Print this Article


වසර දොළසක් සපුරන බෞද්ධයා රූපවාහිනිය

වසර දොළසක් සපුරන බෞද්ධයා රූපවාහිනිය

බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක පිරිස අරභයා දේශනා කොට වදාළේ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, සුඛාය.....’ ජනතාවගේ හිතසුව පිණිස ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුත්තෙහි නිරත වන ලෙස ය.

උතුම් බුදු වදන පෙර දැරි කර ගනිමින් මීට වසර 12 කට පෙර බෞද්ධයා රූපවාහිනී නාලිකාව 2007 ජුනි මස 30 වනදා ආරම්භ කෙරිණි. එම මාධ්‍ය සත්කාරයට වසර 12 ක් සම්පූර්ණ වන දිනයේ එහි පසු විපරමක් හා අනාගත සැලසුම් පිළිබඳව සුපින්වත් ඔබ දැනුම්වත් කරන්නට මෙම ලිපිය මඟින් බලාපොරොත්තු වෙමු.

අපවත් වී වදාළ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී විශ්ව කීර්ති ශ්‍රී ශාසන ශෝබන දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සංක්ලපයක් මත බෞද්ධයා නාලිකාව ආරම්භ කෙරුණි. ඒ සඳහා එවකට සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමිපාණන් වහන්සේගෙන් ලැබුණේ නොමඳ අනුශාසකත්වයකි. එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ මූලිකත්වය ඉතා ඕනෑකමින් සිහිපත් කරනු ලැබේ. එහිදී අපට ආරම්භ කිරීමට වැය වන මූලික වියදම ඉතා අධික හෙයින් එය දැරීමට හැකිවන්නේ කෙසේදැයි සිතා සිටින අවස්ථාවක අන්‍යාගමිකයෙක් වුවද, බෞද්ධ දර්ශනයේ තිබෙන වටිනාකම මැනවින් තේරුම්ගත් මොහන්දන් කනකේ මහතා ඒ සඳහා අවශ්‍ය වන ධනය වැය කරන්නට නිස්සරණාධ්‍යාශයෙන් ඉදිරිපත් වීම මහත් භාග්‍යයකි. සියල්ල සූදානම්ව එළැඹුණු සුබ මොහොතින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් නාලිකාව ආරම්භ කෙරිණි. ඒ වෙනුවෙන් දෙස් විදෙස් ගිහි පැවිදි දෙපාර්ශ්වය ම පැමිණීම අපට මහත් ආශිර්වාදයක් බවට පත් විය. මෙලෙස ඉතා සාර්ථකව ආරම්භ කළ නාලිකාව දිනෙන් දින දියුණුවෙමින් ඉදිරියට පැමිණෙන්නට විය. ඒ සඳහා ප්‍රබල සාධකය බවට පත්වන්නේ සුපින්වත් සැදැහැති නොමද දායකත්වය හා ඔබ අප හ බැඳුනු අධ්‍යාත්මික ඥාතීත්වය යි. මෙසේ දිනෙන් දින දියුණුවට පත්වන නාලිකාවට 2015 වර්ෂයේ මැයි 15 වන දා බෞද්ධයා ගුවන් විදුලිය එකතු වන අතර එදිනම රූපවාහිනී නාලිකාව යූ.එච්.එෆ්. 53 සංඛ්‍යාතය ඔස්සේ බස්නාහිර පළාතට සාමාන්‍ය නාලිකාවක් ලෙස නරඹන්නට අවස්ථාව උදා විය. 2016 වර්ෂයේ සම්බෝධි සදහම් සඟරාවත් මාධ්‍ය ජාලයට ඒක රාශි විය. මෙම සන්නිවේදන සත්කාරය මෙලෙස දියත් කරන අතරවාරයේ ම අසදෘශ මහා පින්කම් රාශියක් ද සංවිධානය වූහ. මියුගුණ සෑ වන්දනාව, සෝමවතී සෑ රද වන්දනාව, මහ බෝ මහ සෑ වන්දනාව, සොළොස්මස්ථාන වන්දනා යනාදී පින්කම් ද විදේශීය වශයෙන් තායිලන්තය, ඉන්දියාව, බුරුමය යනාදී රටවලත් පින්කම් සංවිධානය කිරීමට හැකියාව ලද අතර මෙතෙක් මෙරට රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ විදෙස් රටක සිට ගෙන ආ දීර්ඝතම සජීවී වැඩසටහන විකාශය කරන්නට අපට හැකියාව ලැබුණි. ඒ සෑම මොහොතකම ලක්ෂ සංඛ්‍යාත සැදැහැති ඔබගේ දායකත්වය අපට ශක්තියක් විය. අභය දානය, ප්‍රජා සත්කාරක වැඩසටහන්, දරු දිරි සහන වැඩසටහන හා විවිධ ව්‍යසනයන්හිදී රටේ කොතැනක වුවත් එයට අවශ්‍ය කරන සහාය ලබා දීමට අප කැප වී සිටිති. මෙලෙස දස වසරක් සම්පූර්ණ වීමේ දී නොසිතූ ලෙස දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම අපට දැරිය නොහැකි පාඩුවක් විය. අපට අප අසරණ බව දැඩිව දැනෙන්නට විය. අපට නැගිට ගන්නට නොහැකිව, මානසිකව පීඩාවට පත්ව සිටින විට අපට නැවත නැගිටීමට හැකියාව ලබා දුන්නේ ආශිර්වාද කළේ පින්වත් අපගේ මහා සංඝරත්නය හා දායක සුපින්වත් ඔබ යි. එයට කදිම නිදසුන බවට පත් වන්නේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කමේදී ලක්ෂ 10 කට අධික පිරිසක් අපත් සමඟ එකතු වීම යි. දැනට අපට අවුරුදු 12 කි. වර්තමානයේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, වෛද්‍ය හර්ෂ අලස්, සරත් එන් සිල්වා, වසන්ත කරන්නාගොඩ, සුරනිමල සේනාරත්න හා දිලිප් ජයවීර යන මහත්වරු ප්‍රමුඛ වියත් හා ශ්‍රද්ධාවන්ත පාලන මණ්ඩලයක් මඟින් සැදුම්ලත් මනා කළමණාකාරීත්වයකින් පෙරටත් වඩා හොඳින් හා සැලසුමකට අනුව අප කටයුතු කරගෙන යනු ලැබේ.

