Print this Article


සතිපට්ඨාන භාවනාව 57: සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා දිට්ඨිය මූලික කරගන්න

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය:

සම්මා දිට්ඨිය මූලික කරගන්න

බුදුසරණ පුවත්පත මගින් දිගු කලක සිට ම සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් භාවනා කර්මස්ථාන රාශියක් ඉගෙන ගත්තා. කර්මස්ථාන යනු අරමුණු වෙයි. කායානුපස්සනාවේ ප්‍රධාන කර්මස්ථාන දාහතරක් ද, වේදනානුපස්සනාවේ කර්මස්ථාන එකක් වශයෙන් වේදනාව බලන ක්‍රමයත්, චිත්තානුපස්සනාවේ සිත අනුව බැලීමට දාසය ක්‍රමයක් ද, ධම්මානුපස්සනාවෙන් දීර්ඝ විස්තරයක් ඉගෙන ගත් අතර, ස්කන්ධ විදර්ශනාව, නීවරණ විදර්ශනාව, ආයතන විදර්ශනාව, බොජ්ඣංග විදර්ශනාව , ආර්ය සත්‍ය විදර්ශනාව ආදිය ද එයට අයත් වෙනවා.

භාවනා පාඩම් අනුව අසීරු කොටසක් දිගට ම සටහන් කළා. මේවා හොඳින් බලා, තේරුම් ගත යුතු යි. එවිට තමන්ට ධර්මය පිළිබඳ විශාල දැනුමක් ලැබෙන අතර ඒ දැනුම මෙපමණයි යනුවෙන් කිසිවෙකුටත් කිව නො හැකි යි. එතරම් ම ප්‍රබලයි මෙහි සඳහන් කරන ධර්ම කොටස්.

දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද , භාවනාවට ගන්නා ක්‍රමය ද සඳහන් කළා. ආර්ය සත්‍ය විදර්ශනාවෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය ගැන, නිර්වාණය මෙනෙහි කිරීම ගැන දීර්ඝ විස්තරයක් කරන්නට යෙදුණා. මාර්ග සත්‍ය යනු නිවනට යන මග වෙයි. එය බොහොම හොඳින් තේරුම් බේරුම් කරගත යුතු යි. එවිට පැහැදිලිව යන ගමන නිවන දෙසට යන්නට පුළුවන්කම තිබෙනවා. නිර්වාණය නම් තණ්හාවෙන් නිදහස් වීම තේරුම වෙයි.

මහ රහතන් වහන්සේ සම්පූර්ණයෙන් ම තණ්හාව නැති කළා. උන්වහන්සේ නැවත නූපදින අතර අනාගාමී උතුමන් බඹලොව දී පිරිනිවන් පායි. සකදාගාමී උතුමන් වරක් මනු ලොවට පැමිණෙන අතර, සෝවාන් උතුමන් වාර හතක් උපත ලබයි. ඇතැම් විට භව දෙක , තුනක් වෙන්නටත් පුළුවන්. ඊට මෙහා ජීවත්වන සියලුම දෙනා නැවත , නැවත උපත ලබයි. ජාති, ආගම්, භේද, වංශ කිසිවක් නැහැ. මැසි , මදුරුවන් පවා මරණයත් සමඟ ම නැවත උපත ලබයි. උපදින ස්ථාන තිස් එකක් වෙයි. සතර අපාය , මනු ලොව, දිව්‍ය ලෝක හය, රූපාවචර බ්‍රහ්ම ලෝක දාසය, අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර වෙයි. මේ ටිකේ සෑම සත්ත්වයෙක්ම උපත ලබයි. මරණයත් සමඟ නැවත උපත ලබන බවත් අන්තරා භවයක් නොමැති බවත් විශේෂයෙන් සිහි තබා ගත යුතු යි.

මාර්ග සත්‍යයේ පළමුවැන්න සම්මා දිට්ඨි නම් වෙයි. නිවැරැදි ප්‍රඥාව, උතුම් ප්‍රඥාව , යහපත් ප්‍රඥාව, ශ්‍රේෂ්ඨ ප්‍රඥාව ආදී වශයෙන් අර්ථ රාශියක් ‘සම්මා’ වදනට ගෙන හැර දැක්විය හැකි යි. මාර්ග සත්‍ය දිගටම නිවනට ගමන් කරන මාර්ගයක්. මාර්ග සත්‍යයෙහි බෝධි පාක්ෂික ධර්මයන්ට අනුව සම්මා දිටිඨියටත් අන්තර්ගතව වීමංස ඍද්ධිපාද, පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤා බල, ධම්ම විචය සම්බොජ්ඣංගය ආදී කොටස් ද අන්තර්ගත වෙයි. නුවණට නම් රාශියක් වෙයි. ‘මම සම්මා දිට්ඨිය දියුණු කරමි, මම නුවණින් වැඩ කටයුතු කරමි’, යනුවෙන් නිබඳව ම සිතන විට මාර්ග සත්‍ය භාවනාවට ගන්න පුළුවන්. හොඳට සිහි නුවණ තිබෙන්නට අවශ්‍ය අවස්ථාවක්. සිහි නුවණ හොඳින් තිබේනම්, බණ , භාවනා කටයුතු සාර්ථකව ගෙනි යන්නට පුළුවන්.

චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ලක්ෂණයන් මෙනෙහි කළා. එලෙස මෙනෙහි කරන නුවණ සම්මා දිට්ඨි නම් වෙයි. එවිට සෑම දෙයක් ම දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ වෙන කිසිවක් නොව, සම්මා දිට්ඨිය යි. ඒ සම්මා දිට්ඨිය සැමටම පිහිටන්නේ නොමැති අතර කලාතුරකින් දාන, මාන , පින්කම් වලදී පිහිටයි. ආර්ය උතුමන්ට නිරන්තරයෙන් සම්මා දිට්ඨිය තිබෙයි. පෘතග්ජන අප සිහි නුවණින් කටයුතු කර, සම්මා දිට්ඨිය උපදවා ගත යුතු යි. එසේනම්, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා සම්මා දිට්ඨිය ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය වෙයි. සම්මා දිට්ඨි නමැති උතුම් ප්‍රඥාව තිබුණොත් අනෙක් සියලුම පාරමිතාවෝ, බෝධි පාක්ෂික ධර්ම දියුණු, තියුණු කරගන්නට පුළුවන්. අමෝහය හෙවත් ප්‍රඥාව හොඳින් වැඩෙයි. මේ ගැන කවුරුත් හොඳින් දියුණු තියුණු කර, ගුණ ධර්ම ද හොඳින් වර්ධනය කරගනු ලැබුවොත්, තම නුවණ හොඳට දියුණු කරගන්න පුළුවන්. එවිට සම්මා දිට්ඨිය කියනු ලබන අවස්ථාව විශේෂ අවස්ථාවක් ලෙස තථාගත ධර්මයේ පැහැදිලි කරනවා.

එසේනම්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් සියලුම උතුමෝ නිවන දෙසටයි ගමන් කළේ. නිර්වාණය දෙසට ගමන් කළා. නිවන අවබෝධ කළා. උන්වහන්සේලාට කුමන කරදරයක්වත් වුණේ නැහැ. සම්මා දිට්ඨියෙන්ම යි, ගමන් කළේ. බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ නිවැරැදි ප්‍රඥාවෙන් සියලු කටයුතු සිදු කළා. ඒ නිසා උන්වහන්සේලාට නිවන දෙසට යන්න පුළුන්කම ලැබුණා. කර්ම ඵල විශ්වාස කරන්නේ සම්මා දිට්ඨිය යි. එසේම ධ්‍යාන, මාර්ග, ඵල, විදර්ශනා ඥාන ආදිය ලබන්නේ සම්මා දිට්ඨිය නිස යි. එසේනම් සම්මා දිට්ඨිය නැතිව කුමන දෙයක්වත් ලබන්න පුළුවන්කමක් නැහැ.

දාන, ශීල ආදී පින්කම් , සීල, සමාධි, ප්‍රඥා , ගුණ ආදියට ද, දාන පාරමිතා, ශීල පාරමිතා, ආදිය සියල්ලටම ද ප්‍රධාන වන්නේ සම්මා දිට්ඨිය යි. එසේනම්, භාවනාවේ දී ‘මම සම්මා දිට්ඨිය දියුණු කරන්නෙමි, සම්මා දිට්ඨියෙන් කටයුතු කරන්නෙමි, සම්මා දිට්ඨියෙන් මම නිවන දක්වා ම කටයුතු කරන්නෙමි’ යනුවෙන් නුවණින් වැඩ කටයුතු කරනවා නම් ඒ අයට මාර්ග සත්‍යයේ පළමු දේ වන සම්මා දිට්ඨිය ලැබෙනවා. එවිට සම්මා දිට්ඨිය දුක පිළිබඳව දැන ගැනීම , සමුදය පිළිබඳව දැන ගැනීම, නිරෝධය පිළිබඳව දැන ගැනීම, මාර්ග ප්‍රතිපදාව පිළිබඳව දැන ගැනීම යනුවෙන් අවස්ථා හතරක් තිබුණා. මේවා හොඳින් අවබෝධ කර ගැනීම විශේෂයෙන් සම්මා දිට්ඨිය පිළිබඳව අවබෝධ කරගත යුතු වන්නේ. මේවා හොඳින් කොයි කවුරුත් ඉගෙන ගත්තොත්, මේවා වැඩිවෙන්නේ නැහැ. තමන්ගේ බණ, භාවනා කටයුතු හොඳින් දියුණු කරන්න පුළුවන්. සෑම භාවනාවකට ම ප්‍රධාන දේ සම්මා දිට්ඨිය යි. ඒ නිසා කවුරුත් සම්මා දිට්ඨිය හොඳින් තේරුම් ගත යුතු අතර එය සෑම අවස්ථාවක ම පහළ නොවන බවත් වටහාගෙන, සම්මා දිට්ඨියම දියුණු තියුණු කර ගැනීම සඳහා මඟ පාදා ගත යුතු යි. එවිට තමන්ට නුවණ ඇති නිසා මේ මාර්ගය පැහැදිලිව ගමන් කරන්න පුළුවන්.

