Print this Article


අට තිසකි මංගල : දුදනෝ නොවෙති යහපත්

අට තිසකි මංගල :

දුදනෝ නොවෙති යහපත්

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ලෞකික සහ ලෝකෝත්තර සුවය සඳහා ය. බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් පුද්ගලයාගේ ලෞකික ජීවිතය අමතක නොකළහ.

වඩාත් සාර්ථක ගිහි දිවිපෙවෙතකට අවැසි ධර්ම කාරණාවෝ පෙළ දහමෙහි බොහෝ සෙයින් අන්තර්ගත වෙති.ඒ අතර මංගල සූත්‍රයට හිමි වන්නේ සුවිශේසී ස්ථානයකි.මංගල සූත්‍රය තුළ ධර්ම කාරණා තිස් අටක් ඔස්සේ පුද්ගලයාගේ මෙලොව සහ පරලොව සංවර්ධනය කර ගත යුතු ආකාරය තුන් කල් දක්නා නුවණින් යුක්තව දේශනා කර තිබේ.

මිනිසා යනු සමාජගත සත්වයෙකි.සමාජය සමග ගනු දෙනු කිරීමේ දී පුද්ගලයන්ගේ විවිධ වූ ස්වභාවයන් පිළිබඳව අධ්‍යයනය කිරීම හා දැනගැනීම මිනිසා සතු විය යුතු ය. ඒ මගින් වඩාත් සාර්ථක වූ ගිහි දිවියක් ගත කළ හැකි ය. සාරධර්ම, ගුණධර්ම පිරිහුණු මිනිස් සිත තිරිසන් ලෝකය හා සමාන ය. සාරධර්ම ගුණධර්මයන්ගෙන් හෙබි සමාජය දියුණු ය.පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික හා භෞතික දියුණුව ළගාකර ගත හැක්කේ නීතිරීති මගිනි.ජිවිතයක බාහිරව පැවැති නීතිරීති භෞතික දියුණුව ගෙන එයි.එය ලෞකික ය. එමෙන් ම තාවකාලික ය. අධ්‍යාත්මික දියුණුව සුවපත් ය.ඉන් ජීවිතයට මහත් විපුල ඵල ලැබේ.

මංගල කරුණු තිස් අටෙහි පළමු මංගල කාරණාව ලෙස අසේවනා ච බාලානං යනුවෙන් සඳහන් වේ. මෙහි බාල යනුවෙන් අදහස් වනුයේ වයසින් බාල, ළදරු, කුඩා ළමයින් යන්න නොවේ. සාරධර්ම, ගුණධර්ම හීන කරන,සමාජ සම්මතයන්ට විරුද්ධව ක්‍රියා කරන,මෙලොව යහපත හා පරලොව යහපත පිණිස ක්‍රියා නොකරන,අන් අධ්‍යාත්මික සුවයට බාධා පමුණුවන හීන වූ පාපි වූ පුද්ගලයන් ය. සතුන්ට හිංසා කිරිම,මංකොල්ලකෑම් ආදියෙන් අන්සතු දේ පැහැර ගැනීම,බොරු කීම,බොරු සාක්ෂි දිම,කාමය වරදවා හැසිරීම, සුරාවට ලොල් වීම, විවිධ සූදු ක්‍රියාවනට යොමු වීම, අන් අයට නින්දා අපහාස කිරීම යනාදිය බාලයාගේ පහත් අධම ක්‍රියාවෝ වෙති.

බාලයාගේ ස්වභාවය හා ලක්‍ෂණ මැනවින් හඳුනා ගත හැකි ආකාරය පිළිබඳව අංගුත්තර නිකායේ තික නිපාතයේ මෙසේ දේශනා කළහ.

