Print this Article


බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව

බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව

බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේ අමතා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එය උන්වහන්සේ ගේ ප්‍රථම ධර්ම දේශනාව යි.

“මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මුවන්ට අභයදානය කළ හෙයින් “මිගදාය” නම් වු ඉසිපතනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේ ඇමතු සේක. මහණෙනි” පැවිද්දෙකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ, , ග්‍රාම්‍යවූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ , අනර්ථයක්ම සිදු කරන්නා වු වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් වෙත් ද, එසේම දුක් උපදවන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නා වූ යම් අත්තකිලමථානුයෝගයක් වෙත්ද මහණෙනි,මෙම අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලද හ. එම ප්‍රතිපදාව ප්‍රඥා ඇස පිරිසුදු කරන්නේ ය.නුවණැස ඇති කරන්නේ ය. එය කෙලෙසුන් සංසිඳීම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, සම්බෝධිය පිණිස, නිවන් පිණිස හේතු වන්නේ ය.

මහණෙනි, මේ වනාහි දුක්ඛ ආර්ය සත්‍යය වේ. ඉපදීම දුකය. ජරාව දුකය. රෝගී වීම දුක ය. මරණය ද දුක ය. අපි‍්‍රයයන් හා එක්වීම දුක ය. පි‍්‍රයයන් ගෙන් වෙන්වීම දුක ය. කැමති යමක් නොලැබේද එය ද දුක ය. සැකෙවින් පඤ්චඋපාදානස්කන්ධයෝ දුක් වන්නාහු ය.

මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් වේ. යම් තෘෂ්ණාවක් පුනරුප්පත්තිය ඇති කරන නන්දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි විශේෂයෙන් ඇල්ම ඇතිකරන්නා වූ එම තෘෂ්ණාව කවරේද යත්, කාම තණ්හාව, භව තණ්හාව හෙවත් නැවත නැවත ඉපදීම කෙරෙහි ඇති තණ්හාව සහ විභව තණ්හාව හෙවත් භවය මෙතැනින් අවසන් ය. මෙහි සුව පහසුකම් මැනවින් විඳිය යුතුය යන දෘෂ්ටිය ගත් තණ්හාව යි. මහණෙනි, මෙම තෘෂ්ණාව සම්පූර්ණ නො ඇලීමක්, නැති කිරීමත් වේද, අත් හැරීමක් වේද, දුරලීමක් වේද, මිඳීමක් වේද මෙය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි.

මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යය වේ. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. මහණෙනි, මට පෙර නොඇසුවිරූ ධර්මයන්හි සත්‍ය ඥාන වු ප්‍රඥා ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය ප්‍රඥා නමැති ආලෝකය පහළ විය.

මහණෙනි, මට මෙම දුක්ඛ ආර්ය සත්‍යය පිරිසිඳ දක්නා ලදැයි. පෙර නොඇසුවිරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය . ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

මහණෙනි, මට මෙම දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියා පෙර නො ඇසූ විරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

මහණෙනි, මට මෙම දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු යැයි, පෙර නො ඇසූ විරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය ( පෙර පරිදි)

මහණෙනි මට මෙම දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහීණ වී යැයි, පෙර නො ඇසූ විරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය. (පෙර පරිදි)

මහණෙනි , මට මෙම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියා පෙර නො ඇසූ විරූ ධර්මයන්හි චතුරාර්ය සත්‍යය පිළිබඳ ප්‍රඥා ඇස පහළ විය (පෙර පරිදි)

මහණෙනි, මට මෙම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කටයුතු යැයි පෙර නො ඇසූ විරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය ( පෙර පරිදි)

මහණෙනි, මා විසින් මෙම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදැයි. කියා පෙර නො ඇසූ විරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය. (පෙර පරිදි)

මහණෙනි මට මේ දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදා ආර්ය සත්‍යය යි කියා පෙර නො ඇසු විරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය. (පෙර පරිදි)

මහණෙනි, මා විසින් මෙම දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යය භාවිත කටයුතු යැයි, පෙර නො ඇසුවිරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය. (පෙර පරිදි)

