Print this Article


පොසොන් පෝදා පණිවුඩ

පොසොන් පෝදා පණිවුඩ

ලක්වැසියනට බුද්ධ ධර්මය දායාද වූ දිනයයි

පූජනීය පොසොන් පුන් පොහෝ දිනය ලක්වැසි බෞද්ධයනට ඉතා සුවිශේෂී පුන් පොහෝ දිනයකි. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වැන්නේ දී දඹදිව ධර්මාශෝක මහාධිරාජයාගේ පුත්‍ර මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයේ අනුරපුර මිහින්තලාවේ මිස්සක පව්වට වැඩම කොට දේවානම්පියතිස්ස මහරජු ඇතුලු පිරිස බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නයේ පිහිටවූ පොසොන් පොහෝ දිනය ලක්වැසියනට බුද්ධ ධර්මය දායාද වූ දිනය යි.

බුදුදහම ලැබීමෙන් පසු ලක්වැසියන්ගේ සිතුම්, පැතුම්, ගතිගුªණ ආදිය සමග සමස්ත ජීවන ක්‍රමයම වෙනස් විය. සිංහල බෞද්ධ රාජ්‍යයක ආරම්භයත් සමග තෙරුවන් සරණ ගිය, පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය විය. ඔවුනට නුවණැස පහළ විය. සදහම් ආලෝකය මුළු දිවයින පුරා පැතිර ගියේත්, බෞද්ධ ශිෂ්ටාචාරය, සංස්කෘතිය හා සභ්‍යත්වය සමග වෙහෙර විහාර, දාගැබ්, පෙති පිළිම, කලා ශිල්ප දායාද වූයේත් මහින්දාගමනයෙන් පසුව ය. මෙම උතුම් පොහොය දිනය ලක්වැසි ජනයා සැදැහැසිතින් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් සැමරීම බලවත් යුතුකමකි.

මුළු දිවයින සදහම් ආලෝකයෙන් නැහැවුණු මෙම උතුම් පොහෝ දිනයේ දී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා පින්බිමට වැඩම කොට වසර 2326 ක් සපිරීම නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලාවේ දී 57 වන වරටත් ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වීමත්, බුදුසරණ පුවත්පතේ පොසොන් අතිරේකයක් පළ කිරීමත් අගය කොට සලකන අතර, එම සත්කාර්යයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සුබාශිංසනය කරම්හ. තෙරුවන් සරණයි.

****

ලේක්හවුස් ආයතනය වසරක් පාසාම සිද්ධස්ථාන කේන්ද්‍ර කොට පවත්වන පින්කම් බොහොමයකි

සම්මා සම්බුද්ධ නම් වු ලොව පහළ වු උත්තරීතරම ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ යහපැවැත්ම පිණිස පන්සාළිස් වසක් ධර්මය දේශනා කළ සේක. ඒ නිර්මල ධර්මය අප ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ බුද්ධ වර්ෂ 2326 කට පෙර පොසොන් පුන් පොහෝ දිනක ය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ එම ඓතිහාසික අසිරිමත් අවස්ථාව සිදුවිය. උන්වහන්සේ මිස්සක පබ්බතයේ වැඩ සිට එවකට ශ්‍රී ලංකාද්වීපය පාලනය කළ දේවානම්පියතිස්ස රාජෝත්තමයාණන් ආමන්ත්‍රණය කොට ශ්‍රී ලංකාව තුළ බුදු සසුන ස්ථාපිත කළ සේක. ඉන් අනතුරුව අප දිවයින ධර්මද්වීපය ලෙස ප්‍රචලිතව ලෝකයේ ප්‍රමුඛතම බෞද්ධ රාජ්‍ය බවට පත් වී ඇත.

ලේක්හවුස් ආයතනය වසරක් පාසාම අප රටේ බෞද්ධ සිද්ධස්ථාන කේන්ද්‍ර ‍කොට ගෙන සිදු කරන්නා වු පුණ්‍ය කර්මයන් බොහොමයකි. ඒ අතර පොසොන් පොහෝ දින මිහින්තලා චෛත්‍යය ආලෝකමත් කරමින් සිදු කරන්නා වු ආලෝක පූජාව ප්‍රමුඛ ස්ථානයෙහිලා සැලකිය හැකිය. නොකඩවා 57 වසරක් පවත්වන්නට යෙදෙන මේ අවස්ථා අද උද්ගතවී ඇති අර්බුදකාරී කාලවකවානුව තුළද පැවැත්වීමට කටයුතු කිරීම ප්‍රශංසාවට ලක් කළ යුතු ය.

