Print this Article


ඒහි පස්සික 19: බුදුගුණ මන්තරය

බුදුගුණ මන්තරය

පංචශීලය ආරක්ෂා කරන තැනැත්තාට මහා පින් ගොඩක් අයිති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා සමාදන් වන පංචශීලය ආරක්ෂා කරන තැනැත්තා වෙත සඟ සතු දානයක් පූජා කරනවාට වඩා ආනිශංස ලැබෙන බව. එසේ නම්, අප බෝධීන් වහන්සේ වන්දනා කරන්නට යා යුත්තේ කෙසේද? නිවසේ දී අඛන්ඩව සත් දිනක් වත් පන්සිල් ආරක්ෂා කළ යුතු යි.

සමහර විට කෙනෙකුට කරදර පැමිණි වේලාවට දිනපතා සත් දවසක් බෝධි පූජා පින්කම යොදාගන්නා අවස්ථා තිබෙනවා. එහෙම වෙලාවට හොඳින් පේ වී බෝධි වන්දනාවට යා යුතු යි. පේවී යාම නම්, හොඳින් සූදානම් වී යාම යි. එසේ නම් බෝධි පූජා පින්කම කරන්නට පෙර ඒ සඳහා පේ වීම අවශ්‍යයි. එසේ පේවීමේ දී කය පමණක් පිරිසුදු කිරීම ප්‍රමාණවත් වන්නේ නෑ. සිතත් පිරිසුදු කර ගත යුතුමයි. එසේ නම් නිවසේ සියලු දෙනා බෝධි පුජාවට යාමට පෙර සිල් ආරක්ෂා කළ යුතුයි.

සමහර අයට අපල කියලා අපට අහන්නට ලැබෙනවා. ග්‍රහදෝස ආදී අපල සොයා ගන්නේ කෙසේද? හඳහන බලා එසේ කියනවා. හඳහන කවදාද ලියුවේ. උපන් වෙලාවට නේ හඳහන ලිව්වේ. එහෙම නම් ඒ අපල අරගෙන ඇවිත් තිබෙන්නෙ කවදා සිටද? පෙර භවයේ සිටයි. ඒ පෙර භවයේ සිට එන අපල කියා අප ව්‍යවහාර කරන වචන කියන්නේ කර්මය ට ම යි. පඩිසන් දීම්, පෙර භවයේ සිට ගෙන ආ කර්මය, අපල කියා සඳහන් කරනවා නම් පෙර කර්ම කියන සංකල්පය අප ළඟ තිබිය යුතු යි.

ජීවිතයේ සමහර කාලවල දී නොහිතන තරමේ මහා කරදර ගොඩක් පැමිණෙනවා. පෙර කරපු ලොකු වරදකට පඩිසන්දීමක් වෙන්නයි යන්නෙ කියල තේරුම් ගත යුතුයි. එසේ තේරුම් ගත් පසු අප කුමක්ද කරන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කර තිබෙන ආකාරයට සීලය ආරක්ෂා කර හොඳින් පේ වී, සූදානම් වී බෝධි පූජාවට යා යුතුයි. නිවසේ සිටින තමන්ගෙ දරුවාට අපල පැමිණෙන විට ආදරණීය අම්මා, තාත්තා එසේ කළ යුතු යි. මුට්ටි සොයමින්, තහඩු, සොයමින් , වැලිරත් කරමින් ආදී දේ නොවෙයි කළ යුත්තේ.

කයත්, සිතත් පිරිසුදුව තබා ගනිමින් බෝධීන් වහන්සේ ළඟට ගොස් ශ්‍රද්ධාවෙන් නෙළාගත් මල් පහන් ආදිය පූජා කරමින්, පැන් කළ ටික පිරිසුදුව පෙරා තබාගෙන ශ්‍රද්ධාවෙන් බුද්ධ වන්දනාව කළ යුතු යි.

බුද්ධ වන්දනාව සිදුකර බෝධීන් වහන්සේට පැන් කළ පූජා කරන අතරේ බුදුරජාණන් වහන්සේගේ පා දෝවනය සිදු කරනවා යැයි යන අදහස හිතේ තබා ගනිමින් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ පා දෝවනය කළේ යම් සේ ද? මා ද බුදුගුණ ම මෙනෙහි කරමින් මේ කටයුතු සිදු කරනවා. යන අදහසින් පිරිසුදු චේතනාවෙන් එසේ සිදු කළ යුතු යි.

සෙත් ශාන්ති කරන අය අතරේ මේ සියල්ල බුදු ගුණ බලයෙන් යැයි කියමින් සමහර අය රවටනවා. සමහර අය හිත රවටාගත යුතු නිසා කියනවා බුදුගුණ බලයෙන් සියලු දේ කරන බව. බුදුගුණ බලයෙන් කළ යුත්තේ තහඩු රත් කිරීම ද? නැතිනම් හිත සුවඳවත් කිරීම ද? බුදුගුණ මන්තරේ තිබිය යුත්තේ තමාගේ සිත තුළයි. තැන තැන මන්තර ලියා කොළවල ලියා සාර්ථක වන්නේ නෑ.

පිරිත් පොත් වහන්සේ තුළ තැන්පත් කර තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සූත්‍ර ධර්ම.

බුදුගුණ මන්තරයක් තිබෙනවා. එය ජප කළ යුතුයි. මේ බුදුගුණ මන්තරය නම් ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථී’ මෙයින් ගුණ ලබන්නේ ඒ ගුණ ගැන පැහැදී වාර ගණනක් සිහිය උපදවාගෙන දිනකට වාර ගණනක් කිව යුතුයි .