Print this Article


මුලාව සහ ප්‍රමාදය

මුලාව සහ ප්‍රමාදය

ආශ්‍රව නම් කෙලෙස් ය. අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයාගේ සිතෙහි මෙම කෙලෙස් පැසවමින් පවතී. මද්‍යසාරයක් මෙන් පල්වෙමින් වැගිරේ. මද්‍යසාරයන්හි ලක්ෂණ වන්නේ මත්වීම, සිහිමුලාවීම නම්, කෙලෙස් නිසා ද මුලාව සහ ප්‍රමාදය ඇති වේ. මුලාව නම් වූ මෝහය නිසා ම රාගාදී අකුසලයන්ට යොමුනොවීම නම් වූ ප්‍රමාදයත් සිදුවෙයි.

දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු සසරමග කෙටිකර ගැනීමට නම්, විදර්ශනා ඥාන ශක්තියෙන් යුතු නුවණ දියුණු කළ යුතු ය. මේ සඳහා දාන, සීල, භාවනා මග උපකාර කරගත යුතු ය. එනමුත් තම සිතෙහි පැසවන රාගාදී කෙලෙස්වල දුරුවීම අවශ්‍ය ම ය. මේ සඳහා උපකාරීවන ධර්ම කොට්ඨාසයක් භාග්‍යවතුන් වහන්සේ විසින් මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍ර දේශනාවේ දී පැහැදිලිකොට පෙන්වා ඇත. එහි දී මෙසේ දේශනා කොට තිබේ. එනම්, මේ සඳහන් ධර්ම මාර්ගය ගැලපෙන්නේ ‘යෝනිසෝ මනසිකාරයත්, අයෝනිසෝ මනසිකාරයත් යන දෙක දැනගන්නා වූ ද, නුවණැසින් දැකගන්නා වූ ද පුද්ගලයාට බවයි. ඔහුට හෝ ඇයට සසර දිගු කරන ආශ්‍රව හෙවත් කෙලෙස් නැති කරගන්නට පුළුවනි. මෙහි යෝනිසෝමනසිකාරය නම් යම් ධර්මතාවයන්, පරමාර්ථ ධර්මයන් නුවණින් මෙනෙහි කිරීමයි. එනම් සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක නම් වූ ඕනෑම වස්තුවක පවතින හේතුව, ඵලය, භංගය පිළිබඳව අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැන ගැනීමේ සහ දැක ගැනීමේ හැකියාවයි. මෙම අදහස ම යම් තැනක “එළඹ සිටි සිහියෙන් යුතුවීම” යනුවෙන් ද දක්වා තිබේ. ‘අයෝනිසෝ මනසිකාරය” නම් එසේ නුවණින් මෙනෙහි නොකිරීමයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දහම් කරුණ නුවණින් මෙනෙහි කරන්න. එය මෙසේයි. හටනොගත් ආශ්‍රවයන් පවා අයෝනිසෝ මනසිකාරය නිසා හටගනී. හටගෙන තිබෙන ආශ්‍රවයන් පවා වර්ධනය වෙයි. එනමුත් යෝනිසෝමනසිකාරය නිසා නූපන් ආශ්‍රව හටගන්නේ නැත. හටගත් ආශ්‍රව පවා ප්‍රහීණ වෙයි. යෝනිසෝමනසිකාරයෙන් යුතු පුද්ගලයාට ඕනෑම රූප, ශබ්දාදී අරමුණක ඉෂ්ඨ අනිශ්ඨ හෙවත් හොඳ නරක බව තතු සේ දැකගන්නට දැනගන්නට පුළුවනි. මේ නිසා හෙතෙම කැමති අරමුණෙහි සිතින් දැඩිව ගන්නා වූ උපාදානයකටවත් අකැමැති හෙවත් අනිෂ්ඨ අරමුණෙහි ගැටෙන්නා වූ පටිඝයකටවත් සිතින් සකස්වෙන්නේ නැත. අයෝනිසෝමනසිකාරයෙන් යුතු තැනැත්තා රාගාදී අරමුණෙහි ඉක්මණින් හෙවත් වහා බැඳෙයි. තදින් ඇලෙයි. පැණි රසයට කූඹියකු මෙනි. අකැමැති අරමුණෙහි වහා ගැටෙයි. දණ්ඩකින් පහර කෑ සර්පයෙකු මෙනි.

