Print this Article


අසමසම ගුණ මහිම : කරචරණමුදුජාලතා ලක්ඛණානි – 3 කොටස: සසරේ සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කිරීම

කරචරණමුදුජාලතා ලක්ඛණානි – 3 කොටස:

සසරේ සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කිරීම

“භොගෙන හීනො ජාතියා අධිකොපි දුස්සංගහො හොති” ජාතියෙන් උසස් වූව ද, දුප්පත් වී උප්පත්තියක් ලබන කෙනාට සංග්‍රහ කිරීම අපහසු බව බෝධිසත්වයන් වහන්සේ දේශනා කළහ. “සො හි අහං ජාතිමා’ති භොගසම්පන්නෙන සද්ධිං එකපරිභොගං න ඉච්ඡති” “මම උසස් කුලයක උප්පත්තිය ලැබූ නිසා, දැනට සිටිනා පොහොසත් අය සමඟ එකට ඉන්න කැමැති නැහැ”. උසස් කුලයක යැයි ඔහු තුළ මානයක් පවතිනවා. “මම උසස් කුලයක. මම මේ ආකාරයි.

දැනට සල්ලි තිබුණා කියා අප මේ පහත් කුලයේ අය ගැන සැලකීමක් දක්වන්නේ නැහැ. ඒ වගේ ම හැමෝ ම එක්ක ඉන්න කැමතිත් නැහැ. “තස්මිං අකරියමානෙ කුජ්ඣති” මෙවැනි පුද්ගලයෙකුට ගරු කරන්නේ නැති වූ විට කේන්ති හටගන්නවා. මෙවැනි අයටත් සමානාත්මතාවය කියන කාරණාවෙන් සංග්‍රහ කිරීම ටිකක් අපහසුයැයි සඳහන් වෙනවා.

බෝධිසත්වයන් වහන්සේ “උභොහිපි හීනො පන සුසංගහො හොති” නම් තවත් පිරිසක් පිළිබඳව මෙසේ පැහැදිලි කොට දේශනා කර ඇත. එනම් ජාතියෙනුත් පහත්, දුප්පත් එනම් මුදල්වලින් පහත් නම් ඉතාම පහසුවෙන් සැලකිය හැකියි.

මෙවැනි අයට දන් දෙන්න ලේසියි. ප්‍රිය වචනයෙන් ආමන්ත්‍රණය කළ විට ඕනෑ ම ප්‍රිය වචනයක් බාරගන්න සූදානම්. අර්ථචරියාව, එනම් විශාල වශයෙන් අර්ථචරියාවක් අවශ්‍ය නැහැ. දැනට සිටිනා මට්ටමෙන් උඩට එන්නයි අවශ්‍ය ය. සමාන තැනක් පිරිනැමූ විට එය බොහෝ ම උසස් කාරණාවක් හැටියට පිළිගන්නවා. ඒ වගේ ම මේ අය මට මෙසේ සලකාවි යැයි කලින් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. ඒ වගේ ම එසේ සිදු කළේ නැහැ යැයි කියා කේන්ති ගන්නෙත් නැහැ. තමන්ට තිබෙන, පහසු වෙලාවක සංග්‍රහ කරන්න පුළුවන්. එයටත් ඔහු සතුටුවෙනවා. නොකළයි කියා අමනාප වෙන්නෙත් නැහැ. ඒ ඔහු ළඟ ලොකු බලාපොරොත්තුවක් නැති නිසයි. එවැනි පුද්ගලයෙකුට සංග්‍රහ කිරීම පහසුයි.

“උභොගි සදිසොපි සුසංගහොයෙව“ එනම් ජාතියෙනුත්, පොහොසත්කමෙනුත් උසස් සමාන පුද්ගලයාටත් සංග්‍රහ කිරීම පහසුයි. එසේ පහසු වන්නේ ඔවුන් ආචාරගෝචර සම්පන්න නිසයි. ඒ වගේ ම ධනය තිබෙන නිසා හීනමානයක් ද ඇත්තේ නැහැ. එවැනි පුද්ගලයන්ට සංග්‍රහ කිරීම පහසුයි.

