Print this Article


පොත් පුවත්

පොත් පුවත්

අබුද්ධස්ස කාලයේ බුදු සසුන

කර්තෘ - ශාස්ත්‍රපති චාමික මුණසිංහ
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස - මරදාන

“බුදු ඇස විදු ඇස සහ හෙට ලොව, සක්වළ දැක්ම සහ බඹලොව ගමන, සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා, බුද්ධෝත්පාද ලෝකය සහ සිත නිවන ලෝකය” යනාදී ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ ශාස්ත්‍රපති චාමික මුණසිංහගේ නවතම කෘතිය “අබුද්ධස්ස කාලයේ බුදු සසුන” නමින් නොබෝදා එළිදැක්වුණි. පසේ බුදුවරු, කාසාව කණ්ඨකයෝ, මෝඝ පුරුෂයෝ සහ කොසොල් රජු දුටු සිහින දහසය ආදී මාතෘකා ඔස්සේ “අබුද්ධස්ස කාලයේ බුදු සසුන” ග්‍රන්ථය සාහිත පොත් පියස මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම කෘතිය සරලව සංක්ෂිප්ත කුඩා කෘතියක් ලෙස ඉදිරිපත් කර ඇති නිසා ලොකු කුඩා කාහටත් රසවත්ව පහසුවෙන් කියවා නිම කළ හැකි ය.


දහම් ගුරු අධ්‍යාපන ප්‍රවේශය

කර්තෘ - ගුණසේන මහතන්ත්‍රීගේ

ප්‍රකාශකයෝ - විශ්ව පොත් මැදුර

ඉගෙනුම ලබන ශිෂ්‍යයා විෂයය මෙන්ම අපේක්ෂිත පරමාර්ථ අරමුණු නිපුණතා හැඳින ඒ පිළිබඳ වැටහීමක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය ය. අවබෝධයක් නොමැතිව ගුරු අධ්‍යාපනය නො ලබා ක්‍රියා කිරීමෙන් විවිධ අධ්‍යාපන ගැටලු ඇතිවන බව කතුවරයා කියයි. එනිසා ඉගෙනුම් ඉගැන්වීම් කිි‍්‍රයාවලිය හා සම්බන්ධ වී ක්‍රියාකාරක පිරිස් තුළ යම් ප්‍රමාණයක හෝ අවබෝධයක් ලබාදීම අරමුණෙන් මෙම කෘතිය සම්පාදනය කළබව කතුවරයා සඳහන් කරයි.


සීල සමාදානය

කර්තෘ - මාන්තොට්ටම ධම්මානන්ද හිමි

ප්‍රකාශකයෝ - සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ - මරදාන

 

සීල සමාදානය නම් වූ මෙම ග්‍රන්ථය බෞද්ධ ජනතාවට අර්ථ සම්පන්නව ධර්මානුකූලව ධර්මානුගතව ශාස්ත්‍රීය ලෙස කරුණු පෙන්වා දීමටත් , පොහෝ දින සීලය පිළිබඳ ව වටිනාකම සහ පංචසීල ප්‍රතිපදාව ඔස්සේ සහ අෂ්ටාංග සීලයේ මූලික පදනම විවරණය කිරීමටත් කතුවරයා උත්සාහ ගෙන ඇත. මෙම ග්‍රන්ථය පරිහරණය කිරීම තුළින්, කාය, වාග්, සංවරයේ පදනම ද , ආර්ය මාවතේ උත්තුංග ප්‍රතිපදාවේ සමාරම්භය ද හඳුනාගත හැකි බව කතුවරයාගේ අදහස වේ.