Print this Article


පිරිසුදු ශිෂ්ටාචාරයක උරුමය

පිරිසුදු ශිෂ්ටාචාරයක උරුමය

මෙම ලිපියේ මුල් කොටස පොසොන් පුර පසළොස්වක පෝදා (ජුනි 16) පත්‍රයේ පළවිය

භණ්ඩුක දරුවා රැගෙන යෑමට කැමති වූ රජතුමාට “මේ දරුවා මගඵල ලබා ඇත්තෙකි. තව නොබෝ වේලාවකින් පැවිදි බිමට පත්කරන්නෙමි”යි ප්‍රකාශ කළහ. තෙරුන් වහන්සේ ඇතුළු පිරිසට වන්දනා කොට රජු පිටව ගිය නොබෝ වේලාවකින් ධර්ම ශ්‍රවණයට කාලඝෝෂා කරන ලෙස සුමන සාමණේරයන්ට දැනුම් දුන්හ. අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී මුලු තම්බපණ්ණි දිවයිනටම ඇසෙන සේ තුන් වතාවක් කාලඝෝෂා කළහ. අකනිටා බඹ ලොව දක්වා පැතිර ගිය ඒ ආරංචියෙන් මිස්සක පව්වට පැමිණි දෙවි බඹුන්ට සමචිත්ත සූත්‍රය වදාළ මිහිඳු මාහිමියන් අසංඛෙය්‍යක් දෙවියන්ට ධර්මාවබෝධය ලබාදුන්නේ උදාවූ පොසොන් සඳ කැලුමින් එකලු වූ මිස්සක පව්වේ දී ය. දෙවන දිනයේ දෙවනපෑතිස් රජ මැදුරට දනට වැඩි ධර්මදූත පිරිස ගෞරව බහුමානයෙන් පිළිගත් රාජකීයයන් විසින් කළමනා සියලු උපස්ථාන නොපිරිහෙලා ඉටුකරන ලදී. දන්කිස නිමවා

දහම් වැසි වස්සමින් ප්‍රේතවස්තු - විමානවස්තු හා සච්ච සංයුක්ත දේශනා සිදු කළ මිහිඳු මහා රහතන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් සුපහන් සිත් ඇති අනුලා දේවිය ඇතුලු පන්සියයක් රාජ කුමාරිකාවෝ උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියාහු ය.

පසු දින කිහිපයේ දී වදාළ දේවදූත, ආසිවිසෝපම, අග්ගික්ඛන්ධෝපම, අප්පමාද ආදී සූත්‍ර දේශනාවන් ද අනමතග්ග පරියාය ධර්මය ද අසා සුවිසල් පිරිසක් ධර්මාවබෝධය ලැබී ය. දෙවනපෑතිස් රජුගේ මහාමේඝ වන උද්‍යානය සඝ සතු කොට පූජා කළ පසු ලක් ධරණී තලය කම්පා විය. මිහිඳු මාහිමියන්ගේ උපදෙස් මත පිහිටා ථූපාරාම මහා සෑය ඉදිකළ මහ රජතුමා යොදුනෙන් යොදුන චෛත්‍යස්ථාන ඉදිකරමින් ලක්දිව බුදුරදුන්ගේ උරුමයක් බවට පත් කළේ ය. අරිට්ඨ ඇමතිතුමා ඇතුලු පිරිසගේ පැවිදිවීමෙන් සිංහල බෞද්ධ සඟ පරපුර පහළ වූ අතර රජතුමා ප්‍රමුඛ සියලු රටවැසියන් නොබෝ දිනකින් බුදු දහම වැළඳ ගත්හ. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ වැඩමවීමෙන් ලක් බුදු සසුන වඩාත් සංවිධානාත්මක විය.

ඒ මිස්සක පව්වෙන් පායා ආ සිරි මිහිඳු පොසොන් සඳ උදාවීමෙන් සාමාජීය, ආචාර ධර්මීය, අධ්‍යාත්මික හා භෞතික ක්ෂේත්‍රයන්හි ඇතිවූ පරිවර්තනය පුදුම සහගත ය. ආකෘතියෙන් හා ජීවයෙන් නව ආරකට පිවිසි කලා ක්ෂේත්‍රය ද, නව සාරධර්ම හා ආචාර ධර්ම වලින් පිරිපුන් හෙළයන් ද නිසා ගෘහ නිර්මාණ, චිත්‍ර කර්මාන්තය, මූර්ති කලාව මුලුමනින්ම බෞද්ධ තේමාවන් හා හැඩ හුරුකම් පිළිබිඹු කළේ ය. වැව් තලයෙන් පිළිබිඹු වන දාගැබ්, කසාවතින් එකලු වූ වන අරණ, කලු ගලින් මතු වූ බුදුරුව, විහාර බිතු සිතුවමින් ඇඳී ගිය ජාතක කථා ආදිය නිසා ප්‍රාණ වායුවෙන් බෞද්ධ වූ ද, ආකෘතියෙන් සිංහල වූ ද අද දක්වාම නොසැලී පවතින පාරිශුද්ධ ශිෂ්ටාචාරයක් සිංහලයන්ට උරුම කරදුන් මිහිඳු මහ රහතන් වහන්සේ අප හද මැදුරෙහි සැමදා වැඩ සිටිනා අනුබුදුරදුන් ම වේවා. අප කෙරෙහි අනුකම්පාවෙන් ලක්දිවට වැඩම කොට මෙහිම පිරිනිවන් වැඩි සිරි මිහිඳු සිරිපා හදපිරි බැතියෙන් පිණිපා කොට; ගෞතම බුදුරදුන්ගේ දහම් දිවයින බොහෝ කලක් සාධු ජනයන්ගේ නිජබිමක් ලෙසින් නිරුපද්‍රිතව පවතීවා යැයි ප්‍රාර්ථනා කරමු.