මෙම ආශ්‍රව හෙවත් කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය සත් ආකාරයකින් මෙහි දී දක්වා තිබේ. ඒ මේ ආකාරයෙනුයි. දර්ශනයෙන් හෙවත් සෝවාන් මාර්ග නුවණින් පහකළ යුතු ආශ්‍රව පවතී. සංවරයෙන් පහකළ යුතු ආශ්‍රව පවතී. නුවණින් මෙනෙහිකොට බලමින් පහකළ යුතු ආශ්‍රව පවතී. වීර්යයෙන් යුක්තව ඉවසීමෙන් පහකළ යුතු ආශ්‍රව පවතී. දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව පවතී. බැහැර කිරීමෙන් නැතිකළ යුතු ආශ්‍රව පවතී. විවේකය, විරාගය, නිරෝධය ඇසුරු කළ සහ බෝධි අංගයන්ගෙන් සමන්නාගතව භාවනාවෙන් පහකළ යුතු ආශ්‍රව පවතී.

මෙහි දී අතුරු කතාවක් පැන නැඟේ . එනම්, කෙලෙස් ප්‍රහාණයේ දී ආමිස පූජා හෙවත් වැඳුම් පිදුම්වලට ලැබෙන්නේ ළදරු අවධියේ ස්ථානයක් පමණක් බව ය. සීලයෙහි පිහිටා, තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව උපදවාගෙන රාගාදී කෙලෙසුන්ගේ ප්‍රහාණයට මූලික පසුබිමක් සකස් කිරීමකි. එම නිසා තම ජීවිත කාලය ම හෝ ජීවිත කාලයේ වැඩි කාල පරිච්ඡේදයක් වැඳුම් පිදුම්වලට හා සිරිත් විරිත් ලෙස සිදුකරන දානාදී පින්කම්වලින් පමණක් සසර කෙටි කර ගැනීමක් හෝ කෙලෙස් ප්‍රහාණයක් සිදුකළ නොහැකි වන්නේ ය. සිරිත් විරිත් මුල්කොට ගත් පින්කම් ලෙස අදහස් කරනු ලැබුවේ කෙනෙක් මිය ගිය පසු සිදුකරනු ලබන සත්දිනයේ, තුන්මාසයේ හෝ වාර්ෂික පින්කම් ද වරු පිරිත්, සර්වරාත්‍රික පිරිත්, පෙරහර, පහන්පූජා අන් අයට උදව් උපකාර කරන ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, බේත්හේත් ආදී පරිත්‍යාග කිරීම් ලෙසිනි. මේවා සිදු කිරීමෙන් සිතෙහි පින සකස් වෙයි. සුගතිය උරුමවෙයි. පින අවසන් වීමෙන් සුගතිය ද අවසන් වෙයි. සත්වයා නැවතත් දුකට පත්වෙයි. මේ නිසා බුදුරජාණන් වහන්සේලා කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස හේතුවන සීල, සමාධි, ප්‍රඥා ගුණ මාර්ගය ම ප්‍රශංසා කොට දේශනා කරති. එයට ප්‍රධාන වශයෙන් ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහ චතුරාර්ය සත්‍ය අන්තර්ගත වන්නේ ය. මෙහි දී අප විසින් සිහිපත් කළ යුත්තේ කුමක් ද? ආමිෂ පූජාවෙන් පසුබිම සකස්කොට ගෙන, ශ්‍රද්ධාව උපදවා, පුණ්‍යවන්තව, දස පාරමී ධර්මයන් ද දියුණු කරමින් සමථ විදර්ශනා භාවනා මාර්ගයට යොමු වීමයි.

