Print this Article


පූජාච පූජනියනං

තැන්නේ කුඹුරේ විමලානන්ද නා හිමි

බුද්ධ ශාසනයට ඇතුළත්ව සසුන් කෙත බැබළවීමට පූර්ව ජන්මයේ කළ කුසලයන්ගේ අනුහසින් කුඩා වයසේදී ම ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් විය. එවකට විහාරාධිපතිව වැඩ විසූ වත්තේගම ධම්මින්දාභිධාන නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශනයෙන් කටයුතු කළහ. මූලික අධ්‍යාපනය වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙනින් හදාළ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා මහනුවර සංඝරාජ පිරිවෙන වෙත යොමු විය.

කන්තලේ වේළුන්නා රජමහා විහාර බද්ද සීමා මාලකයේ දී උපසම්පදා වූහ. 2002 දී විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අපවත්වීමෙන් අනතුරුව ශ්‍රී ඛෙත්තාරාම මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ බවට පත් වෙමින් විහාර පරපුරේ ගෞරවාන්විත ශාසන මෙහෙවරක් ඉටු

කිරීමට ඇප කැප වූහ.

ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානය අංග සම්පූර්ණ බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කිරීමට නාහිමිපාණන් වහන්සේගෙන් සිදු වූ මෙහෙවර අපරිමිතය. පටු භේද නොසලකා සැමදෙනා සමඟ මෛත්‍රී සහගත සිතින් කටයුතු කරන නාහිමිපාණන් වහන්සේගේ චරිතය සියල්ලටම ආදර්ශමත්ය. නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද ජාතික ආගමික හා සාමාජීය මෙහෙවර අගයමින් 2011 දී සිරි සුගත ශාසන කීර්ති ශ්‍රී සිරි ධම්මින්ද වංශාලංකාර සද්ධර්ම කීර්ති ගෞරව නාමය සමඟ පාතදුම්බර උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබීය.

ගම්මානයේ දරුවන්ගේ දහම් ඇස පාදන විහාරස්ථානයට අනුබද්ධව පවත්වාගෙන යන ශ්‍රී සුගතෝදය දහම් පාසලට අනුශාසනා ලබා දෙමින් එහි පැවැත්ම පිණිස කටයුතු කරති. මැයි මස ජන්ම දිනය සැමරූ නාහිමියන්ට සසුන් කෙත තවදුරටත් අස්වැද්දීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලබමින්, චිරාත් කලක් නිදුක් නිරෝගීව වැඩ සිටින්නට වාසනාව ලැබේවා.

****

බද්දේගම කුසලධම්ම හිමි

රෝහණ පාර්ශ්වයේ මහානායක රන්දූපත ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරාධිපති මහෝපාධ්‍යාය උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ත්‍රිංශද් වර්ගික විධායක කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීරණයෙන් මිද්දෙණිය, වැලිපිටිය ශ්‍රී පන්ථාරාම පුරාණ මහා විහාරාධිවාසී ශාස්ත්‍රවේදී පණ්ඩිත බද්දේගම කුසලධම්ම හිමියන් වෙත කර්මාචාර්ය පදවිය පිරිනමා ඇත.

ගාලු දිසාවේ බද්දේගම, ඉඳුරුපත්විල, වතුරාවවත්ත ග්‍රාමයේ දී නානායක්කාර ආගරගේ ඤාණපාල ඩයස් මහතාට හා මාලිනී අලහකෝන් මහත්මියට දාව 1989 ඔක්තෝබර් මස 30 දින උපත ලද පින්වත් කුමරු රොෂාන් සම්පත් කුමාර නම් විය. මාපිය සෙනෙහස හා දයාව ඇසුරෙහි වැඩෙන කුමරු ඉඳුරුපන්විල විද්‍යානන්ද විද්‍යාලයෙන් හා විද්‍යානන්ද විද්‍යායතන පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබීය.

