Print this Article


ගමන අවදානම් වෙයි නිවන නුවණින් ලැබිය යුතුවෙයි

ගමන අවදානම් වෙයි නිවන නුවණින් ලැබිය යුතුවෙයි

භයානක වූ භවය, අසාර වූ සංසාරය තුළ ගමන් කරන සත්ත්වයාට යෙදී සිටින්නට ඇත්තේ ඉතා අනතුරුදායක ගමනක යි. ගමන භයානක නම්, අනතුරුදායක නම් එහි ගමන් කරන්නාට අනතුරු මගහැර ගමන් කරන්නට කිසියම් මග පෙන්වීමක් තිබිය යුතු අතර ම, ඒ සඳහා මඟියා ද සූදානමකින් යුක්ත වියයුතුයි.

අනතුරුවලට සූදානම් වී ගමන් කළ යුතුයි. ගමන යා යුතු ම නම්, අනතුරුවලට මුහුණදීම ද, මඟ හැරිය නොහැකි නම්, ඒවාට සාර්ථකව මුහුණ දී , ඒවා මැඩ ගෙන ඉදිරියට යන ආකාරය දැන ගත යුතු ය. ඉගෙන ගත යුතුය. ඒ අනුව ගමන් කළ යුතුය.

බුදුදහම අපට පෙන්වා දී තිබෙන්නේ අප මේ සසරට පැමිණියා නම් අනිවාර්යයෙන් ම සසරට උරුම වූ දුක්ඛ දෝමනස්සයන්ට, අභියෝගයන්ට මුහුණ දී එයින් මිදීම කළ යුතු බව ය. එයින් මිදීමට නම්, ප්‍රඥාව උපදවා ගත යුතු වෙනවා. මිනිස් ජීවිතය තුළ ප්‍රඥාව දියුණු කර ගත යුත්තේ ද තම තමා විසින්ම යි. ප්‍රඥාව කියන්නේ තවත් කෙනෙකුගෙන් ලබා ගත හැකි දෙයක් නොවේ. අප ම උපදවා ගත යුතු දෙයක්. දැනුමනම් අපට අන් අයගෙන් ලබා ගත හැකියි.අනුන්ගෙන් ලබාගන්නා දැනුම මුල් කරගෙන තමා විසින් ප්‍රඥාව අවදි කර ගත්විට යම් දෙයක ඇත්ත ඇති සැටියෙන් වැටහීම හෙවත් යථාභූත ඤාණ දස්සනය උපදවා ගත හැකි වන්නේය. එය උපදවා ගත හැකි සත්ත්වයන් අතර මිනිසාට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. විශ්වය පුරා සාංසාරික ගමනක යෙදී සිටින සත්ත්වයන් අතර මිනිසාට මුල් තැන ලැබී තිබෙන්නේ ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් ලැබිය හැකි ඉහළම තත්ත්වය වන බුද්ධත්වය ලබා ගත හැක්කේ ද මිනිසාට වීම නිස යි.

අවුල් වියවුල් ගැටලු ඇයි?

සමස්ත මානව සමාජය ම ආරවුල්, අවුල් වියවුල්, ගැටලුවලින් පිරී පවතින බව කාහටත් නො රහසක්. එයට හේතු වී ඇත්තේ ද මිනිසාට ධර්මානුකූල ජීවිත පසුබිමක් නො මැතිවීම යි. කෙ තරම් බණ කිව්වත් , කෙ තරම් බණ ඇසුවත් මිනිසුන් දිනෙන් දින ම ධර්මයෙන් ඈත්වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව මිනිසුන් බුදුදහම ප්‍රායෝගික දහමක් බව තවමත් තේරුම් නො ගැනීම යි. දහම කියන්නේ දැනුම පිණිස පවතින එකක් මිස අවබෝධයට පත්වීමට උපකාර කර ගත යුතු එකක් බව වටහා නො ගැනීමයි.

මිනිසෙකු වශයෙන් මේ ලෝකයේ යහ පැවැත්ම ගැන ද දැනුවත් වන ගමනේ ම නැවැත්ම හෙවත් නිවන කරා ගමන් කරන්නට සම්මත ලෝකය තුළ කටයුතු කරන්නේ කෙසේ ද? එසේ කටයුතු කිරීමේ දී ඇතිවන අනතුරුවලින් මිදීමට සූදානම් වියයුත්තේ කෙසේද යන පැනයට පිළිතුරක් සෙවිය යුතු වෙනවා. සසරේ ඇති අනතුරුදායක බව හෙවත් අවදානම මැනවින් හඳුනා ගැනීමටත්, එම අවදානමට මුහුණ දී නිර්වාණ ශාන්තිය මැනවින් හඳුනා ගැනීමටත්, ඔබ දක්ෂ විය යුතුයි.

තෘෂ්ණාවට නො බැඳීම

ලොව පවතින සෑම ජිවි සහ අජීවි වස්තුවක් ම ඇතිව, පැවැත, නැතිව යන ස්වභාවයෙන් යුක්ත බව වටහා ගන්නා තැනැත්තා ඒ සෑම වස්තුවක් ම අනිත්‍ය බව වටහා ගන්නා තැනැත්තා, ඒවාට අනවශ්‍ය ලෙසින් තෘෂ්ණාවෙන් නො බැඳෙන අතර, උපාදානය කරන්නේ ද නැහැ. ලෝකය තුළ අප ප්‍රාර්ථනා කරන දේ එලෙසින්ම අපට ලැබනේනේ නැති බව වටහා ගන්නා තැනැත්තා නො ලැබෙන දේ ප්‍රාර්ථනා කොට අනවශ්‍ය දුකක් සිත තුළ ඇති කර ගන්නේ ද නැහැ. වයසට පත්වන ස්වභාවය ඇති සත්ත්වයා වයසට පත් නොවී සිටීමේ කැමැත්ත ඇති කරගෙන සිටින තාක් දුකට පත්වෙනවා. එලෙසින් ලෙඩවීම, මරණය, වෙනස්වීම, ගෙවීයාම, ස්වභාවය කරගෙන සිටින සත්ත්වයා ඒ තත්ත්වය යැයි සිතා අල්වා ගෙන සිටිනතාක් කල් දුක ම උරුම කර ගන්නවා.