නුවණ දියුණු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ පිළිවෙත් මඟ අපට පැහැදිලි කළා. ඒ නිසා බුදු දහමට අනුව වැඩ කරන සැවොම සතුටු වන්නේ, නිවැරැදි ප්‍රඥාව මුල් කරගෙන සියලු පින් දහම් කරන්නේ කියන කතාව යි. අධ්‍යාපනයට, රැකියාවට, ගමනට බිමනට ආදී සෑම දෙයටම අවශ්‍ය කරන්නේ සිහි නුවණ යි. එසේනම් කවුරුත් මේවා හොඳින් ඉගෙන කියාගෙන සම්මා දිට්ිඨියම පෙරමුණේ තබාගෙන කටයුතු කළොත් වටිනවා. බණ අසන, භාවනා කරන කෙනාටත් ප්‍රධාන වන්නේ සම්මා දිට්ඨිය යි. සම්මා දිට්ඨිය නැතිනම් කුමන දෙයක්වත් සිදු කරන්නට බැහැ. මේ ගැන හොඳින් කල්පනාවෙන් සිහි නුවණ, බෝධි පාක්ෂික ධර්ම ද හොඳින් දියුණුවෙන් තමන්ගේ නුවණ හොඳට දියුණු තියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ ගැන හොඳට වටහාගෙන, ධර්මය හොඳින් අවබෝධ කර ගැනීම සඳහා තම නුවණ පාවිච්චියෙන් වැඩ කටයුතු කළ යුතු යි.

මුල සිටම කියා දුන් භාවනාව කියවන්නට , ඒ භාවනාව දියුණු කරන්නට අත්‍යවශ්‍ය ම දේ වන්නේ නුවණ යි, ප්‍රඥාව යි. ඒ නිසා ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා උත්සාහවත් විය යුතු යි. එවිට තමන්ට නිවන් මඟ ගමන් කරන්න අපහසු නැහැ. නිවනට යන මඟ පැහැදිලි යි. ඒ පැහැදිලි මඟ යන්නට පන්සිල් රකින්න. අටසිල් දියුණු කරන්න, බණ අසන්නට, භාවනා කරන්නට අවශ්‍යය යි. නුවණින් වැඩ කර සියලු කටයුතු කළොත්, මාර්ග සත්‍යයේ ගමන් කරනවා. දුක්ඛ, සමුදය, නිරෝධ , සත්‍ය තුන අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. අනන්ත බුද්ධාදී උතුමෝ මේවා අපට කියා දුන් නිසා පැහැදිලිව මේ මඟ යාමට පුළුවන්කම තිබෙන්නේ. මෙලෙස සීලාදී ප්‍රතිපත්ති ද හොඳින් දියුණු කිරීමෙන් නිවන් මඟ යාම අපහසු නැහැ. සිහි නුවණ තිබේනම්, නිවන් මඟ ගමන් කිරීම අපහසු නැහැ.

සතර ඉරියව්වම සිහි නුවණින් ගත කරන්න යන උපදේශයෙනුත් කියන්නේ සම්මා දිට්ඨිය යනුවෙනි. මේවා හොඳට දැන කියාගෙන බුද්ධාදී උතුමෝ ගමන් ගත් මඟ මා මේ ගමන් කරන්නේ... යනුවෙන් නිබඳව ම සිතිය යුතු යි. එවිට සම්මා දිට්ඨිය හොඳින් වැඩෙයි. ‘මම සම්මා දිට්ඨිය දියුණු කරන්නෙමි,. යනුවෙන් සිය දහස්වර සිහි නුවණින් මෙනෙහි කරනවිට භාවනාව හොඳින් සිද්ධ කරගෙන යන්නට පුළුවන්. එසේනම්, සැවොම මේ පිළිබඳ හොඳ වැටහීමකින් තම ගුණ සම්පත් ද වැඩි දියුණු කර , බුදු දහම යනු කවරක් ද? යනුවෙන් වටහාගෙන මේ භාවනා ක්‍රමයත් හොඳින් දියුණුවෙන් බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යයත් අවබෝධ කරගෙන අපගේ ද කරදර , බාධාක , සියල්ල යටපත් කරගෙන මාර්ග සත්‍ය ඔස්සේ ම ගමන් කර, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පිනත් හේතු වාසනා ෙවිවා!