Print this Article


පූජාච පූජනියනං

කොටගම සිරි චන්දරතන නා හිමි

රඹුක්කන, දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් රාජමහා විහාරාධිපති, කීර්ති ශ්‍රී රාජසිංහ විද්‍යායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී ශ්‍රී සුමංගල ධර්ම විද්‍යාලයාධිපති, විශ්‍රාමලත් පරිවේණාධිපති සතර කෝරළ මහා දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක, මංගල ධර්මකීර්ති ශ්‍රී චන්ද්‍රජෝති, ප්‍රවීනාචාර්ය කොටගම සිරි චන්දරතනාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංඝ සෝබන ගුණයන්ගෙන් හෙබි සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයෙකි.

සබරගමු පළාතේ කෑගල්ල දිසාවේ රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කොටගම ග්‍රාමයේ දී ආර්.එම්.කිරි බණ්ඩා පියතුමාට හා කේ.එම්. පොඩි මැණිකේ මෑණියන්ට දාව 1950 ජූලි මස 11 වන දින උපත ලද ආර්.එම්. අශෝක රත්නායක අට දෙනෙකුගෙන් යුක්ත පවුලේ පස්වෙනියා විය. මාපිය සෙනෙහස හා දයාව ඇසුරෙහි වැඩෙන කුමරු මුවපිටිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තේ ය.

දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් රාජමහා විහාරය වෙත පැමිණ පැවිද්දට අවශ්‍ය මූලික වත් පිළිවෙත් ඉගෙන හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පරිවේණාධිපති මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍යාය පින්නවල සිරි චන්දජෝති නාහිමියන්ගේ හා දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් රාජමහා විහාරය, කොස්සින්න ශ්‍රී නාගවනාරාමය, ගඟේ කුඹුර ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරත්‍රයාධිපති, කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී, පින්නවල සිරි පියරතන මාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1965 සැප්තැම්බර් මස 10 වන දින කොටගම චන්දරතන හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන, හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙන, මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙන යන විද්‍යස්ථාන තුළින් පැවිදි අධ්‍යාපනය සරු කරගත් අතර උගතමනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූයෙන් පින්නවල සිරි චන්දජෝති නාහිමියන්ගේ හා පින්නවල සිරි පියරතන මාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1971 ජූනි මස 01 වන දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලබා ගත්හ.

රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු පුහුණුව නිම කරමින් ප්‍රවීණාචාර්යවරයෙකු බවට පත් විය. 1980 දී දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් ආචාර්යවරයෙකු ලෙස ගුරු සේවයට එක් ව 1990 දී පරිවේණාධිපති ධූරයට ද නාහිමියෝ පත්වූහ. මූලික පිරිවෙනක් බවට පැවති පිරිවෙන, මහ පිරිවෙනක් බවටද පසුව විද්‍යායතන පිරිවෙනක් බවට පත් කිරීමට ද කැප වූහ.

ස්වකීය ගුරුදේව පින්නවල සිරි පියරතන මාහිමියන් සමඟ ප්‍රදේශයේ ජාතික ආගමික ශාසනික කටයුතුවලට මෙන්ම පිරිවෙන් විහාරස්ථානයේ දියුණුවට කැප වූ නාහිමියන්ගේ ආගමික සේවාව අගයමින් මල්වතු පාර්ශවයේ මහානායක රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්සි මහා නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව වෙතින් 1996 ජනවාරි 27 වන දින මංගල ධර්ම කීර්ති ශ්‍රී චන්දජෝති යන ගෞරව නාමය සහිතව සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ප්‍රදානය කරන ලදී.

1997 දී සිය ගුරුදේව පින්නවල ශ්‍රී පියරතන මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු විහාරස්ථානවල අධිපතිත්වයට පත් නාහිමියෝ දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් රාජමහා විහාරාධිපති පදවිය පමණක් බාර ගෙන ඉතිරි විහාරස්ථාන සිය සහෝදර හිමිවරුන්ට පවරාදීමට තරම් කාරුණික වූහ. අධ්‍යාපනික වශයෙන් උදාර සේවාවක් ඉටු කොට 2006 දී විශ්‍රාම ලැබූ නාහිමියෝ එතැන් සිට පිරිවෙන් කෘත්‍යාධිකාරී ධූරයෙහි කටයුතු කරයි.

