Print this Article


අත්හැරීමේ නිදහස

අත්හැරීමේ නිදහස


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

මා පස් අවුරුද්දක් තායිලන්තයේ වන සෙනසුනක පුහුණුව ලැබූ කාලයේ විටින් විට වනසෙනසුන අත්හැර පා ගමනින්ම අවට වනසෙනසුන්වලට යෑමට. වනාන්තරයේ සැරිසැරීමට අප උනන්දු කළා. අනෙක් වනසෙනසුන්වල සිටි විශිෂ්ට ගුරුවරුන් බැහැදැකීමට මේක කදිම අවස්ථාවක් වුණා.

එමගින් අනෙක් ගුරුවරුන් උගන්වන්නේ කෙසේ ද කියා දැන කියා ගන්න ලැබීමෙන් පුළුල් අත්දැකීම් එක්රැස් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම වනාන්තරවල , කඳු පෙදෙස්වල ඇවිද නිසල බව අත්විඳින්න ද මේ ගමන්වලදී හැකි වුණා.

මේ ගමන් බිමන් යන විට තමන් වාසය කරන කුටියේ කිසිම දෙයක් තියා ගන්න අවසරයක් තිබුණේ නැහැ. යමක් එක්රැස් කරගෙන තිබුණා නම්, ඒවා වෙනත් කෙනෙකුට දෙන්න සිදුවුණා. මේ විදිහට තමන් වෙනුවෙන් කිසිම දෙයක් ඉතුරු කරගන්න අවසර ලැබුණේ නැහැ.

වස්තුව, දේවල් කොයිතරම් බරක් ද යන්න වටහාගැනීමට මේ අභ්‍යාසය අපට ප්‍රයෝජනවත් වුණා. දවසක් දෙකක් මේ ගමන යනවිට, ඔලොගුවේ තිබෙන දේවල් එකින් එක අත්හැර , ඉතා අවශ්‍ය ස්වල්ප දෙය පමණක් රැගෙන යාමට සිදුවුණා. මේ විදිහට ඉතාම අවශ්‍ය දෙය පමණක් ඉතුරු කරගත්තාම ඔලොගුව අප්‍රමාණව සැහැල්ලු වුණා. මේ අත්දැකීම් ඔබට වුණත් අත්විඳින්නට පුළුවන්.

භික්ෂූන් වහන්සේලා වූ අපට කුමන තැනකට ගියත් රෑට නිදාගන්න ඇඳක් ලැබෙනවා. ඇඳක් නොලැබුණොත් ගහක් යට වුණත් නිදාගන්න පුළුවන්. එය පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඕනෑම ගමකට වැඩියොත්, කන්න යමක් ලැබෙනවා. සමහරවිට රසවත්ම කෑම නොවන්න පුළුවන්. ගමකට වැඩියාම බොන්න වතුර ළිංවල තිබෙනවා. මෙහෙම වුනාම හරිම නිදහසක් ලැබෙනවා. දේවල් අත්හැරීමේ නිදහස. මේක හරියට තව්තිසා දිව්‍යලෝකයට ගියා වගෙයි. කිසිම සිත් තැවුලක්, සිත් කරදරයක් නැහැ. ඔබට අඳින්න අඳුම් තිබෙනවා. මදුරුවන්ගෙන් බේරෙන්න මදුරු දැලක් ගෙනියන්න පුළුවන්. හිසට හෙවණට කුඩයක් අරගෙන යන්න පුළුවන්. රෑට නිදාගන්න ඕන වුණාම කොතනක හරි නවතින්න පුළුවන්.