Print this Article


කාම විතර්කය විදසුන් නුවණින් හඳුනා ගනිමු

කාම විතර්කය විදසුන් නුවණින් හඳුනා ගනිමු

අශ්‍රැතවත් පෘථග්ජන සිත්හි උපදින ආශ්‍රව එනම්, කෙලෙස් විදසුන් නුවණින් අවබෝධ කරගන්නා තෙක් කෙලෙස්වල සංසිඳීමක් ඇතිකරගත නොහැකි වන්නේ ය. එසේ විදසුන් නුවණින් දැක්ම ඇතිකර ගන්නා ආකාර අතර කෙලෙස්වල ඇති වරද නුවණින් දැක දුරුකරගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.

වරද දැකීම් වශයෙන් වීර්යයෙන් බැහැර කළ යුතු ආශ්‍රවයෝ වෙති. එනම් ලෝකයෙහි මහණ තෙම නුවණින් සලකා, හටගත්තා වූ කාම විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. විනාශ කරයි. නැවත හටනොගැනීමට පත් කරයි. උපන්නා වූ ව්‍යාපාද හෙවත් තරහව නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. විනාශ කරයි. නැවත හට නොගැනීමට පත් කරයි. උපන්නා වූ විහිංසා එනම් අනුන් පෙළීමට ඇති සිතිවිල්ල නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. විනාශ කරයි. නැවත හට නොගැනීමට පත්කරයි. උපදින්නා වූ සෑම ලාමක අකුසල ධර්මයක් ම නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. විනාශ කරයි. නැවත හට නොගැනීමට පත් කරයි. යම් හෙයකින් එබඳු සිතිවිලි සිතින් බැහැර නොකරන්නා වූ ඔහුට හෝ ඇයට වෙහෙස සහ දැවීම් සහිත ආශ්‍රවයෝ උපදිත් ද මෙසේ එබඳු සිතිවිලි විතර්ක දුරු කරන්නා වූ යම් අයෙකුට එවැනි වෙහෙස සහ දැවීම් සහිත ආශ්‍රවයෝ නොවෙති. මෙවැනි ආශ්‍රව හෙවත් කෙලෙස් වරද නුවණින් දැකීම් සහ වීර්යයෙන් බැහැර කළ යුතු වන්නේ ය. යනුවෙන් පැවසෙයි.

සසර මග කෙටිකර ගැනීමේ අදහසින් සියලු ආශාවන් ප්‍රහාණය කිරීමට අදිටන් කරගන්නා වූ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව විසින් තම සිතෙහි උපදින්නා වූ සිතිවිලි පිළිබඳව සිහිය පවත්වා ගැනීමට තරම් පුහුණුවක් සිතෙහි ඇති කරගත යුතු ය. මෙය මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි චිත්තානුපස්සනාවේ දී මැනවින් පැහැදිළි කරයි.

මහණෙනි, කෙසේ නම් භික්ෂුව සිතෙහි යථා ස්වභාවය නුවණින් දකිමින් සිත පුරුදු කරන්නේ ද? මෙහි දී භික්ෂුව යනුවෙන් මූලික ලෙස ආමන්ත්‍රණය කළ ද මේ ධර්ම පර්යාය භික්ෂු , භික්ෂුණී , උපාසක, උපාසිකා නම් වූ සිව්පිරිස ම සඳහා ය. මේ ශාසනයෙහි භික්ෂුව රාග සහිත සිත, රාග සහිත සිතක් වශයෙන් ද රාග නොමැති සිත රාග නොමැති සිතක් වශයෙන් ද මැනවින් නුවණින් වටහා ගනී. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් ද, ද්වේෂය නැත්තා වූ සිත ද්වේෂය නැත්තා වූ සිතක් වශයෙන් ද මැනවින් නුවණින් වටහා ගනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් ද මෝහය නොමැති සිත මෝහය නොමැති සිතක් වශයෙන් ද හැකිළී ගිය සිත හැකිළී ගිය සිතක් වශයෙන් ද නුවණින් වටහා ගනී. විසිරී ගිය සිත විසිරී ගිය සිතක් වශයෙන් ද බලවත් බවට පැමිණි සිත බලවත් බවට පැමිණි සිතක් වශයෙන් ද බලවත් බවට නොපැමිණි සිත බලවත් බවට නොපැමිණි සිතක් වශයෙන් ද මැනවින් නුවණින් වටහා ගනී. ශ්‍රේෂ්ඨත්වයට පත්වෙමින් පවත්නා සිත ශ්‍රේෂ්ඨත්වයට පත්වෙමින් පවත්නා වූ සිතක් වශයෙන් මැනවින් නුවණින් වටහා ගනී. ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිත ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිතක් වශයෙන් මැනවින් නුවණින් වටහා ගනී. එකඟ වූ සිත එකඟ වූ සිතක් වශයෙන් ද එකඟ නොවූ සිත එකඟ නොවූ සිතක් වශයෙන් ද මැනවින් නුවණින් වටහා ගනී. කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් ද කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුනු සිතක් ලෙස මැනවින් නුවණින් වටහා ගනී.”

