Print this Article


 අධර්මය ධර්මයෙන් ජය ගැනීම

 අධර්මය ධර්මයෙන් ජය ගැනීම

පොසොන් සඳ එළියත් සමඟ තුන්සිංහලය සිසාරා ගලාගිය සම්බුද්ධ සදහම් පණිවුඩය තුළ මුලින්ම දැක්වෙන්නේ පංච ශීලය යි. පංච ශීලයේ දී මුලටම ඇත්තේ “පාණාතිපාතා” ලෙස අප කියවන පරපණ නැසීමෙන් වැළකී සිටීමේ සිල්පදය යි. අද වැනි යුගයක අපේ රටේ කොයි කවුරුත් දිනපතාම පාහේ මෙනෙහි කළ යුතු සිල්පදය වන්නේ “පාණාති පාතා” සිල් පදය යි.

සටන වෙනුවට සාමය ඇතිකිරීමෙන් හිතේ ඇතිවන සමාධිය ගැන සම්බුදු හිමියන් ධම්මපදයේ දී මනා ලෙස විවරණය කර තිබේ. සටනක දී මිනිසුන් මරා දමා ජයග්‍රහණය කළත් එය ජයග්‍රහණයක් නොවන බවත්, සැබෑ ජයග්‍රහණය වන්නේ තමා ජයගැනීම බවත් සම්බුදු හිමියන් පැහැදිලිව දක්වා ඇත.

වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති නමුත් අවෛරයෙන් වෛරය නැතිකොට මෛත්‍රී චින්තනයෙන් සාමය ඇතිකර ගත හැකි ය.

සියලුම දෙනා දඬුවමට ද, මරණයට ද බියවෙති.

මේ යථාර්ථය තුළ පිහිටා ආත්ම දමනය ඇතිකරගෙන තමා විසින්ම තමා පාලනය කර ගැනීමෙන් මුළු මහත් මානව සමාජය තුළ සාමය ඇතිකර ගත හැකි ය. ලෝකයේ ඉතාමත් අසීරු දෙය වන්නේ තමා විසින් තමා දමනය කර ගැනීම ය. කළ යුතුව ඇත්තේ අමාරුවෙන් හෝ තමන් දමනය වී අනුන් දමනය කරන්නට යාම ය. අනුන්ට අවවාද අනුශාසනා කරන්නට පෙර තමා ඒ තුළ පිහිටිය යුතු ය.

ක්‍රෝධ කරන්නා මෛත්‍රියෙන් ජය ගත යුතු ය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් ජය ගත යුතු ය. මසුරු මිනිසා ත්‍යාගදීමෙන් ජයගත යුතු අතර බොරු කියන මිනිසා සත්‍යයෙන් ජයගත යුතු ය. සම්බුද්ධ ධර්මය මෙය යි.

මිනිසුන් අතර සාමය හීනවී යුද ඇතිවීමට හේතුව කුමක්දැයි ශක්‍ර දෙවියන් බුදුහිමි ගෙන් විමසූවිට සියල්ලට හේතුව “අධික තණ්හාව“ බව බුදුහිමියන් දේශනා කර තිබේ. තණ්හාව චිත්ත සන්තානයෙන් උදුරා දැමිය හැකි නම් එතැන, සාමය පැළවුණු බව උන්වහන්සේ පැහැදිලි කර තිබේ. අප නිවැරැදිව මිනිසුන් හඳුනාගෙන කටයුතු කළ යුතු ය. එවිට මතුවන පැහැදිලි සංජානනය තුළින් නිවැරැදි තීරණ ගත හැකි අතර, ඒ තීරණ බොහෝ දෙනාගේ හිතසුව පිණිස වන බව “සප්ත ජටිල” සූත්‍රයේ දී බුදුහිමියන් දක්වා ඇත.

සංයුක්ත නිකායේ “වේපචිත්ති” සූත්‍රයට අනුව බලය ඇති තැනැත්තා දුබලයා කෙරෙහි ඉවසීම උතුම් ම ඉවසීම වේ. දුබලයා නිතරම බැරිකමට ඉවසයි. මේ අනුව මෙම ඉවසීමේ ගුණය සාමය ඇතිකර ගැනීමට අත්‍යවශ්‍ය ධර්මතාවයකි.

සංයුක්ත නිකායේ ‘රජ්ජ’ සූත්‍රයේ සඳහන් වන අන්දමට නොනසමින් ,නොනස්වමින්, පැහැර නොගනිමින්, පැහැර නොගන්වමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, ධර්මයෙන් රාජ්‍ය පාලනය කළ යුතු යැයි සම්බුදු හිමියන් දක්වා ඇත. අධම්මික සූත්‍රයේ දැක්වෙන අන්දමට ගවරැළක ප්‍රධානියා ඇදට ගමන් කරයි නම් පසුපසින් එන සෙසු ගවයෝ ද ප්‍රධානියා අනුකරණය කරති. රාජ්‍ය පාලකයන් ද වැරැදි ලෙස හැසිරෙන විට ඔවුන්ගේ අනුගාමිකයන් ද නායකයන් අනුව හැසිරෙති. ගවරැළක නායකයා කෙලින් යන විට සෙසු ගවයන්ද ඔහු අනුකරණය කරන්නා සේ රටක පාලකයා හොඳින් රට කරවනවිට අනුගාමිකයෝ ද පාලකයා අනුකරණය කරමින් රට සංවර්ධනය කරා ගෙන යති.

