Print this Article


ඒහි පස්සික 17: කරදර වලින් මිදෙන්න පන්සිල් රකින්න

කරදර වලින් මිදෙන්න පන්සිල් රකින්න

කයෙහි පැවැත්මට බලපාන කාරණා හතරක් ධර්මානුකූලව තිබෙනවා. මොනවද මේ කරුණු, කර්ම, චිත්ත, සෘතු, ආහාර යනුවෙන්. අපගේ කය මේ ආකාරයට තිබීම සඳහා හැම අවස්ථාවකම කර්මය හේතුවෙනවා. ඒ වගේ ම අපේ සිතත් ඊට හේතු වෙනවා.

ප්‍රසන්න මුහුණ තරහ, කේන්ති ආ විට මොහොතකින් අවලස්සන වෙනවා. යක්ෂයෙක්, යක්ෂනියක් වගේ වෙනවා. බලන්න, වෙනස් වුණේ සිතයි. සිත වෙනස් වන විටම මුහුණ වෙනස් වනවාද? නැද්ද? වෙනස් වෙනවා. එහෙම නම් අපට ඉතා පැහැදිලියි හිත අනුව කය වෙනස් වෙනවා කියන කාරණය. හැඟීම් අනුව ශරීරයේ හෝමෝනයන් ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි. රසවත්, ප්‍රණීත ආහාරයක් ලැබුණොත් කටට කෙළ උනනවා. ඒ වගේ අපේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න විවිධ වූ අනවශ්‍ය හැඟීම් මතු වන විට නොයෙකුත් හෝමෝන මේ ශරීරයේ උපදිනවා. එවිට තමන්ගේ ශරීරය තමන්ටම විෂ ශරීරයක් බවට පත්වෙනවා. අවසානයේ දී එහිදී අධ්‍යාත්මික පැත්ත, තමන්ගේ සිත නිවැරැදිව තබා ගැනීම රෝග අඩුවීමට හේතු වෙනවා. සිත ශාන්තව තබා ගැනීම රෝග අඩුවීමට හේතුවක් වෙනවා. සමහර අයට හිත නරක්වීමෙන් රෝග හටගන්නවා. සමහර විට තොවිල් ආදිය කිරීමෙන් අර හිතේ පැවැති බිය නිසා සමහර විට සියලු රෝග සුව වුණා කියල විශ්වාසයක් ඇති වෙනවා. හදි හූනියම් කරලයි මේවා ඇති වුණේ කියන සැකය හිතට ඇති වූ විට ඉහත කී ආකාරයෙන් ඒවා සුවවන බව ඇතැම් අය විශ්වාස කරනවා.

සමහරවිට එහෙම හිතපු නිසා කට්ටඩි මහත්මයෙක් පැමිණිලා ශාන්තිකර්මයක් කළ විට අර රෝගියා කල්පනා කරනවා දැන් තමන්ට සුවයි කියල. හරි ගියේ මොනවාද? සමහර විට සමහර කෙනකුට ඒවායෙන් හරි යන අවස්ථාවක් තිබෙන්නත් පුළුවන්. ඒත් ඒ හරි ගියේ මොනවාද? හිත නේද එසේ හරිගියේ. වැරැදි දෘෂ්ටිය නිසා කල්පනා කරනවා අර ශාන්ති කර්මය කළා පමණයි සියල්ලම හරිගියා කියලත් කියනවා.

මෙබඳු රෝග හදාගත් විට සමහරු අසවල් නිවසේ තිබූ ලෙඩ රෝග අර ශාන්ති කර්මය කළාට පසු සියල්ල නිරෝගි වුණා කියල දැන ගත් විට අර මැලේරියා මදුරුවා වගෙයි.විෂබීජ අරගෙන ගමේ හැම නිවසකටම යනවා. ගිහින් විෂබීජය තැන් තැන්වල බෝ කරනවා. කරදරයක්, අසනීපයක් වූ විට කළ යුතු දේ තමයි ඒ අය නිවැරැදිව අඩු තරමින් නිවසේ අයවත් එකතු වන්නට ඕනෑ. එසේ එකමුතු වී සියලු දෙනාම ඖෂධයක් ලෙස පංචසීලය ආරක්ෂා කරන්නට එකඟ වෙන්න ඕනෑ. කරදරකාරී තත්ත්වය එන්න එන්නම වැඩි වෙනවා. අප කවුරුත් එකතු වී පන්සිල් ආරක්ෂා කරන්නට ඕනෑ කියල එකඟතාවයකට පැමිණිය යුතු යි.

තමා අතින් පෙර සිදු වී ඇති කර්ම මේ පඩිසන් දෙන්නෙ. විපාකදෙන්නෙ. මේ එන කර්ම තමන්ගේ ඇස් දෙකට පේන්නේ නෑ. එහෙම පෙනෙනවා නම් තමන්ට මොනවා කර හෝ නතර කරන්නට තිබුණා. මෙය නවත්වන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා භාවිත සීලය යනුවෙන්.

අප සියලු දෙනා එකමුතු වී පන්සිල් ආරක්ෂා කරමු යනුවෙන් භාවිත චිත්ත භාවිත කාය වශයෙන් සිතෙන්, කයෙන් වැරැදි නොකර හරින්නට යහපත් ශ්‍රද්ධාවක් පැවතිය යුතු යි. නිවසේ ඇති කැලි කසළ ඉවත් කරල, හොඳින් පවිත්‍ර කරලා තවත් එක් ස්ථානයක් ඉතා පිරිසුදු කර එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කර දිනකට වරක් හෝ දෙවරක් නිවසේ සියලු දෙනා එකට එකතු වී ශ්‍රද්ධාවෙන් බුද්ධ වන්දනාව සිදු කර, පන්සිල් අධිෂ්ඨාන කරගත යුතුයි. ජීවිතයේ අපි මදුරුවෙක් වත් නොමරා පංචශීලය සමඟ ජීවත්විය යුතුයි. ඒ තුළින් තමන්ට කර්මය ඉවත් කරගැනීමේ බලවේගයක් නිර්මාණය වෙනවා. ඒ වගේ ම කයෙන් කෙරෙන කිසිදු වරදක් සිදු නොකර වාසය කළ යුතු යි. ඒ අනුව නිවැරැදි දේ සඳහාම මේ කය යෙදවිය යුතු යි.වචනය නිවැරැදි වචනයම පාවිච්චි කළ යුතු යි. එය උපරිම වශයෙන් සිදු කළ යුතු යි. ඊළඟට තමන්ගේ නිවස තුළම භාවනා කරන්නට පුරුදු වන්නට ඕන. පෙරදා සමාදන් වූ සීලය නැවත පිරික්සීමෙන් නැවත සීලය සමාදන්විය යුතුයි. එසේම ටිකෙන් ටික භාවනාවන් වර්ධනය කර ගත යුතුයි. කයේ පැවැත්මට හේතුවන කාරණා මුලින්ම තිබේ. කර්ම, චිත්ත, සෘතු ආහාරවේ.