වත්මන් අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහතාගේ හා මූල්‍ය හා සුබ සාධන අධ්‍යක්ෂ මහේෂ් අල්විස් මහතා හා වැඩසටහන් උපදේශක නීතිඥ ශෂික ජයතිලක මහතා මෙන්ම බෞද්ධයා ගුවන් විදුලි අධ්‍යක්ෂ සහන් වනිගරත්න මහතා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම හා උනන්දුව මේ ගමනට මහත් ශක්තියකි. දිනෙන් දින ඔබගේ සුපින්වත් ආශිර්වාදය මැද කාලෝචිත හා අධ්‍යාත්මික ගුණ වඩා වර්ධනය වන වැඩසටහන් මෙන්ම, ශ්‍රී සම්බුද්ධ ශාසනයට පළිබෝධකයක් බවට පත් වන දෑ පිළිබඳව ඔබ දැනුවත් කරමින් ඒවා උදෙසා මර්දන ප්‍රඥප්ති සකස් කිරීමට අප විසින් සිදු කරන මහත් සාසන හිතකාමී වැඩ පිළිවෙළකි.

ඒ සඳහා අපට හොඳම උදාහරණයක් බවට පත්වන්නේ ශ්‍රී සද්ධර්ම ත්‍රිපිඨකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ දී අප ලබා දුන් දායකත්ව ය යි.

මෙලෙස ශාසනික හා සමාජීය කාර්යයන් රැසක් දියත් කරමින් වසර 12 ක් පැමිණි අප, ඉදිරියේදීත් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ශ්‍රී සද්ධර්මය ඔබ හට බෙදා දෙන්නට බලාපොරොත්තු වන අතර ඒ සඳහා මහා සංඝරත්නයේ ආශීර්වාදය හා දායකයන් වන සුපින්වත් ඔබගේ නිහතමානී මැදිහත්වීමත් ඉදිරියේදී ද ලබා දෙන මෙන් කාරුණිකව සිහිපත් කරමින් බෞද්ධයා රූපවාහිනිය නිර්මාණය කරමින් සුවහසක් ලෝක සත්ත්වයන්ගේ දහම් පිපාසය නිවාලන්නට මේ අමා දම් දොර විවර කොට අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම නාහිමියන් හට මතු ලොව්තුරා බුදු බව අත් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.