මේ විස්තරය කළේ බෝධිසත්වයන් වහන්සේ සසරේ සංග්‍රහ කළ ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නටයි. ඒ වගේ ම බෝධිසත්වයන් වහන්සේ පැවිදිව සිටිනා සමයේ දී මේ කරුණු පිළිබඳව භික්ෂූන් වහන්සේලාටත් දේශනා කළා. “භික්ඛූසු දුස්සීලො දුස්සංගහො හොති” භික්ෂූන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා අතරත්, දුසිල්වත් භික්ෂූන් වහන්සේලාට සංග්‍රහ කිරීම අපහසු බවයි. “න හි සක්කා තෙන සද්ධිං එකපරිභොගො කාතුං” දුසිල්වත් භික්ෂූන් සමඟ එකට ඉඳගන්න ආදී දේ සිදු කිරීමත් අපහසුයි. “තථා අකරියමානෙ ච කුජ්ඣති” එසේ නොකළ විට දුසිල්වත් භික්ෂුවට කේන්ති ඇතිවෙනවා. “සීලවා සුසංගහො හොති” සිල්වත් භික්ෂුවට සංග්‍රහ කිරීම පහසුයි. ඒ වගේ ම “සීලවා හි අදීයමානෙපි අකරියමානෙපි න කුජ්ඣති” සිල්වත් භික්ෂුවට නොදුන්නත්, සංග්‍රහ නොකළත් කේන්ති ඇති කර ගන්නේ නැහැ. ඒ වගේ ම සැලකුවේ නැහැ යැයි ද්වේෂ සහගත සිතකින් බලන්නේ නැහැ. සිල්වත් භික්ෂුව පරිභෝගයත් සමඟ පහසුයි.

එම නිසා “එවැනි පුද්ගලයන් සමානාත්මතාවෙන් සංග්‍රහ කළ, සේක” යැයි සඳහන් වේ. ඒ වගේ ම මනාකොට සංග්‍රහ කරන ලද්දේ වේ යනුවෙන් ද සඳහන් වේ. සිල්වත් භික්ෂූන් වහන්සේලා නොදුන්නා යැයි හෝ ගරු කළා හෝ බිඳෙන්නේ නැහැ. ඒ ගැන තරහ ගන්නේ, ද්වේශ සිතකින් බලන්නේ හෝ නැහැ.

සිල්වත් භික්ෂුව තුළ, සීලවන්ත බව සමඟ කරුණාව, මෛත්‍රිය, දයාව තිබිය යුතුයි. එසේ නොවන භික්ෂුව ඇසුරු කරන්න, සංග්‍රහ කරන්න අපහසුයි. ඒ වගේ ම යම් කලෙක දිය යුතු දෙයක් තිබේ නම් ඔහු දෙනවා. මේ අවස්ථාවේ දී දන් දෙන්න නැතුව ඇති. ඒ නිසයි දෙන්නෙ නැත්තේ. එසේ සිතා සිත හදා ගන්නවා. එලෙසම යමක් දුන්නොත් සිතනවා, දුන්නොත් හොඳයි කියලා. දුන්නේ නැතිනම් හිතනවා ඔහුට තියෙනවා නම් දෙනවා. නැති හින්දා වෙන්න ඇති නොදෙන්නේ. මෛත්‍රීසහගත සිතකට පෙරලා ගන්නවා, නොදුන්න කාරණාව. “කිං මයං දදමානමෙව උපට්ඨහාම”? නැවතත් ඒ භික්ෂුව කල්පනා කරනවා. මට දෙන්නේ නැති නම් “අදෙන්තං අකරොන්තං න උපට්ඨහා මා’ති එවං චින්තෙන්ති” දෙන්නැති කාලෙටත් මම සලකන්නේ නැද්ද? දන් දෙන කාලෙට විතර ද මම සලකන්නේ. එසේ සිතා තමාට සලකන්නේ නැති කාලෙටත් සලකනවා. මෙලෙස සිතිවිලි ඇත්තා වූ ගිහි හෝ පැවිදි හෝ වේවා සමානාත්මතාවයෙන් සංග්‍රහ කිරීම ඉතා පහසු බව බෝධිසත්වයන් වහන්සේ දේශනා කළා.

දානය , ප්‍රියවචනය, අර්ථචරියාව, සමානාත්මතාවය යන කාරණා සතර, ගිහි කාලයේ හා පැවිදි කාලයේ බෝධිසත්වයන් වහන්සේ සසරේ දී නිරන්තරයෙන් සිදු කළ හේතුවෙන්, උන්වහන්සේ මරණයට පත්ව දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා. දිව්‍ය ලෝකයෙන් චුතව නැවත මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා. මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලද ඒ උත්තමයන් වහන්සේ “මෘදුතලුනහත්ථපාදො ච හොති හා ජාලහත්ථපාදො ච” නමැති ලක්ෂණ දෙක ලබනවා.

