Print this Article


පරමාර්ථ ධර්ම ඉවසීම

පරමාර්ථ ධර්ම ඉවසීම

සසර මග කෙටිකරන ප්‍රතිපදා මාර්ගයේ දී ආශ්‍රව හෙවත් කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ඉවසීම නම් වූ ගුණය ද උපකාර වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති. “ඉවසීමෙන් බැහැර කළ යුතු ආශ්‍රවයෝ කවරහු ද?

මේ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා සීතල ඉවසන්නේ වෙයි. උණුසුම ද කුසගින්න ද පිපාසය ද මැසි මදුරු, සුළං, අව්ව, සර්පයන්ගේ ස්පර්ශය ද ඉවසන්නේ වෙයි. නපුරු වචන ද ඉවසන්නේ වෙයි. උපන්නා වූ ශාරීරික වූ, තියුණු වූ, රළු වූ කටුක අමිහිරි වූ අමනාප වූ ජීවිතය නැතිවන තරමේ මාරාන්තික වේදනා ද ඉවසන්නේ වෙයි. යම් ආකාරයකින් නොඉවසන්නා වූ ඔහුට හෝ ඇයට වෙහෙසකර, දැවිලි සහිත ආශ්‍රවයෝ උපදිත් ද මෙසේ නුවණින් සලකා ඉවසන්නා වූ ඔහුට හෝ ඇයට වෙහෙසකර ආශ්‍රවයෝ එනම් කෙලෙස් නූපදිත්. මෙය නුවණින් සලකා අධිවාසනය හෙවත් ඉවසීමෙන් බැහැර කළ යුතු ආශ්‍රවයෝ යැයි කියනු ලැබෙත්.

මෙහි ඇති ධර්ම විවරණය අපි මතු කොට ගන්නේ නම්, නිවන් මාර්ගයේ දී ප්‍රධාන ලෙස බැහැර කළ යුතු රාග, දෝස, මෝහ මුල්කොට ගත් සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ම සතිය හෙවත් විදර්ශනා නුවණින් යුතු සිහිය පිහිටුවාගෙන විමසා බලමු. මෙම ඉවසීම “සදාචාරයට” ගැලපෙන ආකාරයෙන් සම්මුතියෙහි ඉවසීමත් නිවන්මගේ ප්‍රතිපදාවට ගැළපෙන ආකාරයෙන් පරමාර්ථ ධර්මයෙහි ඉවසීමත් ලෙස දෙආකාරයකින් ගළපා බැලිය හැකි ය. සම්මුතියෙහි පිහිටා ඉවසන්නේ සදාචාරාත්මක හෝ පවත්වාගත යුතු ශිෂ්ට සම්පන්න ගුණයක් හැටියටයි. මෙහි දී යම් ආකාරයකින් සිතෙහි තරහව හෙවත් ද්වේෂය පැවතිය හැකියි. තමා අකැමැති වන අන් අයගේ හැසිරීම්, වචන, සිතිවිලි නිසා තම සිතෙහි ද්වේෂය පහළ විය හැකිය. එනමුත් එය යටපත් කරගෙන, එනම් වචනයෙන් හෝ ක්‍රියාවෙන් මතුවෙන්නට අවස්ථාවක් නොදී පාලනය කරගෙන, කායික හා වාචසික සංවරයෙන් යුතුව සිටිය හැකියි. එනමුත් පුද්ගල චිත්ත සන්තානයේ කැකෑරෙන තරහවක්, වෛරයක්, ක්‍රෝධයක් සහ පසුව පලිගන්නවා නම් වූ පටිඝය සම්බන්ධ වූ උපක්ලේස හටගෙන තිබිය හැකි ය.

පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතුව ඉවසීම පුරුදු කිරීමේ දී ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ඉන්ද්‍රියන්ගෙන් අකැමැති අරමුණුවලට මුහුණ දීමේ දී පටිඝ හෙවත් තරහවේ මූල බීජයන් සිතෙහි සකස් විය හැකියි. එයට හේතුව නම් පඨවි ආදී ධාතූන් ද රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පඤ්චකයන් ද ඇස,කන ආදී ඉන්ද්‍රියන් ද, අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව අනුක්‍රමයෙන් අවබෝධ කොට ගැනීමයි. එනම් ඒ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත වූ ‘මම’ නම් වූ මේ ශරීරය සෑම මොහොතකම වෙනස් වෙන්නේ නම්, එනම් ක්ෂණ භංගුරත්වයට පත්වන්නේ නම්, ‘මම’ කියා හෝ ‘මගේ’ කියා පරමාර්ථ වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් නොමැති බවයි. ‘මම, මගේ’ යනු සම්මුති ලොවෙහි පැවැත්ම පමණෙකි. එසේ නම් අකැමැති අරමුණේ දී ගැටීමකට තරහවකට සංස්කරණය කරගත යුතු ක්‍රෝධයකට කිසිදු හේතුවක් හෝ ප්‍රත්‍යක් නොමැතියි. ඉතාමත් සන්සුන් මනසින් එනම් චිත්ත සමාධියෙන් යුතුව මෙනෙහි කොට පරම සත්‍ය වටහා ගන්නට තරම් සිත අවදි කර ගත යුතුයි.

පාරමිතාවක් ලෙස ද දහමෙහි පෙන්වා දෙන ඉවසීම සත්පුරුෂයා විසින් තමාගේ සහ තමාට හිංසා කරන යන අය ද යන දෙදෙනාගේ ම අර්ථය දියුණුව පිණිස පුරුදු කරයි. එය සංයුත්ත නිකායේ මෙසේ වදාළහ.

“උභින්න මත්ථං චරති
අත්තනෝ ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්වා
යො සතො උපසම්මති”

“යමෙක් අන් පුද්ගලයා කිපුණු බව දැන සිහියෙන් යුතුව සංසිඳේ නම්, නොකිපේ නම්, ඒ අය තමාගේ ද, අන් අයගේ ද අර්ථය, යහපත පිණිස හැසිරේ, යන අදහසයි.

ඉවසීමට ප්‍රතිපක්ෂ වන්නේ ක්‍රෝධයයි. තරහවයි. ලෝකයේ අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ හෝ කිසිදු කෙනෙකුට තමා කැමති පරිදි සියලු අරමුණු ඉටු කර ගැනීමට නොලැබුණි. නොලබයි. නොලබන්නේ ය. මේ බව නුවණින් දැන අන් අයගේ වෙනස්වීම්, දුබල අරමුණු අනුව තමා වෙනස්වන අයෙක් බවට පත් නොවිය යුත්තේ ය. ඉන් අදහස් වන්නේ ක්‍රෝධය මතු කොටගෙන අන් අයගේ චර්යාව තමාගේ මෙලොව පරිහාණියටත් මරණින් මතු දුගතියටත් මාර්ගය සකසා නොගත යුතු බව ය. මේ සඳහා තවත් දහම් අවවාදයක් රසවාහිනී නම් ධර්ම ග්‍රන්ථයෙහි මේ ආකාරයෙන් විස්තර වේ.

“යො සා යස්ස ඩසෙ පාදං
තස්ස පාදං න සො ඩසෙ
එවමෙවහි දුට්ඨස්ස
අදොසොච පසංසිතො”

‘යමෙකුගේ පය සුනඛයෙකු සැපූ කල, තමා ඒ සුනඛයාගේ පය නොසපන්නාක් මෙන් තමාට ආක්‍රෝශ, පරිභව කිරීම් ආදී වශයෙන් හෝ පහර දීම් වශයෙන් හෝ කිපුණු තැනැත්තාට නොකිපීම, තරහ නොගැනීම, පළි නොගැනීම, බුද්ධාධී උතුමන්ගේ අවවාදයකි. ඒ මග අනුගමනය කිරීම ආර්ය මාර්ගයේ ප්‍රතිපදාවකි. ඒ එසේ වන්නේ ශීල සමාධි ප්‍රඥා ගුණ වැඩීමට ඉවසීම ප්‍රධාන කරුණක් වන බැවිනි. සියලු කුසල ධර්මයෝ සිහියෙන් යුතුව චිත්ත සන්තානයෙහි උපදින ඉවසීම මුල්කොට වැඩෙත්. ඒ බව මෙසේ වදාළහ.