වඳුරඹ, ලේල්වල ගලහත පුරාණ විහාරය වෙත පැමිණෙන කුමරු පැවිද්දට අවශ්‍ය මූලික බණ දහම් ඉගෙන ගලහත පුරාණ මහා විහාරය, කුඹළමළහේන ශ්‍රී කස්සප බෝධිරාජ විහාරය යන උභය විහාරාධිපති ගාලු ගඟබඩ පත්තුව ඇතුළු ගාලු කඩවත් සතර ප්‍රධාන සංඝනායක විනය කීර්ති ශ්‍රී විචිත්‍රභාණක කර්මාචාර්ය බද්දේගම ධම්මික නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා වඳුරඹ ඌරල ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී වඳුරඹ අනෝමදස්ස නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 2004 ඔක්තෝබර් 30 වන දින බද්දේගම කුසලධම්ම හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

බද්දේගම, කිරිබතාවිල ශ්‍රී අමරවංශ මහ පිරිවෙන, මාජුවාන ශ්‍රී ඉන්දසර විද්‍යායතන පිරිවෙන, මාතර, වෙහෙරහේන සිරි රේවත මහ පිරිවෙන යන විද්‍යස්ථාන තුළින් පැවිදි අධ්‍යාපනය ලබාගත් කුසලධම්ම හිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් බුද්ධ ධර්ම ඩිප්ලෝමාවත්, ශ්‍රී ලංකා ත්‍රිපිටක විභාග යටතේ ත්‍රිපිටකාචාර්ය උපාධියත් ලබා ගත්හ. කටුවන, මැදකන්ද විද්‍යාලෝක පිරිවෙනේ ආරම්භක ආචාර්යවරයෙකු ලෙස පත් වූ උන්වහන්සේ පසුව වැඩබලන පරිවේණාධිපතිවරයා ලෙස ද කලක් සේවය කළේ ය. ඌරාපොළ ශ්‍රී වනරතන පිරිවෙනේ ද කලක් සේවය කළ අතර මේ වන විට රඹුක්කන, දියසුන්නතකීර්ති ශ්‍රී රාජසිංහ විද්‍යායතන පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

බද්දේගම, මහළපිටිය ශ්‍රී මහින්දාරාමාධිපති ශාස්ත්‍රවේදී වැයිහේනේ පවර මාහිමි, මිද්දෙණිය, වැලිපිටිය ශ්‍රී පන්ථාරාම පුරාණ මහා විහාරාධිපති අඹගස්ආරේ විමලරතන මාහිමි, විහාරාධිකාරී ශාස්ත්‍රපති වැලිපිටියේ උදිත හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස මාතර, රන්දූපත ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරයේ දී අත්තුඩාවේ ශ්‍රී රාහුලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව වෙත සිව් සඟරාවත නමින් ග්‍රන්ථයක් රචනා කොට පිළිගන්වා උපසම්පදාව ලබා ගත්හ.

වැලිපිටිය ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ආචාර්යවරයෙකු ලෙස 2009 දී එක් වූ කුසලධම්ම හිමියෝ 2011 සිට ප්‍රධානාචාර්යවරයා ලෙස සේවය කරයි. කටුවන ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක කාරක සභික ධූරයක ද කලක් කටයුතු කළ අතර පොහොය අසිරිය, චන්ද්‍ර ප්‍රභා, ප්‍රණාම පූජා, දීඝායු වැනි ග්‍රන්ථ මෙන්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කළ අතර පුවත්පත්වලට ද ලිපි සපයමින් කටයුතු කරයි. ධර්ම දේශනා ආදී ආගමික මෙන්ම ජාතික, සාමාජික, අධ්‍යාපනික වශයෙන් වටිනා සේවාවක නිරත වන කුසලධම්ම හිමියෝ 2011 සිට ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා දිනවල කාර්යාලයීය කටයුතුවලට සහයෝගය ලබා දෙමින් කටයුතු කරයි.