එම නිසාම මිහින්තලා පුණ්‍ය භූමියෙහි ඒ අසිරිමත් පොසොන් පොහෝ දින සැමරීම සඳහා සිදු කරන්නා වු ආලෝක පුජාවන් මුළු මහත් දේශය පුරා බෞද්ධ පින්වතුන්ගේ පුනරුදය උද්දීපනය වන්නට හේතු වේවායි අධිෂ්ඨානය කරන අතර ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවායි ආශිංසනය කරම්හ.

****

පූර්වාදර්ශයද අමිල ආගමික සේවාවක්

මිහිඳු මහ රහතන්වහන්සේගෙන් ආරම්භ වු මෙරට බුදුදහම එදා මෙහි රජකම් කළ දේවානම්පියතිස්ස මහා රාජයා ඇතුළු රාජකීය ප්‍රභූවරුන් විසින් වඩ වඩාත් පණගන්වන ලදහ. ඒ රාජකීය ප්‍රභූවරුන්ගේ උද්යෝගිමත් බව නිසා නොබෝ කලකින්ම මෙරට බෞද්ධ රාජ්‍යයක් බවට පත්විය. එදා ආරම්භ වු ඒ බුදුදහම ජාතික ආගම වශයෙන් මෙරට අද දක්වා පවතී. ඒ ඒ කාලවල පැවැති කවර ප්‍රශ්නයකට වුවද මුහුණ දෙමින් මිහිඳු මහ රහතන් වහන්සේ ආරම්භ කළ ශ්‍රාවක සංඝ තලයේ මාර්ගෝපදේශකත්වය යටතෙහි මෙරට බුදුසසුන ප්‍රාණවත් ලෙස පැවත ආ බව සියල්ලෝම දන්නා කරුණකි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිිහින්තලා පව්වට වැඩම කොට, මෙරට බුදුසසුන පිහිටුවීම නිසා, ලංකාද්වීපයට සිදු වු සේවාව අපරිමිත ය. මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම නොකළහු නම් අපේ රටට මෙවන් තත්ත්වයකට පත්වීමට කිසිසේත් ම අවස්ථාවක් නොලැබෙනු ඇත. එදා මෙරට විසූ යක්ෂ, නාග, දේව, සිංහ සහ භද්දකච්චායන කුමරිය නිසා පැමිණි ශාක්‍ය වංශිකයන් ද එකමුතු කොට, පොදුවේ සැමට පැවිද්ද ලබා දී, ආගමික වශයෙන් පමණක් නොව, ජාතික වශයෙන් ද අනුබුදු මිහිඳු මාහිමියන් , දෙවන පෑතිස් රජු සමඟ රටේ එකීය භාවයක් ඇතිකිරීම ද, මෙරට බෞද්ධ රටක් කිරීම හා සමානම සිදුකළ උත්කෘෂ්ට කාර්යයක් බව නොකියාම බැරිය. ජාති – ගෝත්‍ර භේදයකින් තොරව, යක්ෂ – නාග – දේව– සිංහ සහ ශාක්‍ය යන සැමටම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මහණකම ලබාදීමට මඟ පෑදීම, අපරිමිත සේවාවක්සේ සැලකිය යුතු ය. එදා එසේ නොවිණි නම්, මේ දක්වා අපේ රටේ ගෝත්‍ර භේදය පවතිනු නොඅනුමානය. මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේ වෙනුවෙන් විවිධ ආගමික උත්සව පවත්වා ඇති බව අපේ ඓතිහාසික වාර්තාවේ දක්වති. පැරැණි චාරිත්‍ර ඉටුකරනු සඳහා වෙනදා මෙන්ම මෙවරද ලේක්හවුස් ආයතනයේ පූර්ණ දායකත්වයෙන් මෙම ජුනි මස 15,16 සහ 17 දිනවල පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව කියා නිම නොකළ හැකි තරම් මහඟු කුසලයක් බව කිව යුතු ය.

එසේම, මෙයට වසර 56 කට පෙර ලේක්හවුස් ආයතනය මගින් ආරම්භකළ මේ ක්‍රියාවලිය ආදර්ශයට ගෙන රටේ පැරැණි බොහෝ විහාරස්ථාන ගණනක ද විවිධ ආයතන මගින් ඒ ඒ ස්ථානවලද වාර්ෂිකව මෙවැනි පින්කම් පටන් ගැනීමෙන් ලේක්හවුස් ආයතනය මගින් දෙන ලද ඒ පූර්වාදර්ශය ද අමිල ආගමික සේවාවක් බව කිව යුතු ය. එබැවින් මේ 57 වැනි වරට ද සිදුකරනු ලබන මිහින්තලා ලේක්හවුස් අලෝක පූජාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක බවට පත්වේවායි ද, රටට ආදර්ශයක් වේවායි ද යන්න අපගේ නොවක් පැතුමයි!