අංගුත්තර නිකායේ”නගරෝපම” සූත්‍රයේ දී නොබිඳිය හැකි බලකොටුවක තිබිය යුතු කරුණු හතක් දක්වා ඇත. රටක ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු විවිධ ක්‍රියාමාර්ගද එම සූත්‍රයේ පැහැදිලි ලෙස විස්තර කර ඇත.

රටක සාමය වෙනුවෙන් අනුගමනය කළ හැකි බෞද්ධ ගුණාංග කීපයක් ම ඇත. පංචශීල ප්‍රතිපත්තිය, සප්ත අපරිහානි ධර්ම දස රාජධර්ම – දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, සතර බඹ විහරණ, සතර අගතියෙන් තොරවීම, මෛත්‍රි චින්තනය ආදී ගුණධර්ම රාශියක් ම ඒ අතර පවතී.

ධර්මාශෝක රජතුමා ගේ ‘ගිරිනාර්’ ලිපි අංක හයෙහි මහජනතාවට සේවය කළ යුතු ආකාරය එතුමා විසින් මෙසේ දක්වා ඇත.

* මහජන ශුභසාධනය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කිරීම මගේ එකම අධිෂ්ඨානය යි.

* මිනිසාගේ යහපත සඳහා දිවා රෑ නොබලා වැඩ කිරීම මගේ බලවත් වගකීම යයි මම සිතමි.

* මිනිසාගේ යහපතට වැඩ කිරීම තරම් තවත් ශ්‍රේෂ්ඨ කෘත්‍යයක් මට නැත්තේ ය.

* දිවා රෑ වෙහෙසී මා වැඩකළ එම සේවා ප්‍රමාණයෙන් මම සෑහීමකට පත් නොවෙමි.

* මා ගන්නා හැම වීර්යයකම අවසාන ප්‍රාර්ථනය වන්නේ ජනතාව සුවපත් කිරීම ය.

* මට මගේ ස්වර්ගය සෑදී ඇත්තේ ජනතාවට සේවය කිරීම තුළින් බව මම ද දැන සිටිමි.

* මගේ පුත්‍රයෝ ද, ඔවුන්ගේ පුත්‍රයෝ ද මේ ප්‍රතිපත්ති අනුගමනය කෙරෙත්වා.

කාලිංග ගිරිනාර් ලිපි අංක හතෙහි සියලු ජනතාව මගේම දරුවන්සේ සලකා කටයුතු කරන බව දැක්වේ. සම්බුදු හිමියන් ද රාජ්‍ය පාලකයාගේ පැවැත්ම මෙසේ විය යුතු යයි ජාතක පාලියෙහි දක්වා ඇත්තේ මේ අන්දමට ය.

“යථා පිතා වාපි මාතා
අනුකම්පකා අත්ථකාමා පජානං
ඒවමේව වො හෝතු අංයච රාජා
තුම් හේව වො හෝථ යංථව පුත්තා”

“මව්පියන් සිය දුවා දරුවන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන්නේ යම් සේ ද, එසේම රාජ්‍ය පාලකයා සියලුම රටවැසියන් තමාගේම දරුවන් සේ සලකා කටයුතු කිරීම වැදගත් වේ.” එම ගාථාවේ අදහස මෙය යි.

බලය හෝ අන්කිසිවක් සඳහා හෝ අනුන් විනාශ කර ගන්නා සුළු සටන් නැති සාමකාමී සමාජයක් ගොඩනැගීම බුද්ධ ධර්මයේ පරම පිවිතුරු ප්‍රාර්ථනා යි. ජය පරාජයක් නැති එවන් සමාජයක් තුළ රජවන්නේ සාමය යි. එහිදී වැඳුම් පිදුම් ලබන්නේ ආයුධ බලයෙන් හෝ ධන බලයෙන් මිනිසුන් හා රටවල් ජයගන්නා අය නොව තමා විසින් තමාම දිනා ගන්නා මිනිසුන් ය. මෙහිදී වෛරය– මෛත්‍රියෙන් ද, අධර්මය ධර්මයෙන්ද ජයගනී. ආදරය, කරුණාව, මෛත්‍රිය, සාමය තේරුම්ගෙන මිනිසුන් ලෙස ජීවත්විය යුතු යයි නිරතුරුව බුදුන් වහන්සේ දේශනාකර තිබේ.

විවිධ කරුණු පදනම් කරගෙන අපේ රටේ විවිධ ජාතින් අතර පැන නැගී ඇති මතභේද, අවුල් වියවුල් , අසමගිකම් බැහැර කරලීමට මෙම සම්බුද්ධ සංකල්ප අනුව කටයුතු කළ යුතු ය. සම්බුදු දහම නිසි ලෙස අනුගමනයෙන් මිනිසුන්ගේ හදවත් තුළ සැබෑ සාමය, සහජීවනය හා හොඳ හිත ගොඩනැගෙයි.