Print this Article


පොසොන් සඳ දම් සිසිලෙන් නැහැවුණු කිලිනොච්චිය

පොසොන් සඳ දම් සිසිලෙන් නැහැවුණු කිලිනොච්චිය

පොසොන් පොහොය නිමිත්තෙන් කිලිනොච්චිය ආරක්ෂකසේවා මූලස්ථානය සංවිධානය කළ පොසොන් උත්සව රැසක් පසුගිය දා කිලිනොච්චිය, මාන්කුලම් සහ මල්ලාවි ප්‍රදේශවල දී පැවැත්විණි.

කිලිනොච්චිය ආරක්ෂකසේනා ආඥාපති මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා රණවිරුවන් විසින් එම උත්සව සංවිධානය කර තිබිණි.

ඒ යටතේ 57 වැනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ මහතාගේ අධික්ෂණය යටතේ 571 වැනි බලසේනාව කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය අසල දී පහන්කූඩු ප්‍රදර්ශනයක්, අයිස්ක්‍රීම් සහ ඔසුපැන් දන්සලක් පවත්වන ලදී. 65 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම මහතාගේ අධීක්ෂණය යටතේ බිස්කට්, බෙලිමල්, සහ රණවරා දන්සලක් සංවිධානය කර තිබිණි. මීට අමතරව 574 වැනි බලසේනාවේ රණවිරුවන් සංවිධානය කළ මඤ්ඤොක්කා, බනිස් දන්සලක් මාන්කුලම් විහාරස්ථානය අසල දී පැවැත්විණි.

යුද හමුදාව සහ කිලිනොච්චිය ජනතාව අතර ආගමික සහයෝගිතාව මෙන්ම ජාතීන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙවැනි ආගමික වැඩසටහන් යුද හමුදාව විසින් සංවිධානය කරන බව මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. පොසොන් පොහෝදින පැවැත්වූ එම ආගමික වැඩසටහන් සඳහා කිලිනොච්චි, මාන්කුලම් සහ මල්ලාවි ප්‍රදේශවල සිවිල් ජනතාව විශාල පිරිසක් සහභාගි වීම විශේෂත්වයකි.