****

මිහිඳු මාහිමි එළිකරදුන් දහම් මාවතේ යෑමට අදිටන් කර ගනිමු

ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ සිත් තුළ අනුස්මරණීය ආගමික, ජාතික, සුවිශේෂ ඓතිහාසික දිනයන් අතර අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ මෙරටට සැපැත් වූ පොසොන් දිනය තරම් වැදගත් දිනයක් නැත. අනුබුදු මිහිඳු මාහිමි ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ප්‍රඥා ප්‍රදීපය දල්වා මිස දිටු අඳුරු දුරලා බුදු රදුන් වදාළ අරි අටඟි මාවතට යොමු කළ නිසා අධ්‍යාත්මික, ආර්ථික, අධ්‍යාපනික හා සංස්කෘතික වශයෙන්, සමෘද්ධිමත් ජාතියක් වශයෙන් සිංහල ජාතිය විශ්ව කීර්තියට පත් විය. ශීලයෙන්, කාය–වාග් දුශ්චරිතවලින් වෙන්ව කාය වාග් සුචරිතයට යොමු වු හෙළයෝ සමාධියෙන් පඤ්ච නීවරණයන් මැඩ, තැන්පත් මනසක් ඇත්තෝ වී ප්‍රඥාවෙන් යථාර්ථය හැම දෙයකම දැකීමට හා අව්‍යාපාද අවිහිංසා හා පස් කම් ගිජු බව මැඩ කටයුතු කිරීම හෙවත් නෙක්ඛම්ම සංකල්පය ඇත්තෝ වූ හ. මේ නිසා හෙළයෝ ආත්මාර්ථයට වඩා පරාර්ථයට මුල් තැන දී කටයුතු කරන බෝසත්වරු වූ හ. පැල්පතේ සිට රජ මැදුර දක්වා සැමගේ ම උපතේ සිට මරණය දක්වා සිරිත් විරිත් , සිතුම්. පැතුම් සියල්ලම බුදු දහමින් පෝෂණය විය. රජතුමා ප්‍රමුඛ සියලු දෙනා පරාර්ථයට මුල් තැන දී ධාර්මිකව කටයුතු කිරීම නිසා සිරිලක් බිම ධර්ම ද්වීපයක්, ධාන්‍යාගාරයක් විය. අද රටේ ආර්ථික ,සාමාජික හා සාමයික සියලු ගැටලුවලට හේතුව පාලක පාලිත දෙපක්ෂයම යුක්තියට, සත්‍යයට, ධර්මයට පිටු පා ආත්මාර්ථකාමීව කටයුතු කිරීමයි. යළි අධ්‍යාත්මික, ආර්ථික සමෘද්ධිමත් සාමය සමාදානය පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මිහිඳු මාහිමි අපට එළිකරදුන් දහම් මාවතේ යෑමට අදිටන් කර ගන්නා ලෙස සියලු දෙනාගෙන් මෙත් සිත් පූර්වකව සිහිපත් කර සිටිමි.

****

අධ්‍යාත්මික සුපෝෂණයත් සංස්කෘතික ආඪ්‍යත්වයත් සුරක්ෂිත කිරීම අප සැමගේ වගකීමකි

අනුබුදු මිහිඳු මාහිමියන් ගේ අසිරිමත් ලංකාගමනයෙන් 2326 වසක් සපුරමින් උදා වූ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. පොසොන් දිනය වනාහි ලක්දිව බුදු සසුනේ ආරම්භයටත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමටත් මූලික වූ මතු අනාගතය පුරාත් සාදර සිතින් අනුස්මරණය කැරෙන අග්‍රතම ජාතික පූජෝත්සව අවස්ථාව යි.

විවිධ ජන ඇදහිලි, විශ්වාස , පුදපූජා ඇසුරේ සිටි ජනතාවකට මහින්දාගමනයෙන් උරුම වූයේ අහිංසාව පදනම් කොටගත් සංවිධිත ආගමකි. මේ වූකලි ආගමික ජීවිතයට මෙන් ම ප්‍රායෝගික ජීවිතයට ද නව පරමාර්ථයක් එක් කළ ඓතිහාසික සංසිද්ධියකි. ත්‍රිපිටක ධර්මය, මතු නො ව ලේඛන කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කර්මය, ස්තූප නිර්මාණ ශිල්පය යන ආදී සියලු ක්ෂේත්‍රයන්හි උදාව සිදු වෙමින් දේශීය සංස්කෘතියේ අර්ථපූර්ණ පරිවර්තනයකට හේතු කාරක වූයේ පොසොන් පෝදා යෙදුණු මිහිඳු මාහිමියන් ගේ ආගමනය යි.