මහණෙනි, මා විසින් මෙම දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදා ආර්ය සත්‍යය භාවිතා කරන ලදැයි කියා පෙර නො ඇසූ විරූ ධර්මයන්හි ප්‍රඥා ඇස පහළ විය . (පෙර පරිදි)

මහණෙනි, යම් තැනෙක පටන් මෙසේ තුන් පෙරළියකින් හා දොළොස් ආකාරයකින් යුත් මෙම චතුරාර්ය සත්‍යය කෙරෙහි තත් වූ පරිදි ඥාන දර්ශනය මට පිරිසුදු අතිපරිශුද්ධ වීද එකල්හි මම දෙවියන් සහිත වූ , මරුන් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි ද නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි. දැන ගතිමි. මට චතුස්සත්‍ය ධර්මයන් කෙරෙහි ඥාන දර්ශනය පහළ විය. මාගේ චේතෝ විමුක්තිය නම් වු අරහත්ඵල සමාපත්තිය සම්පූර්ණ ය. මේ අන්තිම උප්පත්තිය වන්නේ ය. දැන් මට පුනර්භවයක් නැත්තේය යි , වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය වදාළ සේක. සතුටු සිත් ඇති පංචවග්ගිය භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. මෙම ව්‍යොකරණ ධර්මය වදාළ කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට රජස් රහිත වූ, පහ වූ කෙලෙස් මළ ඇති දහම් ඇස හෙවත් සෝවාන් මාර්ග ඤාණය පහළ විය. එනම් යම් කිසිවක් හටගන්නා ස්වභාවය ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවන ස්වභාවය ඇත්තේ ය. යන නුවණයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම චක්‍රය පවත්වන ලද කල්හි භූමාටු දෙවියෝ සාධු නාදය පැවැත්වූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි අන් කිසිවෙකු විසින් නො පැවැත්විය හැකි වු මේ නිරුත්තර වු ධර්ම චක්‍රය පවත්වන ලද්දේ ය කියා යි.

භූමිනිශ්‍රිත දෙවියන්ගේ සාධු නාදය අසා චාතුර්මහාරාජික දෙවියෝද ශබ්දය අනුශ්‍රාවණය කළාහුය. එම සාධු නාදය අසා චාතුර්මහා රාජික දිව්‍ය ලෝකවාසි දෙවියෝද, ඔවුන්ගේ ශබ්දය අසා තාවතිංස දෙවියෝ ද, යාමය, තුසිතය, නිම්මාන රතී. පරනිම්මිත වසවර්ති දෙවියෝද ඔවුන්ගේ ශබ්දය අසා බ්‍රහ්ම පාරිසජ්ජ නම් බඹලෝ වැසි දෙවියෝ ද, බ්‍රහ්ම පුරෝහිත, මහා, බ්‍රහ්ම, පරිත්තාභ, අප්පමාණාහා, ආභස්සර, පරිත්තසුභ, අප්පමාන සුභ, සුභකිණ්හක, වේහප්ඵල, අවිහ. අතප්ප, සුදුස්ස, සුදස්සී, අකනිට්ඨක. නම් බඹ ලෝ වාසි දෙවියෝද ශබ්දය අනුශ්‍රාවණය කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් වු ඉසිපතනාරාමයේ දි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි වු මේ නිරුත්තර වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේ ය කියා යි.

මේ ආකාරයෙන් එකෙණෙහි ඒ මොහොතහි බඹලොව දක්වා සාධුකාර ශබ්දය ඉතා උස්ව පැන නැංගේ ය. මේ දශ සහශ්‍රී ලෝකධාතුව ද බොහෝ සෙයින් කම්පා විය. අතිශයින්ම කම්පා විය. විශේෂයෙන් ම කම්පා විය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණවූ මහත් වූ ආලෝකය ලෝකයෙහි පහළ විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේය භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් චතුස්සත්‍යය අවබෝධ කළේ යයි, උදාන වාක්‍යයක් පැවැත්වූ සේක. මෙසේ මේ කාරණයෙහි දි කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤය යන නාමය වූයේ ය.