පින්නවල ශ්‍රී චන්ද්‍රජෝති නාහිමි අනුස්මරණ දෙමහල් ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරය, පින්නවල ශ්‍රී පියරතන මාහිමි දෙමහල් පිරිවෙන් ශාලාව, මහ රහත් සීවලී චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කිරීම මෙන්ම පුරාණ බෝධීන් වහන්සේ වටා අටවිසි කුටි සහිත බෝධි ප්‍රාකාරය කරවීම, විහාරස්ථානයට පිවිසෙන වාහල්කඩ සහිත මකර තොරණ ඉදිකිරීම මෙන්ම පුරාණ විහාරාරාංග නවීකරණය කොට දර්ශනීය පින් බිමක් නිර්මාණය කිරීමට නාහිමියෝ කැප වූහ.

සිය උදාර පැවිදි දිවියේ හැට නව වන වියට පා තබන ගුරුදේව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් සසුනඹර වැඩ වඩන්නට නිරෝගී සුව දීර්ඝායු සම්පත් ලැබේවා.

****

පඬිවිට ශ්‍රී චන්දවිමල නා හිමි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අපවත් වී වදාළ පඬිවිට ශ්‍රී චන්දවිමලාභිධාන නාහිමිගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙනි

සම්මා සම්බුද්ධ ශාසනයේ පරමාදර්ශි සඟ පරපුරක උරුමය ලබන්නට පිරූ පාරමී බල මහිමයෙන් වාසනාව ලද කතානායකයන් වහන්සේ සත්පුරුෂ ගුණ සම්ප්‍රයුක්ත එම්.ජී.ඩිංගිරි අම්මා මාතාව ස්වකීය මෑණියන් වහන්සේ ලෙසින් ද, උඩහේරත් මුදියන්සේලාගේ කිරිබණ්ඩා මැතිඳුන් ස්වකීය පියාණන් ලෙසින් ද ගෞරවාදරයට හා සම්භාවනාවට පාත්‍ර කරවමින් 1951 අගෝස්තු මස 18 වැනි දින මෙලොව එළිය දුටහ. ඉන්පසුව තම මූලික අධ්‍යාපන කටයුතු නිමවා 1969 මාර්තු 20 වැනි දින පඬිවිට චන්දවිමල නාමයෙන් ප්‍රවෘජ්‍යා දිවියට ඇතුළත් වූහ.

අනේක විධ දුක්කම්කටොලු අභියෝග මධ්‍යයේ වුවද, තම ශාසනික ජීවිතය ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මත පදනම්ව ඉතා මැනවින් ගත කරමින් භික්ෂූත්වයට මනා යෝග්‍ය චර්යා පද්ධතියකින් සුසැදිව ආචාර්යෝත්තමයාණන් වහන්සේලාගේ නොමඳ පැසසුම් ලබමින් අවැසි අධ්‍යාපනික කාර්යයන් සාධනය කොටගෙන ශ්‍රී ශාන්ත නිකේතන පිරිවෙනට අභිමානයක් එක් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධියත්, ශාස්ත්‍රපති උපාධිය මෙන්ම රාජකීය පණ්ඩිත උපාධියත් ලබාගන්නට තරම් ප්‍රශස්ත මෙන්ම ක්‍රියාශීලි චරිතයක් තමා තුළ ගොඩනඟන්නට උන්වහන්සේට හැකි විය.

එතුළින් උන්වහන්සේ ඉටු කළ ආගමික, සමාජීය හා සංස්කෘතික මෙහෙවර අප්‍රමාණ ය. ගුරුවරයකු, කථිකාචාර්යවරයකු, පිරිවෙන්පතිවරයකු මෙන්ම චතුර ධර්ම දේශකයකු ලෙසින් වියත් පාණ්ඩිත්වය මොනවට විශද කළ මේ මහා යතිවරයාණන් වහන්සේ දුල්ලෑව බෝධිරාජ විහාරය මාතලාපිටිය ඛෙත්තාලෝක විහාරය, ලේල්ඔය සිරි නිකේතනාරාම විහාරය යන විහාරාත්‍රයාධිපතිව මෙන්ම කපුකොටුව ශාන්ති නිකේතන මහ පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරය දරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම යුග කාර්යභාරය නොමඳව ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමකි.

විදේශයන්හිද බුද්ධ ධර්මය බෙදා හරිනු පිණිස ධර්ම දූත සේවාවේ නිරත වූ හිමියෝ ශිලෝපේත, ගුණෝපේත මහ තෙර නමක් ලෙස අමෙරිකාවේ රතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ලෝක ධර්ම දූත සේවයේ ද දීර්ඝ කාලයක් යෙදෙමින් පෙර අපර දෙදිග ජනී ජනාත්මාභිවෘද්ධිය පිණිස අමිල වූ ද, අති උදාර වූ ද මෙහෙවරක් ඉටු කළහ. උන්වහන්සේගේ සද්ධර්ම වෛශාරදත්වය ද, බහුශ්‍රැතතත්වය ද කරුණ්‍යාධ්‍යාශපූර්වක මහා මනුෂ්‍යත්වය ද බොහෝය.

