Print this Article


නිම් නැති ගුණ කඳ

නිම් නැති ගුණ කඳ

මාතා පිතූ උපට්ඨානං - පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා - ඒතං මංගල මුත්තමංතී

සියලු ලෝ සතුන් ගේ සිත් නිවාලූ අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලොවට හඳුන්වා දුන් මංගල කරුණු මොනවා ද? යන වග මහා මංගල සූත්‍රයෙන් පෙන්වා වදාළා.

මිනිසුන් අතර පැන නැගුණ මංගල කරුණු මොනවා ද, යන ප්‍රශ්නය දෙවි දේවතාවුන් වහන්සේලා අතරටත් මේ ප්‍රශ්නය පැන නැගුණා. සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි මධ්‍යම රාත්‍රියේ එක් දේවතාවෙක් මුළු ජේතවනාරාමය ඒකාලෝක කරමින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට මංගල කරුණු මොනවාද යන ප්‍රශ්නය පැන නැගුවා.එවිට මංගල කරුණු තිස් අටක් පිළිබඳව පැහැදිලි කර දුන්නා. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මංගල කරුණු තිස් දෙකක් වශයෙන් හා පරලොවට කරුණු හයක් වශයෙන් පැහැදිලි කර වදාළා. පස්වෙනි ගාථාව දෙමාපියන් පිළිබඳව කළ විග්‍රහයක්. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන විට ඉන්දීය භාරතයේ ආගම් වශයෙන් මහා රාශියක් තිබුණා. විවිධාකාර ඇදහිලි දර්ශන තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ ඇති යථා ස්වභාවය අවබෝධ කරගත්තා. හේතුවක ප්‍රතිඵලය හොයා ගත්තා. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ‘හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති’ ඇතිවීම, කලක් පැවතීම, නැතිවී යාම, පටිච්ච සමුප්පාදය දේශනා කළ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය දේශනා කළ බුදුරජාණන් වහන්සේ තරම්. මව්පියන් පිළිබඳව කතා කළ, වර්ණනා කළ, අගය කළ ශාස්තෘවරයෙක් නොමැති තරම්. එපමණක් නොවෙයි. අම්මට, තාත්තට සලකන ආකාරය පිළිබඳව අපට උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්නුම් කළා. කාලය, දීපය, දේශය, කුලය, මව යන පස් මහ බැලුම් බලා එදා සුද්ධෝධන මහ රජතුමාට සහ මහා මායා දේවියට දාව උපන් සිද්ධාර්ථ කුමරු, රම්‍ය, සුරම්‍ය, සුබ යන මාළිගා තුනේ සුඛෝපභෝගීව හැදී වැඩී වයස අවුරුදු දාසයේ දී විවාහ දිවියට පිවිසී, ලෙඩෙක්, මහල්ලෙක්, මළමිනියක්, පැවිදි රුවක්, දැක කළකිරී, සක්විති රජකම, යශෝධරා දේවිය, රාහුල කුමරු, රම්‍ය, සුරම්‍ය, සුබ යන මාළිගා තුන රන්, රිදී, මුතු, මැණික් ඉවත දැමුවා. එදා ඇසළ පුර පසළොස්වක පොහෝ දින ගිහි ගෙයින් නික්ම හිස මුඩුකොට කසාවත පොරවාගෙන, වනේ, ගමේ, ජලේ, තලේ වැඩම කරමින්, පාත්‍රය එල්ලාගෙන ගෙයක් ගෙයක් ගානේ ඇවිද කුසගින්න නිවාගෙන, මේ විශ්වයේ ඇති යථා ස්වභාවය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වය ලබාගෙන තුන්ලෝකයක් ආලෝකවත් කරන්න, බුදු පුතෙක් ලොවට බිහි කළ මගෙ අම්මා කොහෙද ඉපදිලා ඉන්නෙ කියලා බැලුවා. බුද්ධ ඥානයට දැක්කා තව්තිිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය රාජයෙක්ව පහළ වී බව. ඇසළ මස පුර පසළොස්වක පොහෝදින යමක මහා ප්‍රාතිහාර්යයක් පා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කර (විජම්බණ) අභිධර්මය දේශනා කොට ආත්ම (500) පන්සියයක් මව් පදවිය දැරූ මගෙ අම්මේ, බීපු කිරිවල ණය ඔන්න ගෙව්වා. යනුවෙන් බුදු කෙනෙක් දෙමාපියන්ට සැලකු ආකාරයයි ඒ. පුහුදුන් අප මොන ආකාරයටද සැලකිය යුත්තේ. මව්පියන් දරුවන්ට කරුණු පහකින් යුතුකම් ඉටු කළ යුතුයි. 1. පාපයෙන් වැළකීම 2. යහපතෙහි පිහිටුවීම 3. ශිල්ප ශාස්ත්‍ර උගැන්වීම 4. සුදුසු කල්හි ආවාහ විවාහ කර දීම 5. තම දායාදය පවරා දීම යන කරුණු ඉටු කරයි. දරුවන්ගෙන් ඉටුවිය යුතු කාරණා පස 1. මව්පියන් පෝෂණය කිරීම 2. මව්පියන් ගේ කටයුතු ඉටු කිරීම, 3. කුල වංශය රැකීම, 4. මව්පියන්ගෙන් ලැබෙන දායාදය ආරක්ෂා කිරීම, 5. මව්පියන් මිය ගිය පසු ඔවුන්ට පින් පෙත් පැමිණවීම යන කරුණු ඉටු කළ යුතුයි. ගෙදර බුදුන් මව්පියන් ය. දෙමාපියන් තුළ දරු සෙනෙහස, සම, සිවි, මස්, නහර, ඇට, ඇටමිදුලු, විනිවිද ගොස් හදවතෙහි දාරක සෙනෙහස පවතිනවා. පළමු ගුරවරයා අම්මයි, තාත්තයි. පූර්වාචාර්යයන් වූ අම්මට, තාත්තට කෑම්, බීම්, ඇඳුම්, පැළඳුම් බෙහෙත් ආදිය සැපයිය යුතුයි. අප ශාන්ති නායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ, එම නුවර දුප්පත් පවුලක් සිටියා. මේ දුප්පත් අම්මටයි තාත්තටයි, හිටියේ එකම පුතයි. මේ දරුවා බුදුරදුන්ගෙන් බණ අසා සසර කළකිරිලා මහණවීමට දෙමාපියන්ගෙන් අවසර ඉල්ලුවා. නමුත් මව්පියන්ගෙන් ඊට අවසර ලැබුණේ නැහැ. බොහොම ආයාසයෙන් අවසර ලබා මහණ වුණා. ටික කලක දී පියා මිය ගියා. තම මෑණියන් තනි වුණා. වයසයි, වයෝවෘද්ධයි, ඇස් දෙකම අන්ධ වුණා. කර කියා ගන්න දෙයක් නැහැ. නෑදෑයින් කිසිම කෙනෙක් නැහැ.

