක් පැවසුවත් ගැටෙන්නේ නැහැ. දැඩි වෙන්නේ නැහැ. කෝපය, ද්වේෂය, නොසතුට පල කරන්නේ නැහැ. නමුත් ඇය ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල්, සුවඳ විලවුන්, සයනාසන, ආවාස ආදිය පූජා කරන්නේ නැහැ. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිතක් තියෙන්නේ, අනුන්ගේ ලාභ සත්කාර ගෞරව වන්දනාමාන පූජා කෙරෙහි, ඊර්ෂ්‍යා කරනවා. ද්වේෂ කරනවා. ඒ නිසා ඇය ඒ ලොවින් චුතවෙලා මෙලොවට පැමිණ යම් තැනක උපදිනවා ද, අභිරූපවත් වෙනවා. දර්ශනීය වෙනවා. දුටුවන් පහදවනවා. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙනවා.එසේ සිදුවන්නේ කෙසේද? ක්‍රෝධ නැති සිතකින් කිපෙන්නේ නැතිව ගැටෙන්නේ නැතිව, දැඩි නැතිව ජීවත් වීම යි. නමුත් දානය නොදීම නිසා දිළිඳු වෙනවා. අල්ප ධාන්‍ය, අල්ප භෝග ඇත්තියක් වෙනවා.

අල්පේශාක්‍ය වෙනවා. අපට මෙහිදී සිහිපත් වෙනවා, ඉතාමත් අභිරූපවත් ලස්සන රූපයක් තිබුණු කාන්තාවක්. ඒ තමයි අශෝකමාලා. ඇය පෙර ජීවිතයේ දී ක්‍රෝධ නැතිව, කිපෙන්නේ නැතිව සිටි චරිතයක් නිසා මේ ජීවිතයේ දී මහා රූප සම්පත්තියක් ලැබුවා. නමුත් දානය නිසිලෙස නොදීම නිසා අල්පේශාක්‍ය වී දිළිඳු වී ඉපදුණා.

ඊළඟ කණ්ඩායම ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ කරන්නේ නැහැ. බොහෝ ලෙස කිපෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. තරහ ගන්නේ නැහැ. දැඩි වෙන්නේ නැහැ. කෝපය, ද්වේෂය, නොසතුට පළ කරන්නේ නැහැ. ඒ වගේම ඇය ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, සයනාසන, විලවුන්, පහන් ආදිය පූජා කරනවා. ඊර්ෂ්‍යාවෙන් තොර සිතක් තියෙන්නේ අනුන්ගේ ලාභ සත්කාර ගෞරව වන්දන පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ද්වේෂ කරන්නේ නැහැ. ඇය ඒ ලොවින් චුතවෙලා මෙලොවට පැමිණ යම් තැනක උපදිනවානම් අභිරූපවත් වෙනවා. දුටුවන් පහදවනවා. උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙනවා. මහා ධනය කට හිමිකම් ලබනවා. මහා බෝග සම්පත් තියෙන කෙනෙක් වෙනවා. මහේශාක්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටි විශාඛාව, අපේ රටේ සිටි විහාරමහා දේවියත් වැනි කාන්තාවනුත් එවැනි ගුණාංගවලින් පරිපූර්ණ වෙන්න ඇති. නූතන සමාජයෙන් අපට මේ චරිත දැකගන්නට ලැබෙනවා.

නමුත් මල්ලිකා බිසව එතරම් රූමත් කාන්තාවක් නොවෙයි. ඒත් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය. භෝග සම්පත්තියෙන් යුක්ත යි. මහේශාක්‍ය යි. ඒ සියල්ලම තිබුණත් රූපය අඩු වී තිබෙන්නේ පෙර ජීවිතයක කෝප වීම නිසා වෙන්නට පුළුවන්. මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේගෙන් මෙය විමසන්නට ඇත්තේත් ඒ නිසා විය හැකි යි.