සද්ධර්මාත්‍රසාරි දිවි පෙවෙතක් ගත කරමින් කුෂානු පාණ්ඩිත්‍යයෙන් ලෝ දනන් සුවපත් කරමින් ඉටු කළ මෙහෙවර උදෙසා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මාතලේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය උන්වහන්සේ වෙත ප්‍රදානය කරනු ලැබුවේ මංගල ධර්මකීර්ති ශ්‍රී ඥානවිමල ගෞරවෝපාධිය ද සහිතවය. බුද්ධ ශාසනම්බරයෙහි සුදීප්ත පූර්ණ චන්ද්‍රෝපමව දෙස් විදෙස් සාධුජන මොහඳුර නිවාලූ නා හිමියන් වහන්සේ 2019 ජුනි 08 වැනි දින එකුන් සැත්තෑ වසක් ආයු ශ්‍රී වින්දයට කොට අපවත්වී වදාළහ.

ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස නොමඳ ගෞරවයට පත් අපවත් වී වදාළ පඬිවිට චන්දවිමලාභිධාන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හිමිපාණන් වහන්සේට නිවන් සුවය ලැබේවා.

****

අම්පිටියේ ධම්මපාල නා හිමි

සගම රජමහා විහාරය, මුල්ගම පුරාණ විහාරය, පල්ලේ දෙල්තොට ගල්කැටියේ විහාරය, මුදුන කඩේ ගල්කොටුව පුරාණ විහාරය, මහනුවර උඩවත්ත කැලේ ශ්‍රී රාම විහාරය, ශි‍්‍රයාගම අභිනවාරාමය, දුල්මුරේ හිරිතුඩ පුරාණ විහාරය සහ තලාතුඔය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය යන විහාරයන්හි අධිපති සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පාතහේවාහැට ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධම්ම කීර්ති ශ්‍රී ගුණරතන අම්පිටියේ ධම්මපාල හිමියෝ ජුනි මස හත්වන දින අපවත් වී වදාළහ.

1925 ඔක්තෝබර් 21 දින මහනුවර අම්පිටියේ දී උපත ලද උන්වහන්සේගේ මව්පිය දෙපළ වූයේ වික්‍රමසිංහ මුදියන්සේලාගේ ඩිංගිරිබණ්ඩා සහ ඒකනායක මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා යන දෙපළය. නව දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනි දරුවා උන්වහන්සේ වූ අතර ගිහිනම වූයේ වික්‍රමසිංහ මුදියන්සේලාගේ රම්බණ්ඩා ය. 1935 දී පැවිදි දිවියට පා තබා සගම රජමහා විහාරයේ ශ්‍රී මහාමහින්ද පිරිවෙන, වටද්දර ඥානෝදය පිරිවෙන සහ ගම්පොල ශ්‍රී බුවනෙක බා පිරිවෙනේ පිරිවෙන් අවසානය දක්වා ඉගෙනුම ලැබූහ. 1945 දී උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1983 දී එතෙක් අක්‍රීයව පැවැති සගම පිරිවෙන නැවත ආරම්භ කිරීම, සගම ශ්‍රී මහා මහින්ද දහම් පාසල ඇරඹීම, මුදුනකඩේ පුරාණ ගල්කොටුව විහාරයේ ශ්‍රී සම්බෝධිරාජ දහම්පාසල, ශි‍්‍රයාගම අභිනවාරාමයේ ශ්‍රී ධම්මපාල දහම් පාසල, දුල්මුරේ හිරිතුඩ සුධර්ශනාරාමයේ සිරි සිදුහත් දහම් පාසල සංවර්ධනයට පෙරමුණ ගත්හ. සගම ශ්‍රී ගුණරතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී තනතුර, පාත හේවාහැට ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුර, පාතහේවාහැට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සභාපති තනතුර, පාතහේවාහැට මහා විහාරීය සාම ගී‍්‍ර භික්ෂු බලමණ්ඩලයේ ප්‍රධාන අනුශාසක තනතුර ආදී තනතුරු හොබවමින් මහත් ශාසනික සේවාවක් ද සිදුකළහ.

අම්පිටියේ ධම්මපාල හිමියන්ට නිවන් සුව අත්වේවා.