මේ ආකාරයෙන් තම සිතෙහි ද සිත පිළිබඳ යථා ස්වභාවය නුවණින් එනම් විදසුන් නුවණින් දකින්නේ ය. අන් අයගේ සිතේ ස්වභාවය ද විදසුන් නුවණින් දකින්නේ ය. තමාගේ සිත පිළිබඳව නුවණින් දැක අන් අයගේ ද සිත් පැවතිය හැකි යැයි මෙනෙහි කළ හැකි වන්නේ ය. තම සිත විදසුන් නුවණින් දුටුවා සේ ම අන් අයගේ සිත් ද ඔවුන්ගේ සිතිවිලි, වචන, හැසිරීම හෙවත් කායික ඇවතුම් පැවතුම් අනුව විදසුන් නුවණින් දැකිය හැකි වන්නේ ය.

එනම් තම සිතෙහි හෝ අන් අයගේ සිත්වල හට ගැනීම ද නුවණින් දකින්නේ ය. නැතිවීම ද නුවණින් දකිමින් වාසය කරන්නේ ය. මේ සිත්වල හට ගැනීම, නැතිවයාම විදසුන් නුවණින් දකිමින් වාසය කරන්නේ ය. මෙසේ සිතේ යථා ස්වභාවය නුවණින් දැකගන්නට පුරුදු පුහුණුවන විට හේතූන් නිසා හටගන්නා වූ හේතූන් වෙනස්වන විට නැතිව යන්නා වූ සිතක් ඇත්තේ යැයි සිතේ ස්වභාවය කෙරේ යොමු කළ සිහිය බලවත් ව පිහිටන්නේ ය. එය නුවණ දියුණු වීම පිණිස ද සිහිය බලවත්ව පිහිටීම පිණිස ද පවතින්නේ ය. එවිට ඔහු හෝ ඇය “මම”, “මාගේ”, “මාගේ ආත්මය” වශයෙන් සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වස්තූන් කිසිවක් කෙරේ උපාදානය නොකොට ගන්නේ ය. එනම් සිතින් දැඩිව නොගන්නේ ය. ලෝකයේ කිසිවක් “ස්ථිරයි, සදාකාලිකයි සැපයි, මම කැමති පරිදි පවතියි යනුවෙන් නොසිතන්නේ ය.

තම සිතෙහි උපන්නා වූ කාම විතර්කය හෙවත් කාම සිතිවිල්ල විදසුන් නුවණින් හඳුනා ගැනීමට නම් ඉහත සඳහන් කළ ආකාරයෙන් සිත පිළිබඳව අවබෝධයක් පැවතිය යුතු වන්නේ ය. මේ සඳහා කායානුපස්සනාවේ පටන් එනම් කයෙහි ඇවතුම් පැවතුම් පිළිබඳව මනා වූ සිහිය පැවැත්වීමේ පටන් සතර සති පට්ඨානය පිළිබඳව ම අවබෝධයක් ලැබිය යුතු වන්නේ ය. රාගය නම් වූ ඇලෙන, බැඳෙන, පිනවන සිත හඳුනාගෙන කායික වාචසික සංවරය නම් වූ සීලයෙහි පිහිටා එහි ඇති ආදීනවය පිළිබඳව මෙනෙහි කිරීම අවශ්‍ය ය. මෙහි දී මෙම රාගය නම් සිතිවිල්ල සම්මුතිය හෙවත් පැවැත්මෙහි යහපත් වූ ආරම්මණයක් විය හැකි ය. භික්ෂුවක්, භික්ෂුණියක් වූව ද තම සීල සමාධි ප්‍රතිපදාවෙහි පැවැත්මට අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් වැනි යමක් පිළිබඳව විය හැකි ය.