මහණෙනි, මෙම කාරණාවන්ගෙන් විද්‍යමාන වන පුද්ගලයා බාලයා යයි දත යුත්තාහු ය. එය කවරයත් ද මේ ලෝකයේ බාල තෙමේ නපුරු සිතිවිල්ලක් ම සිතන්නේ ය. නපුරු වචනම සිතන්නේ ය. නපුරු දෙයම කරන්නේ ය යනුයි. එහෙයින් ඔහු ලෝකයට මහත් අනර්ථයක්ම සිදු කරන්නේ ය.ලොවට සාපයක් බඳු වූ පුද්ගලයෙකි.

අංගුත්තර නිකායේ තික නිපාතය තුළම බුදුරජාණන් වහන්සේ බාලයාගෙන් ලෝකයට සිදුවන හානිය පිළිබඳව දේශනා කළහ.

යානි කානිච භික්‍ඛවෙ භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති.නො පණ්ඩිතො.යෙ කේචි උපස්සග්ගා උප්පජ්ජන්ති. සබ්බේ තෙ බාලතො උප්පජ්ජන්ති. නො පණ්ඩිතො.යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බේ තෙ බාලතො උප්පජ්ජන්ති.නො පණ්ඩිතො.

ලෝකයෙහි සත්වයන්ට පැමිණෙන සියලු දුක් විපත් , භය, කරදර බාලයා නිසාම පැමිණෙති.පණ්ඩිතයෙකුගෙන් ලෝකයේ කිසිවෙකුට, කිසිවිටෙක බාධාවක්, අනර්ථයක් හා විපතක් නොවන්නේ ය.

මෙවැනි ලක්‍ෂණයන්ගෙන් හා චරිත ස්වභාවයන්ගෙන් යුත් බාල තෙමේ ඇසුරු කිරීම ලෞකික හා අධ්‍යාත්මික වශයෙන් ජීවිතයට අනර්ථය පිණිස ම හේතුවන බව පණ්ඩිතයා දත යුතු ය.එය බුදුරජාණන් වහන්සේ විසින් අසේව-සේවනය,ආශ්‍රය,ඇසුරු නොකළ යුතු යන්නෙන් විවරණය කර තිබේ.මිනිසාගේ සිත සංවර්ධනය වන්නේ අභ්‍යන්තර හා බාහිර අත්දැකීම් මත පිහිටීමෙනි.සෝවාන් වනු කැමති පුද්ගලයාට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍ය ය කාරණයක් බව පෙළ දහම තුළ සඳහන් වේ.

යමෙක් පණ්ඩිතයෙකුගේ ආශ්‍රය තුළින් යහපත් පුද්ගලයෙකු බවට පත් විය හැකි ය. යමෙක් බාලයෙක් ආශ්‍රය කිරීම තුළින් අයහපත් පුද්ගලයෙකු විය හැකි ය. බාලයා වනාහි ලොවට පව්කාරයන් මවන්නෙකි. එහෙයින් ඔහුට පව් කාරයෙකු නොවී එයින් මිදීම අති දුෂ්කර ය. ඉතා යහපත් දෙමාපියන්ගේ දරුවන් පවා අයහපත් ආශ්‍රය හේතුවෙන් ජිවිත පරිහානියට පත්ව තිබෙන ආකාරය සමාජය පිළිබඳව විමසිලිමත් වීමේ දී අවබෝධ කර ගත හැකි ය. සත්තිකුම්භ ජාතකය තුළින් ද පැහැදිලි වනුයේ අයහපත් ආශ්‍රයේ ආදීනව ය. එකම වර්ගයේ ගිරවුන් දෙදෙනාගෙන් එක් ගිරවෙකු තාපසයෙකුගේ ඇසුරෙන් යහපත් වන්නත් , සොර කණ්ඩායමක් ළගට වැටීමෙන් අයහපත් වන්නත් බලාත්මක වූයේ බාල හා පණ්ඩිත ඇසුරෙහි ප්‍රතිවිපාකයන් ය.

