Print this Article


මිහින්තලා පුදබිම සංවර්ධනයට පියවර රැසක්

මිහින්තලා පුදබිම සංවර්ධනයට පියවර රැසක්

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනයත් සමඟ මෙරට සම්බුදු සසුනේ කේන්ද්‍රස්ථානය ලෙස මිහින්තලාව ඓතිහාසික පූජනීය පුදබිමක් බවට පත්විය. එදා දේවානම්පියතිස්ස මහ රජතුමාගේ රාජ්‍ය සමයේ දී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස පොසොන් පොහොයදා මිහින්තලාවට වැඩම කළ අසිරිමත් සිද්ධිය මෙරට ශාසනික ඉතිහාසයේ අනුස්මරණීය ඓතිහාසික අවස්ථාවක් වේ. පොසොන් උදාවෙත්ම මිහින්තලය ජන මනසට සිහියට නැගෙනුයේ එම ඓතිහාසික සිද්ධිය මුල්වීම හේතුවෙනි.

මෙරට ශාසනික, සංස්කෘතික, ආගමික ආදී කවර අංශයක වුව ද, ලැබූ යම් ප්‍රගතියක් වේනම් ඒ සියල්ල අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය හේතුවෙනි. මෙරට ජනතාවගේ ලෞකික ලෝකෝත්තර යම් දියුණුවක් වේ නම් ඒ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙහි ප්‍රතිඵලයන් ය. මිනිස් වර්ගයාගේ චින්තන හා අධ්‍යාත්මික ප්‍රබෝධය උදා වූයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය හේතුවෙනි.

මිහින්තලා පූජා භූමිය සංවර්ධනය කර සුරක්ෂිත කිරීම දිගු කලක සිට අප තුළ පැවැති බලවත් අපේක්ෂාවකි. ඒ නිසාම ඒ පිළිබඳව රජය දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේ්මදාස මැතිතුමා පසුගිය පොසොන් පෝයට පෙර මිහින්තලා පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පොසොන් පෝදා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර එහිදී මිහින්තලා පුදබිමේ සංවර්ධන කටයුතු පිළිබඳ සන්දේශයක් එදින අගමැතිතුමා වෙත භාර කෙරිණි. සන්දේශයට අදාළ කටයුතු පිළිබඳ පසුගියදා අරලියගහ මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් ලෙස නම් කිරීම, මිහින්තලා පොසොන් උළෙල ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, මිහිඳු පෙරහර සඳහා ගැසට් කර ප්‍රතිපාදන සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම, මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වණය සිදු වූ වප්මස පුර අටවක පොහෝ දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීම ආදී කරුණු රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක්විය.

මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, මිහිඳු මහා පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නෛතික බලයක් ලබාදීම පවතින රජය මඟින් කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ද සාකච්ඡාවට බඳුන් විය. මිහින්තලා පොසොන් උළෙල ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් සාකච්ඡා කෙරුණු අතර පූජා භූමියට විදුලි ආලෝක ලබාදීම, ශබ්දවාහිනී පද්ධතියක් සහ කැමරා පද්ධතියක් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රතිපාදන යටතේ සවිකිරීමට ද යෝජනා කෙරිණි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්ණායක අනුව එය සකස් කිරීමට ද එකඟ විය.

පූජා භූමියට පිවිසෙන පියගැට පෙළ මාර්ගයට දිස්වන අයුරෙන් සකස් කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ද අග්‍රාමාත්‍යතුමා එකඟ විය. මිහින්තලා පුදබිම කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන කටයුතු රාශියක් කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙස ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු සකස් කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද සාකච්ඡා කෙරිණි.

සිංහල රජ දවසෙන් පසු විශාල මුදලක් මිහින්තලා පූජා භූමියේ දියුණුවට රජයක් ලෙස වැය කිරීමට තීරණය කිරීම පිළිබඳ බලවත් සතුට පළ කෙරෙන අතර ඒ සියල්ල ඒ ඒ අමාත්‍යාංශ හරහා වෙන් කිරීමට හා අදාළ අංශ මඟින් යටිතල පහසුකම් සැලසීමට කටයුතු යොදනු ලැබේ. විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පූජා භූමියේ සංවර්ධනය සඳහා මුදල් වෙන් කර ඇත. ධර්ම ශාලා මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සහ පියගැටපෙළ නවීකරණය කටයුතු ද, සායම් ආලේප කිරීම ද දැනටමත් ආරම්භ කර ඇත.

මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය නිමිත්තෙන් ඔක්තෝබර් මස 4, 5, 6 දිනවල සිව් දෙසින් වැඩමවන මහ සඟරුවනට දානය පූජා කිරීම මිහිඳු පෙරහර පැවැත්වීම තෛ‍්‍රනිකායික මහා නා හිමිවරුන් ප්‍රධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මිහිඳු මාහිමි පරිනිර්වාණ සමරු දිනය පැවැත්වීමට නියමිත හෙයින් ඊට අවධානය යොමු කිරීම සතුටට කරුණකි.