“මුදුතලුනහත්ථපාදො ච හොති” නම් මෘදු එනම් සියුම් අත් පා ඇති වෙනවා. අද ඉපදුණු ළදරුවෙකුගේ මෙන් මෘදුයි. “ජාලහත්ථපාදො ච” එනම් අල්ලේ රේඛා දැලක ස්වභාවයෙන් එ නම් ශිල්පියෙක් නිර්මාණයක් කළා සේ හතරැස් ජාලයක් මෙන් පිහිටනවා. ඒ වගේ ම ඇඟිලි සමානව උසයි. ඍජු යි. මහපැටැඟිල්ල හැර අන් ඇඟිලි සතරම සමානව පිහිටයි. බෝධිසත්වයන් වහන්සේ සතර සංග්‍රහ වස්තුවෙන් ම සංග්‍රහ කළ හේතුවෙන් මේ ලක්ෂණ දෙක පිහිටනවා.

මෙම ලක්ෂණ දෙක ලැබූ උත්තමයන් වහන්සේ ගිහි ගෙදර වාසය කරන්නේ නම් සක්විති රජ වනවා. මනාකොට සංග්‍රහ කරන ලද පිරිසක් එතුමා ලබනවා. මනාකොට සංග්‍රහ කරන ලද පිරිවර වටිනා කාරණාවක්. හේතුව ඒ සියලු ම පිරිස සංග්‍රහ ලබන පිරිසක්. බ්‍රාහ්මණ, ගෘහපති, නියම්ගම්, ජනපද වැසි, අමාත්‍යවරු, පෞද්ගලික ආරක්ෂාව, හමුදාව, දොරටුපාලකයෝ, සෙන්පතියෝ, අනු රජවරු, හිතවත් අය, නොයෙක් නොයෙක් ප්‍රදේශයන් පාලනය කරන කුමාරවරු ආදී කිසියම් හෝ අඩුවක් නොමැති පිරිසක් ලබනවා. ඒ වගේ ම මේ පිරිස නිරතුරුව ම හැම කරුණකින් ම ශක්තිමත්නම් , සර්ව සම්පූර්ණ පිරිසක්.

ගිහි ගෙය අත්හැර බුද්ධත්වය ලැබූ පසුව සක්විති රජතුමාට සේ ම මනාකොට සංග්‍රහ කරන පිරිසක් ලබනවා. ඒ වගේ ම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, දෙවිවරු, මනුෂ්‍යයෝ, අසුර, නාග, ගන්ධබ්භ මේ ආකාර සියලුම පිරිස සංග්‍රහ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සතර සංග්‍රහ වස්තුවෙන් ම සියල්ලන්ටම සසරේ දී සංග්‍රහ කළ නිසා එනම්, මනාකොට සංග්‍රහ කරන පිරිවර යන වචනය පාලියේ හඳුන්වන්නේ “සුසංගහිත පරිජනෝ” ලෙසයි. මෙම කාරණාව අට්ඨ කතාවේ විස්තර වන්නේ මනාකොට සංග්‍රහ කරන ලද්දේ යනුවෙනි.

උදාහරණයක් ලෙස අපේ ළඟ සිටින යම් සේවකයෙක් ඒ සේවකයාගේ මුහුණ බැලුවේ නැති නම්, කතා කළේ නැති නම්, තව කෙනෙකුට උදව්වක් කර ඒ සේවකයාට උදව්වක් නොකළොත් සමහර විට තරහ උපදවා ගන්නවා. එසේ තරහවන්නේ, ඒ පිරිසත් සමඟ සසරේ එකට ඉඳල තියෙනවා. නමුත් ඒ පිරිසට සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කර නැහැ. නමුත් අපේ බෝධිසත්වයන් වහන්සේ සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කළ නිසා මේ ජීවිතයේ භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා, දෙවි, බ්‍රහ්ම, නාග, ගන්ධබ්භ මේ කවුරු සිටියත් ඒ අයට උන්වහන්සේ යමක් දුන්නා ද? නොදුන්නා ද? යමක් කළා ද? ගරු කළා ද? නොකළා ද? සංග්‍රහ කළා ද? කිසිම අවස්ථාවක ලැබුණා ද කියා මාන්නයක් ඇති කර ගන්නේ නැහැ. නොලැබුණා කියා අසතුටක් ඇතිවෙන්නෙත් නැහැ. තරහ ගැනීමක්, බිඳීමක් ඇතිවෙන්නෙත් නැහැ. සසරේ සතර සංග්‍රහ වස්තුවෙන් ම සංග්‍රහ කිරීමේ ආනිසංසය වශයෙන් සඳහන් කළ ලක්ෂණ දෙක ලබනවා.

සසරේ දී සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ නොකළ නිසා සමහර අය අතපය තද වෙලා සේ එනම් විෂම ශරීරාංගයන් සහිතව උප්පත්තිය ලබනවා. එනම් මේ ජීවිතයේ දී මේ වගේ උප්පත්ති ලබා ඉන්නවා නම් ඒ කෙනා සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කළ අයෙක් නොවෙයි.