“සීල සමාධි පඤ්ඤානං
ඛන්තී පධාන කාරණා
සබ්බේ පි කුසලා ධම්මා
ඛත්ත්‍යා යත්තා ච වඩ්ඪරෙ”

මෙයට හේතු වූ දහම් කරුණු රාශියක් ආර්ය මාර්ගයය ඔස්සේ මතුකර ගත හැකි ය. එනම් ‘කකචූපම’ සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ සොරුන් විසින් අල්ලාගෙන ධනය ඉල්ලමින් කියතකින් අත් පා ආදිය කපන කල්හි ද යමෙක් තමාගේ ශරීරය කියතින් කපන ඒ සොරුන්ට විපතක් වේවා යි කියා හෝ සිතා ද්වේෂ කෙරේ නම් ඒ අය තමන් වහන්සේගේ අවවාදය පිළිනොගන්නා වූ කෙනෙක් ලෙස ය. යම් යම් අයගේ ස්වල්ප වූ වචන හැසිරීම් සිතිවිලි ඉදිරියේ පටන් ජීවිත හානියක් හෝ කරන අවස්ථාවක් දක්වා වූව ද, ආර්ය මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව කෙසේ පිළිපැදිය යුතුදැයි ඒ දහම් කොටසින් පැහැදිලි ය.

මෙසේ සම්මත ලෝකයෙහි සහ ජීවිත පැවැත්මෙහි ඉවසීම නම් බෝධිසත්ව ගුණය සතියෙන් යුතුව පුරුදු වන්නට හේතු ප්‍රත්‍ය වන කරුණු පහක් භාග්‍යවතුන් වහන්සේ ‘ආඝාත පටිවිනය’ සූත්‍රයේ දී වදාළහ. යම් අකැමැති හෙවත් අනිෂ්ඨ අරමුණක් නිසා ද්වේෂයක්, ක්‍රෝධයක් හටත්තේ නම් එයට හේතු වූ පුද්ගලයා කෙරේ මෛත්‍රී ධ්‍යානය පුරුදු කිරීම වන්නේ ය. එමෙන් ම එම පුද්ගලයා කෙරේ කරුණාව පුරුදු කිරීම් වන්නේ ය. එමෙන් ම එම පුද්ගලයා කෙරේ ධ්‍යාන වශයෙන් උපේක්ෂාව හෙවත් මධ්‍යස්ථ බව පුරුදු කිරීම වන්නේ ය. එමෙන් ම එම පුද්ගලයා කෙරේ සිහිය නොපවත්වා එම පුද්ගලයා මෙනෙහි නොකළ යුතු වන්නේ ය. අවසානයේ එම පුද්ගලයා කෙරේ කර්ම ස්වභාවය මෙනෙහි කළ යුතු වන්නේ ය. මේ පුද්ගලයා කර්මය ස්වකීය කොට ඇත්තේ ය. කර්මය ම හේතුකොට ඇත්තේ වෙයි. කර්මය ඥාති කොට ඇත්තේ වෙයි. කර්මය පිළිබඳ නොතකන්නේ වෙයි. යහපත් හෝ අයහපත් වූ යම් කර්මයක් කරන්නේ නම් එම පුද්ගලයා එයට දායාද වන්නේ ය. මේ දුරුකොට ගත යුතු බව භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයයි.