සෝවාන් මාර්ග නුවණින් පහ කළ යුතු ආශ්‍රව කවරේදැයි ඉතාමත් සරල ලෙස විමසා බලන්න. එනමුත් ගැඹුරින් සිතට ගන්න. මේ දහම් පරියාය ආරම්භ වෙන්නෙ මේ ආකාරයටයි. පළමුව අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා ගැන දැනගෙන සිටින්න. මේ තැනැත්තා ආර්යයන් වහන්සේලා නුවණින් හඳුන්වන්නේ නැත. ආර්ය ධර්මයෙහි හික්මීම නොවෙයි. සත්පුරුෂයන් වහන්සේලා නුවණින් හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂයි. සත්පුරුෂයා ධර්මයෙහි හික්මෙන්නේ නොවෙයි. මේ නිසා අශ්‍රැතවත් පෘථග්ජනයා මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනී. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනී. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදන්නා, මෙනෙහි නොකළ යුතු මේ පුද්ගලයා විසින් යම් ධර්මයක්, සිතිවිල්ලක් මෙනෙහි නොකළ යුතු නම්, එම ධර්මයන් මෙනෙහි කරනු ලැබේ. මෙනෙහි කළයුතු යමක් වේ නම් එය මෙනෙහි නොකරයි.

මෙහි දී අප විසින් අපගේ ම සිත සහ සිතිවිලි පිළිබඳව මනා සිහියෙන් හෙවත් ආරම්භයේ සඳහන් කළ යෝනිසෝමනසිකාරයෙන් යුතුවිය යුතු ය. එවිට සිත අවදිවෙයි. මාර්ගයෙහි ප්‍රමුදිත වෙයි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව යමක් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නොකළ යුතු ධර්ම හෙවත් ආරම්මණ මේවායි. එනම්, යම් දෙයක් සිහිකරන විට නැති හෝ නූපන් කාමශ්‍රව උපදී ද, සිතේ තිබෙන කාමාශ්‍රව වැඩේ ද, නූපන් භවාශ්‍රව උපදී ද, සිතේ තිබෙන භවාශ්‍රව වැඩේ ද නූපන් අවිද්‍යා ආශ්‍රව උපදී ද සිතේ තිබෙන අවිද්‍යා ආශ්‍රව වැඩේ ද, එවැනි ධර්ම, සිතිවිලි මෙනෙහි නොකළ යුතුයි.

ඉන් පසු දැන ගත යුත්තේ කුමක් ද? යමක් මෙනෙහි නොකරනවානම්, මේවා මෙනෙහි කළ යුතු ය. ඒ මොනවාද? යමක් මෙනෙහි කරනවිට නූපන් කාමශ්‍රව නූප දී ද උපන් කාමාශ්‍රව නැතිවෙනවා ද? නූපන් භවාශ්‍රව නූපදී ද උපන් භවාශ්‍රව නැතිවෙනවාද, නූපන් අවිද්‍යා, ආශ්‍රව නූපදී ද? උපන් අවිද්‍යා ආශ්‍රව නැතිවෙනව ද? ඒවා මෙනෙහි කළ යුතු ධර්මයෝ යි. සිතිවිලි යි. අරමුණු යි.

මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කිරීමෙන් සහ මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් අශ්‍රැතවත් පෘථග්ජනයාට නැති ආශ්‍රව උපදියි. තිබෙන ආශ්‍රව තවත් වැඩිදියුණු වෙයි. මේ කියවන ඔබත් අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව වැරැදි ආකාරයට, මේ ආකාරයෙන් සිත සිතා සිටිනවාදැයි මෙනෙහි කරන්න. අතීතයෙහි මම සිටිය ද, අතීතයෙහි මම සිටියේ නැද්ද?, අතීතයෙහි කවුරු වී සිටින්නට ඇති ද? අතීතයේ කවර ආකාරයක සිටින්නට ඇති ද?, අතීතයේ කවරෙක් ව සිට, කවුරු වගේ කෙනෙක් වෙන්නට ඇති ද? අනාගතයේ මම ඉඳීවි ද?, අනාගතයේ මම නොසිටියි ද?, අනාගතයේ මම කවර අයෙක් වෙයි ද?, අනාගතයේ කවරෙක් ව සිට, කවරෙක් වෙම් ද? වශයෙනුයි. මීළඟට මේ පුද්ගලයාට කුමක් ද සිදුවෙන්නේ? වර්තමානයේ ත් තමා කෙරේ සැක ඇතිකර ගනියි. මම කියා කෙනෙක් සිටිම් ද?, මම නොවෙම් ද?, මම කොහොම කෙනෙක් ද?, මම කෙසේ වෙනවද?, මේ සත්වයා කොතැනක සිට ආවේ ද?, මෙතැනින් කොතැනකට යාවිද? වශයෙනුයි. මේ ආකාරයට ‘මා මුල් කරගෙන ආත්ම සංඥාවෙන් අතීත, අනාගත, වර්තමානය ගැන සිතමින් සිටින අශ්‍රැතවත් පෘථග්ජනයාට මගේ වසඟයෙහි පවතින, මට කැමති ආකාරයට පවත්වාගත හැකි ආත්මයක් ඇතියි සිතිවිලි උපදී. මගේ ආත්මය නැතැයි සත්‍ය වශයෙන් දෘෂ්ඨීයට පැමිණෙයි.

අයෝනිසෝමනසිකාරයෙන් සිතන, අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා නිත්‍ය වූ ආත්ම සංඥාව ගැනීම නිසා, මගේ ය, මම වෙමි, දකින, අසන, දැනෙන සිතන සියල්ල ස්ථිරයි සිතමින් ඇලෙයි. බැඳෙයි, ගැටෙයි, හඬයි, වැළපෙයි. එසේ ම මගේ ආත්මය නැතැයි, සියල්ල මෙලොවට පමණයි යනුවෙන් සිතන පෘථග්ජනයා ද හොඳින් හෝ නරකින් ඇස, කන, ආදී ඉන්ද්‍රියයන් පිනවීමට පෙළඹෙයි. රාග, ද්වේෂ, මෝහ, තණ්හා, මද, මාන දෘෂ්ඨීන්ට එකතුවෙයි. ඇලෙයි. බැඳෙයි. හඬයි. වැළපෙයි. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේගේ පැහැදිලි කිරීම මෙසේ ය. අයෝනිසෝමනසිකාරයෙන් යුතු පෘථග්ජනයා ජාතියෙන්, දිරා යාමෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, දැඩි ආයාසයෙන් නොමිදේ. සියලු සසර දුකින් නොමිදේ යනුවෙනි.

යෝනිසෝමනසිකාරයෙන් යුතු ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමත්, මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමත් නිසා තම සිතෙහි නැති කෙලෙස් නූපදවාගනී. උපන් හෙවත් පවතින කෙලෙස් නැති කර ගනියි. උපතේ පටන් ඇති ජීවිතයේ මහලු බව, ව්‍යාධිය, මරණය අකැමැති දෙයට මුහුණදීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දේ ඉටුකරගැනීමට නොහැකිවීම ආදී යථාර්ථය නුවණින් දකියි. දහමෙහි මෙය නම් කරන්නේ ‘දුක්ඛ’ වචනයෙනි. මේ සියලු ගැටලුවලට හේතුව ‘සමුදය’ නුවණින් මෙනෙහි කරයි. මේ සියලු ගැටලු, දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස්වීම, නැති කිරීම ‘නිරෝධය’ නුවණින් මෙනෙහි කරයි. මේ සඳහා ඇති ආර්ය වූ මාර්ගය ‘මග්ග‘ නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුට හෝ ඇයට මම ය, මාගේ ය නම් වැරැදි දැක්ම සක්කාය දිට්ඨිය, සැකය විචිකිච්ඡා, සම්මා දිට්ඨි ආදී ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර මගක් අනුගමනය කිරීම සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන සසරට බැඳීම් ප්‍රහාණය වෙත්. මේ මග දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රව හෙවත් කෙලෙස් යැයි අවබෝධකොටගත යුතු ය.