ගෘහස්ථ ජීවිතයක නම් සීලයෙහි පිහිටා දැහැමි ජීවිතයක සම්මුතියෙහි ස්වාමියා, බිරිඳ, මවුපියන්, දරුවන්, සොහොයුරු, සොහොයුරියන්, ගේදොර, රැකියාව, වෘත්තිය, සමාජමය යුතුකම් ආදිය විය හැකි ය. මේ සියලු දෙයම ඉෂ්ඨ ආරම්මණ බව සිහියෙන් දැන ඒවායේ සම්මුති පැවැත් ම පිණිස ධර්මානුකූල අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීම අවශ්‍ය ය. පරමාර්ථ ධර්ම අවබෝධයට අනුව ඉෂ්ඨාරම්මණයක් වූව ද අනිෂ්ඨාරම්මණයක් වූව ද, අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව තේරුම් ගැනීමට තරම් සිත පුහුණු කොට තිබිය යුතු ය.

භාග්‍යවතුන් වහන්සේ වදාළ සූත්‍ර ධර්ම කොට්ඨාසයක් සිතෙහි පුහුණුව පිණිස මතුකොට දක්වමි. එනම් “ආනන්දය කිසියම් රූපයක ඇලී ගැලී කාම රාගය ඇති කර ගන්නේ නම් ඒ උපාදානය වී තිබූ රූපය වෙනස් වන විට, බිඳෙන විට ඒ පුද්ගලයාට ශෝකයක් සන්තාපයක් නූපදින්නේ යැයි කිව හැකි කිසිම රූපයක් සිහි නුවණින් නොදකිමි” රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ආරම්මණයන්හි රාග සිතිවිලි උපදින්නේ ඉන්ද්‍රිය ගෝචර අවස්ථාවල දී සිදුවන අතීත කර්ම සංස්කාරයන්ගේ බලපෑමෙන් සඤ්ඤා මතුවීමෙනි. රූප ශබ්දා දී ආරම්මණයන්හි සිත් අලවා නිමිති ගැනීමෙන් එනම් ශරීර ලක්ෂණය ආකාරය ලීලාව පෙනුම ආදී ලෙසින් සිත පිනවීමෙන් වඩාත් රාගාදී සිතිවිලි වැඩෙයි. මේ නිසා අනිෂ්ඨාරම්මණයෙහි අස්සාදය එනම් සොම්නස හඳුනාගනී.

එනමුත් එහි උපාදානයකට නොයන්නේ එහි ඇති ආදීනවය නුවණින් වටහා ගැනීමට සිත පුරුදු කොට ඇති බැවිනි. නිමිති කෙරේ සිත යොමු නොවන විට චිත්ත ඒකාග්ගතාවය හෙවත් සිතේ එකඟ බව ඇතිකර ගැනීම පහසු ය. සමාධිය වැඩෙයි. මෙය නිස්සරණය යි. රූපයෙහි, ශබ්දයෙහි ආදී වශයෙන් නිමිති නොගැනීමයි. ඇසුරින් බැහැරවීමයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. “ආනන්දය තථාගතයන් විසින් මෙලෙස වාසය කිරීමට කුමන ධර්මතාවක් අවබෝධ කරගත්තේ ද යත් එය රූපාදී සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් ආධ්‍යාත්මික සුවය හා ඵල සමාපත්තිය ලබාගෙන වාසය කිරීමයි.”

ආර්ය මාර්ගය අනුගමනය කිරීමට සිහිය පිහිටුවන හෙවත් ඉලක්ක කරන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ඉහත සඳහන් කළ ආකාරයෙන් සිතෙහි මනා පුහුණුවක් හෙවත් වැඩීමක් ඇතිවන විට සිතෙහි පහළ වන කාම විතර්ක හෙවත් සිතිවිලි ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක පිළිබඳව යථා ස්වභාවයෙන් ම, එනම් විදසුන් නුවණින් ම දැක ඒවා නොඉවසීමට හැකියාව ලැබෙයි. සිතෙහි එම සිතිවිලි තබා නොගනියි. අවබෝධයෙන් ම දුරු කරන්නට ද බැහැර කරන්නට ද නැවත නොඉපදවෙන ස්වභාවයට පමුණුවන්නට ද හැකියාව ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කරති. ලෞකික ලෝකයේ සැප යැයි සොයා යන සියල්ල ම අනවබෝධය නිසා ම බොහෝ අයෙක් මහත් විපතකට ම පත්කර ගන්නා ආකාරය පෙනේ. බොහෝ පිරිසක් දැඩි වෙහෙස සහ දැවීම් සහිතව ජීවිත පවත්වන ආකාරය පෙනේ. මේ බව වටහාගෙන අශ්‍රැතවත් පෘථග්ජන සිත්වල පහළවන කාමාදී සිතිවිලි වැඩෙන්නට ඉඩ නොදී ඒවායේ ප්‍රහාණය පිණිස සිහිය පිහිටුවීම ආර්ය මාර්ගයයි.