බුදු දහම ලෝක ස්වභාවය පදනම් කොටගත් ධර්මයක් වීමත්, කෘෂික ජීවිතයට අදාළ ස්වාධීන ධර්ම මාර්ගයක් වීමත් නිසා එය මෙරට සමාජයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තියට පත් වූයේ ය. බෞද්ධ භික්ෂූන් හට ප්‍රධානත්වය හිමි වන අධ්‍යාපන ක්‍රමයක් ද මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙනු ලැබ මෙරට තිරසර ව පිහිටියේ ය. අට සැට ලෙන් ශ්‍රී ලංකාවේ මුල් ම අධ්‍යාපනික මධ්‍යස්ථාන බවට පත් වූ අතර ලෙන්, ගුහා සහ භික්ෂූන් සාමූහික ව විසූ පිරිවෙන්, විහාරාරාම සේ වැඩි දියුණු විය.

මිහිඳු හිමියන් ලක්දිවට වැඩ අසූවස් සපිරෙණ තෙක් දිවි ගෙවු මිහින්තලාව උන්වහන්සේ ගේ ලෝකාර්ථචර්යාවට කැප වූ ජීවිතයත්, අත්‍යුදාර ශාසනික සේවාවත් සිහිපත් කැරෙන මහා ස්මාරකයක් වැන්න. සොබාදහමේ අපූර්ව දායාදයක් බඳු මෙවැනි ගිරි මුදුනක දිවි ගෙවමින් උන්වහන්සේ ලාංකේය රජ දරුවන්ටත් , මහජනතාවටත් ප්‍රකට කළේ ප්‍රකෘතිය ඇසුරේ විඳිය හැකි නිරාමිස පී‍්‍රතිය යි.

පොසොන් පොහෝදා අපට උරුම වූ ඒ මාහැඟි සහනශීලි ආගමික සංස්කෘතියේ හරය වන අප්‍රමාණ මෛත්‍රිය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තර පරමාදර්ශය, ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත මෙය වේ. මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාව ගේ පොසොන් පෝදා පරමාර්ථය විය යුත්තේ එය යි. ඒ අධ්‍යාත්මික සුපෝෂණයත්, සංස්කෘතික ආඪ්‍යත්වයත් සුරක්ෂිත කිරීම අප සැමගේ වගකීමක් ද වේ.

ඒ සඳහා ලක්වැසි ඔබ සැමට දිරි බල ,නැණ බල ලැබෙන සුබ පොසොන් මංගල්‍යයක් වේ වා යි ප්‍රාර්ථනය කරමි.

****

ධර්මාලෝකය ලබමින් මනුෂ්‍යත්වය ගොඩනැංවීමට අත්වැල් බැඳ ගත යුතු ය

යම්කිසි රටකට, ජන සමාජයකට සංක්‍රමණය වන ධර්ම මාර්ගයක් එකී ජන සමාජය නවතාවයට පත්කරමින්, සමාජ, සංස්කෘතික, දේශපාලන යන සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසක් ඇති කිරීම පිළිබඳ ලෝක ඉතිහාසයේ අගනා නිදසුනක් ලෙස බුදුදහම ලංකාව තුළ ස්ථාපිත වීමෙන් ඇති වූ සමාජ පුනරුදය දැක්විය හැකි ය.

සත්‍ය ධර්මය ජන සමාජයක නිදන්ගත වීමට ආක්‍රමණ, හිංසන හෝ ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නොවන බවට බුදුදහම අප රට තුළ ස්ථාපිත වූ ආකාරයෙන් මනාව පැහැදිලි වේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක් දේශයට වැඩම කළේ, බුදුන් වහන්සේ පෙන්වා දුන් සදහම් මාර්ගය අවබෝධ කරගැනීමට හැකි ජන සමාජයක් මෙහි සිටින බවට පැවති පැහැදිලි අවබෝධයෙනි.

මෙම උතුම් වූ පොසොන් පොහෝ දිනයේ අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ එකී සත්‍ය ධර්මයේ ගැඹුරු උත්තරීතර වටිනාකම් සමුදාය වෙත ය. අන්තවාදී නපුරේ බලවේග ක්‍රියාත්මක වන මෙබඳු වකවානුවක අප වඩ වඩාත් ධර්මාලෝකය ලබමින්, මනුෂ්‍යත්වය ගොඩනැංවීමට අත්වැල් බැඳ ගත යුතු ය.

බාහිර වත්පිළිවෙත් තුළින් නොව සැබෑ දහම් හරයෙන් අපි ජීවිත පොහොසත් කර ගනිමු. පරමාදර්ශීව අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත් වෙමු. ඒ සඳහා සැම සිත් පහන් වේවායි මෙම උතුම් වූ පොසොන් පොහොය දිනයේ ප්‍රාර්ථනා කරමි.