මේ ලෙස සම්මත පවත්නා වූ ලෝකයෙහි ජීවිත සංවරයට පැමිණෙන විට ආර්ය මාර්ගය පහසුවෙන් එනම් සුඛා පටිපදාවෙන් ගමන් කිරීමට අවස්ථාව සැලසෙයි. නිවන් අරමුණු කරගත් ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාවට සීතල, උණුසුම, කුසගින්න, පිපාසය, මැසි මදුරු උවදුරු, සුළඟ, අව්ව, සර්පයන්, නපුරු වචන, පටිඝය මතුවීමට එනම් තරහව අමනාපය ක්‍රෝධය මතුවීමට ආරම්මණ හෝ හේතූන් බවට පත් නොවෙයි. තම ශරීරයේ උපදින තියුණු රළු, කටුක, අමිහිරි, අමනාප, මාරාන්තික වේදනා වුව ද අවබෝධයට පත්වෙයි. සියලු සංඛත සංඛාර වස්තූහු පඨවි ආදී ධාතූන් නිසා හටගත් බවත් වේදනා එනම් විඳීම්, සඤ්ඤා සංඛාර එනම් රැස් කිරීම්, විඤ්ඤාණ එනම් අරමුණු තීරණය කිරීම් ඔස්සේ ක්‍රියාත්මක වන බවටත් අවබෝධ කරගන්නට උත්සාහ ගනී. ත්‍රිලක්ෂණ ධර්මය කෙරේ ඇති අභාවිත සිත් නිසා මෙම නාම රූප ධර්ම සත්වයෙක්, පුද්ගලයෙක්, හෝ ස්ථිර සැපදායක තමා සිතන පතන පරිදි පවතින බවට දැනුනත් ,සිතිවිලි නැඟුණත් මේ සවිඤ්ඤාණක අවිඤ්ඤාණක සියලු සංඛත වස්තු විපරිණාමයට පත්වන බව එයටම උරුම වී ඇති බවට වැටහෙයි.

යම් අවස්ථාවක සීත උෂ්ණය සැප ලෙස ඇලෙන්නටත්, තවත් අවස්ථාවක එම වස්තූහුම නිසා ගැටෙන්නටත්, යමක් නැති බව මෙනෙහි කරයි. මෙහි පවතින්නේ දකින අසන කියන දැනෙන හේතූන්ගේ ක්‍රියාදාමයක් පමණක් බවට මනසිකාරය වන විට සිතෙහි සකස් වන්නේ විරාගී සිතිවිලි සංකල්පයෝ ය. නිදසුනක් ලෙස දක්වන්නේ නම් කුසගින්න, පිපාසය හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාදාමයක් බවට වැටහෙයි. අවිද්‍යාව නිසා කර්ම භවය සකස් වන බවත්, භවය නිසා ඉපදීම සිදුවන බවත්, ඉපදීම සමඟ එහි පැවැත්ම පිණිස කබලිංකාර ආහාර නම් වූ කඩා සපා ගන්නා වූ බත් පිණි එළවලු වැනි කයෙහි පැවැත්වීමට ආහාරපාන ගන්නා බවත් වැටහෙයි. නමුත් තදින් අල්ලාගැනීම නම් වූ උපාදානයවත් වෙනස්වීමේ දී ඇතිවන පටිඝයවත් නොවිය යුතු බවට වැටහෙයි. බලවත් නොවූ කායික වූ වේදනා ද ආර්ය මාර්ගය අරමුණු කරන ශ්‍රාවකයාට, ශ්‍රාවිකාවට ඒ හේතුඵල දහම වැටහෙන විට නකුල පිතූ සූත්‍රයෙහි සඳහන් පරිදි සන්සිඳෙන්නට පටන් ගනී.

‘කය රෝගයන්ගෙන් බහුල ය. ගිලන් වූ කය ඇති මාගේ සිත නොගිලන් වෙයි. “ආතුරකායස්ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්සති” මෙම ඉවසීම ම පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතු ඉවසීම නම් වෙයි. මේ අවබෝධය නිසා වෙහෙසකර දැවිලි සහිත ආශ්‍රවයෝ නූපදිති. මෙය ම අධිවාසනයෙන් හෙවත් නුවණින් යුතුව ඉවසීමෙන් ආශ්‍රව බැහැර කිරීම නම් වේ ම ය.