Print this Article


පොත් විත්ති

“සසර නිවුණු – නුවණ පහන රේරුකානේ චන්දවිමල මහා නාහිමි”

කර්තෘ – අසංක ආටිගල
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

“ජීවින් සිටින ලෝක පිළිබඳ බුදු හිමි හෙළිදරව්ව“ හෙවත් “සක්වළ අසිරිය”, “සසර කෙළවර කරන ආරණ්‍ය” සහ “යුගකාරක යතිවරු” යනාදී ග්‍රන්ථ රැසක් ලියූ මාධ්‍යවේදී අසංක ආටිගලගේ නවතම කෘතිය “සසර නිවුණු නුවණ පහන – රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේ” නමින් නොබෝදා එළිදැක්විණ.

“නිවන” සහ “ධූතාංග“ පිළිබඳව ද විස්තර සහිත මෙම රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ පශ්චාත් චරිතාපදාන ග්‍රන්ථය “සාහිත පොත් පියස” මගින් ප්‍ර‍්‍රකාශයට පත් කර තිබේ. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ දුර්ලභ සේයාරූ අවසන් සමයේ දැක් වූ අදහස් ආදී අප්‍රකට විත්ති සරලව සංක්ෂිප්තව ඉදිරිපත් කර ඇති මෙම කෘතිය සියලු සැදැහැවතුන්ට ප්‍රායෝගික භාවනා අත්දැකීම් ඇතුළත් අත්පොතක් ලෙස ද රසවිඳිය හැකි වේ.

“අමරණීය පරමාදර්ශය , අවසන් කාලයේ සත්‍යාවබෝධය” , “බුරුම නාහිමියන්ට හමු වූ අපූරු ශිෂ්‍යයා” සහ “බුදුන් දැක නිවන් දකිම්වා” යන පරිච්ඡේද තුනක් හා උප ග්‍රන්ථයක් යටතේ කරුණු පෙළ ගස්වා ඇත.

 

 

 

 

****

මුල් බුදු සමයේ දාර්ශනික පදනම

කර්තෘ - ආචාර්ය පිටිගල විජිත හිමි
ප්‍රකාශන - ශ්‍රී ලංකා පාලි ග්‍රන්ථ සමාගම, වාද්දුව

බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසුදු ධර්මය කවරේද යන්න තෝරා ගැනීමට අවශ්‍ය මූලික දැනුම ලබා දීමට කතුවරයා මෙම ග්‍රන්ථය තුළින් උත්සාහ ගෙන ඇත. සමස්ත බුදුදහමේ දාර්ශනික පදනම කවරේද යන්න පෙන්වා දීමට උත්සාහ කර ඇත. සමාජ ගැටලු නිරාකරණය කළ ආකාරය සහ සසර පැවැත්ම සහ නැවැත්ම සිදුවන ආකාරය ද, සමස්ත බුදුදහම පටිච්චසමුප්පාදය පදනම් කොට ගත්තක් වන බව ද කතුවරයාගේ අදහස යි. කර්මය පිළිබඳ බෞද්ධ විවරණය, සංසාරය හා නිර්වාණය, පටිච්චසමුප්පාදය ඇතුලු තවත් මාතෘකා දොළසක් ඔස්සේ මෙම ග්‍රන්ථය ඔබ අතට පත් වෙයි.

 

 

 

 

 

 

 

****

බෞද්ධ භාවනා ක්‍රම

කර්තෘ - කෝන්වැවේ ආරියරත්න
ප්‍රකාශකයෝ - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

භාවනා ආරම්භයට පෙර මෙම ග්‍රන්ථය කියවා තිබීම හා විෂය පිළිබඳව දැනුමක් ලබා තිබීම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට බෙහෙවින් උපකාරයක් වන බව එහි කතුවරයා කියයි. සාමාන්‍යයෙන් බුද්ධ වන්දනාව අවසන භාවනාවක් එකතුකර ගැනීමෙන් භාවනාවට හුරුවක් ලැබේ. දළ වශයෙන් මෙම කෘතිය සැලසුම් කර ඇත්තේ භාවනාව පිළිබඳව යම් උනන්දුවක් හා අවබෝධයක් ඇති පිරිසකගේ ප්‍රයෝජනය සඳහා වුවත් ඕනෑම කෙනෙකුට කියවා තේරුම්ගත හැකි කෘතියකි. උප ග්‍රන්ථද ඇසුරු කරගෙන මෙම ග්‍රන්ථය කියවා තේරුම් ගත හැකි පරිදි සරලව ඔබ අතට පත් කිරීමට කතුවරයා සමත් වී ඇත.