මේ අනුව ඔබගේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිහිනුවණින් විමසා බලන්න, ඔබ ධන ධාන්‍යයෙන් ආඪ්‍ය ද? අඩු යි ද? අල්පේ ශාක්‍ය ද? මහේශාක්‍ය ද? අභිරූපසම්ත්තියෙන් යුක්ත ද? නැතිනම් අවලස්සන ද? දුටුවන් මන බඳිනව ද? නැතිනම් දුටුවන් අපහදිනව ද? මේ සියල්ලටම හේතුව මෙම සූත්‍රයේ දී ඉගෙන ගන්නට ලැබෙනවා.

මෙහි ඉතාම උසස් කණ්ඩායම වන්නේ අවසාන කණ්ඩායම යි. රූපෙනුත් ලස්සන යි. ධන ධාන්‍යයෙනුත් ආඪ්‍ය යි. මහේශාක්‍ය යි. අපිත් ජීවත් වෙන්නට අවශ්‍ය ඒ මට්ටම යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ක්‍රෝධ කරන්නේ නැතිව ගැටෙන්නේ නැතිව තරහ ගන්නේ නැතිව කටයුතු කර ශ්‍රමණයන් ට, බ්‍රාහ්මණයන් ට දානය පිරිනමා ඊර්ෂ්‍යා කරන්නේ නැතිව කටයුතු කළොත්, අපටත් ඒ ප්‍රතිඵලය නෙළා ගන්නට පුළුවන්. නැතිනම් අපට ත් දිළිඳු, භෝග, සම්පත් නැතිව, අල්පේශාක්‍ය විරූපී ව උපදින්නට සිදුවෙන්නේ.

නමුත් හැම කෙනෙක් ම කැමැති ලස්සන ට, රූපවත් ව, ධනධාන්‍යයෙන් ආඪ්‍යව ජීවත් වීමට යි. ඒ සඳහා අවශ්‍ය ක්‍රමය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර තිබෙනවා. ඒ ක්‍රමය ට යි අප ජීවත්විය යුත්තේ. අප ජීවත්වන මේ සමාජයේ සුන්දර කෙනෙක් දුටුවොත් මේ තැනැත්තා පෙර ජීවිතයේ දී කේන්ති ගන්නේ නැතිව, ක්‍රෝධ කරන්නේ නැතිව හිටපු කෙනෙක් කියලා අප හිතන්නට ඕනෑ. යම් කෙනෙක් විරූපිනම්, අප හිතන්නට ඕනෑ මේ තැනැත්තා පෙර ජීවිතයේ දී ක්‍රෝධ කළ කෙනෙක්. යම් කෙනෙක් දිළිඳු නම් අප තේරුම් ගන්නට ඕනෑ, මේ තැනැත්තා සංසාරයේ දී ශ්‍රමණයන් ට බ්‍රාහ්මණයන් ට දානය දීලා නැහැ. ඒ වගේම යම් කෙනෙක් ධන ධාන්‍යයෙන් ආඪ්‍යනම් භව භෝග සම්පත් තියෙනවා නම් මහේශාක්‍ය නම් අප තේරුම් ගන්නට ඕනෑ, මේ තැනැත්තා ශ්‍රමණයන් ට බ්‍රාහ්මණයන් ට දානය දුන් කෙනෙක්. ඊර්ෂ්‍යාවෙන් තොරව කටයුතු කළ නිසා මහේශාක්‍යව ඉපදිලා සිටින්නේ. ඒ නිසා මේ දේශනාව ඉතා උතුම් ආදර්ශ සම්පන්න දේශනාවක්. කාන්තාවන් ට වගේම අනෙක් සෑම කෙනෙකුට ම ත් ඉතා වැදගත්. මෙම කරුණු ඉගෙන ගෙන අපේ මෙලොව ජීවිතය යහපත් කර ගනිමු. පරලොව ජීවිතය සුගතිගාමී කර ගනිමු. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිමු.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]