අප විසින්ම ගොඩනඟා ගනු ලබන මේ දුකින් නිදහස්වීමට ඇති එකම මඟ වන්නේ අප බුදුපියාණන් වහන්සේ විසින් පෙන්වා දුන් පරිදි අනිත්‍ය ධර්මතාව ගැන මනා ලෙස දැනගෙන කටයුතු කිරීම යි. විශ්වයේ ඇති නිත්‍ය වූ ධර්මතාව අනිත්‍යතාව යි. වෙනස්වන ලෝකයේ නොවෙනස් වන එක ම දෙය වෙනස්වීම යි. එය ලෝක ස්වභාවයයි. ලෝකයේ ඇති මේ එකම නිත්‍ය ස්වභාවය තේරුම් ගන්නේ නැති බොහෝ දෙනා නිරන්තරයෙන් වෙනස් වෙන දේ, නො වෙනස්ව පවත්වා ගන්නට යාම තුළ දුකට පත්වෙනවා. මේ වෙනස නිසි ලෙසින් අවබෝධ කර ගන්නා තැනැත්තා වෙනස් වෙන දේ වෙනස් වෙන බව මනා ලෙස දැනගෙන ඒවා පරිහරණය කරනවා.

ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නම් වූ ඉන්ද්‍රියයනට ගෝචරවන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතිවිලි යන මේ ධර්මතා සියල්ල ද සෑම දා එකම ආකාරයෙන් පවතින්නේ නැති බව අප විසින් මැනැවින් අවබෝධ කර ගත යුතුයි. ඒ අවබෝධයෙන් කටයුතු කරන තැනැත්තා ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැන ගත්තා වෙනවා. යමක් වෙනස්වීමේ දී ඇති පීඩාකාරි ස්වභාවයක් වේ නම්, එය ආවේණික වූ දුකකි. බොහෝ දෙනා විඳින්නේ ආවේණික වූ දුකට වඩා තමන් විසින් ගොඩනඟා ගනු ලබන දුකකි.

නො වෙනස්වීම

වෙනස් වන දේ නො වෙනස්ව පවත්වා ගන්නට උත්සාහ කරනුයේ අප ම ය. වෙනස් වන දේ වෙනස් වෙන්නට එපා යැයි ඇලෙන්නේ ද අප ම ය. එසේ ඇලුණූ දේ වෙනස් වූ විට දුක දැනෙන්නේ ද අපට ම ය. ඒ දුක ඇති වූයේ වෙනස් වූ නිසා නොව වෙනස් වෙන දේ නොවෙනස් ව තබා ගැනීමට මනසින් ඇති කර ගත් බැඳීම නිසා ය. ඒ දුක ඇති කර ගන්නේ අප විසින් ම ය. එසේනම් එවිට වගකිව යුත්තේ ද අප ම ය. එය නැති කර ගැනීමට හැකියාව ඇත්තේ ද අපට ම ය. එබැවින් ඒ දුකින් මිදීමට නම්, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමට හිත හුරු කර ගන්න. කළ යුතු දේ එයයි. දැනගතයුතු දේ වන්නේ ලොව ඇති සියලු දේ අනිත්‍ය බවයි. ඒ අනුව ඔබ විසින් මේ ලොව ඇති දැන ගත යුතු ම දේ වන අනිත්‍යතාව දැනගත් පසු, නුවණින් දැකගත් පසු, කළ යුතු දේ වන්නේ ඇලෙන, ගැටෙන, මුලාවන අරමුණු ඇති ලොවක නො ඇළී, නො ගැටී, නො මුළාව අරමුණු පරිහරණය කිරීම යි.

දැනගත යුතු දේ කුමක් ද? බුදුරජාණන් වහන්සේ අපට කිසිදු අවස්ථාවක සම්මත ලෝකයෙන් පලා යන්නට යැයි දේශනා කර නැහැ. මේ ලෝකයේ ජීවත් වන අපට සම්මත ලෝකයෙන් පලායාමක් හෝ ස්වභාව ධර්මයට විරුද්ධව කටයුතු කිරීමක් සිදුකළ හැකි නොවේ. එසේ වූයේ නමුදු මිනිසුන් වන අප ලෝකයේ පවතින දේ නිසි කළමනාකරණයකින් යුක්තව අපගේ අවශ්‍යතාව පරිදි පරිහරණය කළ යුතු වෙනවා. ලෝකය විසින් හෙවත් ස්වභාව ධර්මය විසින් අපගේ පැවැත්මට ම දායාද කරන ලද දේ තෘෂ්ණාවක් හෝ උපාදානයක් නැතිව පරිහරණය කිරීමට අප පුරුදු පුහුණු වියයුතු වෙනවා. ලෝකය කෙරෙහි වන තෘෂ්ණාව හා උපාදානය ඇතිවන්නේ ම තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට යාම තුළයි.