හිටියේ තම එකම පුතා පමණයි. මහණ දම් පුරණ මේ හාමුදුරුවන් වහන්සේට මේ බව ආරංචි වුණා. තම මෑණියන් සිටින නිවස අසල කැලෑවක කුටියක් සදා එහි වැඩ වෙසෙමින් පිණ්ඩපාත කරමින් පළමු කොට තම මව නහවා කෑම බීම ලබා දී තමන් දානය වළඳන්නේ තම මෑණියන්ගේ කටයුතු අවසන් කරලයි. මේ ආකාරයට දිනපතාම මවට උවටැන් කරමින් තමා මහණ දම් පුරන්න වුණා. මේ දුටු අනෙක් භික්ෂූන් වහන්සේලා දොස් පවරන්න වුණා. ගෙවල් ගානේ ඇවිදිමින් පිණ්ඩපාත කරලා අන් අය පෝෂණය කරනවා ආදී වශයෙන් දොස් පැවරුවා. මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට දන්වා ශාසනයෙන් පළවාහරින්න අපි කටයුතු කරමු යනුවෙන් ජේතවනාරාමයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේට දැන්වූවා. මේ කරුණු අසා බුදුරදුන් සැරියුත්, මුගලන් අගසව් දෙනම මහරහතන් වහන්සේලා රැස් කොට දම් සභා මණ්ඩපයට ඒක රාශි වුණා.

බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේගෙන් මේ කාරණය සැබෑවක්ද ැයි විමසා සිටියා. මේ හාමුදුරුවන් පිළිතුරු දෙනවා. මාගේ මහලු මව අන්ධයි. පියා මිය පරලොව ගියා. මට සහෝදර සහෝදරියන්, ඥාතීන් කිසිම කෙනෙක් නැහැ. අම්මට සලකන්න ඉන්නේ මා පමණයි. මෙය වරදක් නම් මම සිවුරු හැර ගොස් අම්මට සලකන්නම්. අම්මා නැති කාලෙක දී මම නැවත පැවිදි වෙන්නම් යනුවෙන් වදාළා. බුදුරජාණන් වහන්සේ සාධු, සාධු, සාධු හඬ තුන් වතාවක් ප්‍රකාශ කොට පිණ්ඩපාත කරමින් තම මව්පියන් පෝෂණය කරන්න අනුදැන වදාළා. පසු කලකදී මේ හාමුදුරුවන් වහන්සේ උතුම් රහත්භාවය ලබා සසර ගමන නිමා කළා. දස මසක් කුස තුළ රුවාගෙන, ඇඟේ ලේ කිරි බවට පත් කරමින්, කුසගින්න නිවාලමින් අපමණ දුක් කන්දක් දරාගෙන, සතර බ්‍රහ්ම විහරණය උපදවාගෙන මෙලොවට බිහිකළ අම්මාට සලකන්න, අමතක කරන්නට එපා. ඔබත් ගෙදර බුදුන් ලෙස සලකන අම්මා, තාත්තා පණමෙන් රැක ගන්න උත්සාහ වත් වන්න.