[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිනෙන් පිරි සිතින් පින් දෙන්න දෙවියන්ට

 පිනෙන් පිරි සිතින් පින් දෙන්න දෙවියන්ට

බුදුගුණ මතුරන්නැයි කීවේ බුලත් කොළයකට හෝ වෙනයම් දෙයකට මැතිරීම නොවේ. බලයක් ලබා ගන්නා කරන මැතිරීමක් ද නොවේ. තමන්ගේ පැත්තෙන් කවර අයෙකුට හෝ කරදරයක් වෙනවා නම්, ශ්‍රද්ධාව ඉපදීමට මතුරන්නට ඕනෑ මන්තරය යනුවෙන් සඳහන් කළේ බුදුගුණ මෙනෙහි කිරීමයි. එවිට එය බුදුගුණ භාවනාවක් වෙනවා. එහෙම නම් බෝධීන් වහන්සේ අසලට ගොස් බුදුගුණ භාවනාව කළ යුතු යි.

අනතුරුව තමන් පිළිබඳව සීලානුස්සතිය වඩන්නට ඕනෑ. තමන් සීලවන්ත ව රැකගත් සීලය, පරාමර්ශනය කරගෙන ඒ බෝධීන් වහන්සේ අබියස දී සත්‍යක්‍රියාවක් කළ යුතු යි. “මම ආරක්ෂා කළ සීලය නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවැති ශ්‍රද්ධාව, ගෞරවය, විශ්වාසය හේතුවෙන් ඒ ගුණ බලයෙන් සෙත් වේවායි සත්‍ය ක්‍රියා කරමි” යනුවෙන් සත්‍ය ක්‍රියා කළ යුතු යි. එතැන් සිට මෛත්‍රී භාවනාව කරන්නට අවස්ථාව යොදා ගත යුතුයි. එමඟින් අන් අයට සෙත් පැතීමේ අවස්ථාව උදා කර ගනිමින් තමන්ට මහත් සතුටක් උදාකරගත හැකියි.

තමා සිල් ආරක්ෂා කරමින්, ගුණවන්තව ජීවත් වී, පේ වී කටයුතු කර බෝධීන් වහන්සේ ළඟට ගොස් ඒ බෝධි පූජාව පවත්වා ගැනීම තුළින් හිතේ හටගන්නේ මහත් පී‍්‍රතියක්. බුදුරජාණන් වහන්සේට ධර්මයට ගැළපෙන ආකාරයෙන් ශාන්තව බුදුගුණ වන්දනාව සිදු කරන්න.

ඒ අයුරින් කටයුතු කර තමාගේ සීලය පිළිබඳ පිරික්සා බලන්න. අන් අයට කළ නොහැකි තරමේ ගුණවන්ත ව කටයුතු කළ යුතුයි. බොහෝ වෙහෙසට පත් වී අන් අයට උදව් උපකාර කළ යුතු යි. ඒ අයුරින් සීලවන්තව, ගුණවන්තව කටයුතු කළ කෙනෙකුගේ සිතෙහි අප්‍රමාණ උදාර පී‍්‍රතිියක් හට ගන්නවා. වෙනත් ආකාරයකින් මෙන් නොව සීලවන්තව, ගුණවන්තව, ශාන්තව කටයුතු කිරීමෙන් සිත සුවපත් භාවයට පත් වෙනවා. තමන්ගේ අසනීප, ලෙඩදුක්, පැවැතියා නම් ඒ වෙලාවේ ම ඒවා අඩුවීමට විශාල හේතුවක් බවට එය පත් වෙනවා. තමාගේ ශරීරයේ රුධිරය පිරිසුදු වෙනවා. සීලය කැඩෙන වාරයක් පාසා නැවත නැවත සමාදන් වෙමින් ඒ වන්දනාව සිදු කරන්න. තමන්ගේ දරුවට, බිරිඳට, සහෝදරයාට, සහෝදරියට, අම්මට, තාත්තට අසනීපයක්, කරදරයක් නම් මේ අයුරින් නිවැරැදිව වන්දනාවේ යෙදෙන්න.

අම්මට, තාත්තට, දරුවට කරදරයි කියා හිමිදිරියේ අවදි වී යාන වාහන අරගෙන හතර දිග් භාගයේ ඇවිදිනවාට වඩා ලොකු පිහිටක් ඒ මගින් ලැබෙනවා. පන්සිල් ආරක්ෂා කරන්න. දිනපතා බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව සිදු කරන්න.

දරුවා යම් අපේක්ෂාවක් ඇතිව විභාගයකට ඉදිරිපත් විය යුතු යි. ඒ විභාගය ළං වන විට විභාග අංකය ලියා බෝධීන් වහන්සේ ළඟ එල්ලා තැබීමෙන් පළක් ලැබෙනවාද? මේවා දරාගෙන සිටීමෙන් පළක් නෑ.

කරුණු කාරණා දැන ගත් විට නිසොල්මනේ ඉන්නත් එපා. ඇහෙනතෙක් මානයේ අය මේ ගැන දැනුම්වත් කරන්න. තම පවුලේ අයට ආශීර්වාද කළ යුතු නම් තමා පළමුව ගුණයේ පිහිටා ක්‍රියා කරන්න. සීලයෙහි පිහිටා ක්‍රියා කරන්න. බෝධීන් වහන්සේ ළඟට යන්න. සම්පූර්ණ නිවැරැදිව බෝධි පූජාව කරන්න. සීලයෙහි නැවත නැවතත් පිහිටා සීලය පරාමර්ශනය කරගෙන නැවත අධිෂ්ඨාන කරගෙන භාවනාවන් සිදුකර, සත්‍යක්‍රියාවකුත් සිදු කිරීමෙන් සිත පිනෙන් ඉතිරී ගොස් තිබෙන වෙලාවක්, එහි දී දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනා කරන්න. යමක් දීමට නම් තමා සතුව යමක් තිබෙන්නට ඕනෑ. පිනෙන් පිරී සිටින මොහොතක තමාට දෙවිකෙනෙක් හෝ වෙනත් දෙවිකෙනෙක් එම ස්ථානයට අධිගෘහිතව සිටීනම් උන්වහන්සේලා ඒ පින් ලබාගෙන සිත ඉතා පී‍්‍රතියට පත් කර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෑණියන් තම එකම දරුවා බලා ගන්නවා හා සමානව බලා ගන්නවා කියලා. දෙවියන්ගෙන් යමක් ලබා ගන්න අපේක්ෂාවක් තිබේ නම්, නිවැරැදිව යමක් දෙන්නට ඕනෑ. ප්‍රයෝජනවත් දෙයක් දියයුතුයි. වෙන මොනවත් දී හරියන්නේ නෑ. වැඩියෙන් ම යහපත උදාකර ගන්නට බෝධි පුජාව නිවැරැදි අයුරෙන් තබන්නට ඕනෑ. සත්‍ය ක්‍රියාවක් කරන්න ම ඕනෑ. බෝ මළුව පැවැතියාටත් වඩා පිරිසුදුව එසේ බෝධි පූජාව පවත්වන්න.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]