ඇසුරට නුසුදුසු පවිටු මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙනෙකු පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එනම් අඤ්ඤදත්ථුහර,වචීපරම,අනුප්පියභානි සහ අපාය සහය යනුවෙනි.මිතුරාට කිසිවක් නොදී කිසි වැඩකුදු නොකොට කෙසේ නමුත් මිතුරාගෙන් යම් කිසිවක් පැහැර ගැනීමටත්,මිතුරාගෙන් වැඩ ගැනිමටත් පමණක් මිතුරුවන්නා වූ මිත්‍ර ප්‍රතිරූපකයා අඤ්ඤදත්ථුහර නමි. වචීපරම යනු ක්‍රියාවෙන් නොව වචනයෙන් පමණක් මිතුරාට සංග්‍රහ කරන්නා ය. මිත්‍රයාට සිදුවන දියුණුව ගැන හෝ නොසලකා ස්වකීය මිත්‍රයා ඒ ඒ වේලාවට පමණක් සතුටු කිරීම පිණිස මිත්‍රයාගේ අදහසට අනුගතව කතා කිරීම අනුප්පියභාණි යනුවෙන් හැඳීන්වේ. අපාය සහය යනු මිත්‍රයාගේ පිරිහීමට කටයුතු කරන මිත්‍රයෙකු වැනි සතුරා මෙනමින් හැඳීන්වේ.

ගිහි පාප මිත්‍රයන් සේ ම බුදුරජාණන් වහන්සේ පැවිදි සමාජය තුළ ද නිරතුරු දක්නට ලැබෙන භික්‍ෂු මිත්‍ර ප්‍රතිරූපකයින් පිළිබඳව ද අංගුත්තර නිකායේ පංචක නිපාතය තුළ දේශනා කර තිබෙති.ඒ අනුව භික්‍ෂූන් වහන්සේ නුසුදුසු ගිහි කටයුතුවල යෙදීම,සංඝයා අතර කලහ ඇති කිරීම,ධර්මධර විනයධර මහස්ථවිරයන් වහන්සේලාට විරුද්ධව ක්‍රියා කිරිම.,පොට්ටිනිකාරයන් මෙන් අරමුණක් නොමැති දිග ගමන්හි යෙදීම හා තමා වෙත පැමිණෙන ගිහි පැවිදි පිරිසට දහම් දේශනා කර පැහැදවීමට අපොහොසත් වීම ආදී කාරණයන්ගෙන් යුත් ලාමක භික්‍ෂූන් ද භික්‍ෂු ප්‍රතිරූපකයින් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

සත්පුරුෂ ගූණවතුන් විසින් ඇසුරු කළ යුත්තේ තමාට වඩා උසස් ගූණැති කලණ මිතුරෙකි.එබඳු උතුමෙකු ඇසුරට නොලද හොත් තමා හා සමාන ගුණයන්ගෙන් යුත් කෙනෙකු ඇසුරු කළ යුතු ය. එලෙස ඇසුරු කිරීමට කිසිවෙකුත් නොලද හොත් තනිව සිටීම වඩාත් යහපත් ය. පවිටු ඇසුර නම් නොකළ යුතු ම ය යන්න එහි අදහසයි.

සමාජයේ හෙට දවස සුභවාදීව දැකීමට මිනිසාට කලණ මිතුරු ඇසුර සැබැවින් ම තිබිය යුතු ය. විෂම සමාජය තුළ දෙමාපියන් ස්වකීය දරුවන්ටත් ගුරුවරුන් සිසුන්ටත් යහපත් ඇසුර පෙන්වා දිය යුතු ය. සුදන ඇසුරෙහි යහ ගුණත්, දුදන ඇසුරෙහි ආදීනවත් පුද්ගලයා වෙන් කොට හඳුනා ගත යුතු ය. එවිට මුළුමහත් සමාජය ම සාරධර්ම, ගුණධර්මයන්ගෙන් පිරි අනෙකාට වග කියන, සංවේදී හදවත්වලින් යුක්ත බෝසත් සමාජයක් බවට පත්වේ.