Print this Article


පහන් සිතක කවි

මිහිඳු හිමියනි

පුන්සිසි මඬල ලෙස අඹතල මුදුනෙ සිට
ඇමතූ තිස්ස හද බුදු බණ උයන කොට
දුනු ඊතල කඩා දඩයම් වදුල යට
වැන්දා පුද බිමක් කර පින්බර සිහල රට

පැහැබර පොසොන් දිනයක සඳ එළිය දිදී
හිමි දෙසු දහම සෙත් මෙත් සිත් අතර රැඳී
දඩයම් යුගය බිඳ මිතනා පවෙන් මිදී
උස් කඳු මුදුන් නැඟ බුදු සිරි පතුල වඳී

ආගමනයෙන් පසු මේ පින්බිමට මගේ
ඉදිවිය වෙහෙර දාගැබ් තරගයට වගේ
සිහලෙන් වැව් පොකුණු ජල කඳ ඉහළ නැඟේ
මට නම් පරම රමණියයි මිහිඳු යුගේ


මට අවසරයි

අඳුරේ සිටිය ලක් වැසියන් හට පිහිට
වන්නට දඹදිවෙන් පැමිණියෙ මෙහෙට
අරහත් මිහිඳු හිමි ගුණ ගී ගයන්නට
මට අවසරයි! හිමි පා යුග වඳින්නට


දහම් දීපය

තෙවන දහම් සංගීතිය නිමා වින
අනු බුදු හිමි වපුලේ නිසි බුදු වදන
තෙවලා දහම දිවයින සපුරා වැඩින
ලක්බිම ‘දහම් දිවයින’ ලෙස නම් කෙරිණ

සම්බුදු පහස තෙවරක් ලද ලක් දෙරණේ
සිව්වග පිරිස විය ශාසන රකිණේ
බුදු කල් ගෙවන තෙක් සසුන ද තිර කෙරිණේ
අනුබුදු මිහිඳු නාමය ලොව පතළ විණේ


පොසොන් දිනේ අසිරිය

පා මෙත් කුළුණු සිත යහමග යවනු සිතා
‘එව තිස්සයෙනි’ අමතා අනු බුදුහු පුතා
පා යුග වඳින සඳ රජ අත් සිරස ඔතා
සිහියට නැඟෙයි ගිරිකුල සිදු කෙරුණ කතා

විමසා රජ නුවණ අඹ පැනයකට ඇසූ
පහදා දෙමින් සවනට බුදු දහම් ඔසු
සිල්වන්තයකු කොට දඩ කෙළියකට පසූ
බොදුලක් බිමක් විය අදටත් දහම් දෙසූ


පොසොන් දිනේ අසිරිය

පා මෙත් කුළුණු සිත යහමග යවනු සිතා
‘එව තිස්සයෙනි’ අමතා අනු බුදුහු පුතා
පා යුග වඳින සඳ රජ අත් සිරස ඔතා
සිහියට නැඟෙයි ගිරිකුල සිදු කෙරුණ කතා

විමසා රජ නුවණ අඹ පැනයකට ඇසූ
පහදා දෙමින් සවනට බුදු දහම් ඔසු
සිල්වන්තයකු කොට දඩ කෙළියකට පසූ
බොදුලක් බිමක් විය අදටත් දහම් දෙසූ


පොසොන් සඳෙන් නැහැවුණු ලක් දෙරණ

ලක් වැසියා නොදුටු හා නොලබපු දහම යි
ගෙන එන්නට මිහිඳු හිමියන් කැප වූවයි
තුනුරුවනගෙ ගුණ වරුසා ඇද හැලුනයි
එතුළින් අපේ ලක් දෙරණම නිවුනයි

දිගු ඉතිහාසයක් ඇති ඒ පින්බර දිනය
සුචරිතවත් බවෙන් සිහිකර ගත යුතු ය
දන්, සිල්, භාවනා කරමින් තම දිවිය
ජය ගන්නට පතමු මේ මිනිසත් භවය


නමදිමු මිහිඳු හිමි

සම මෙත වඩා හැම සත දුක කරන නිමී
අම මහ නිවන් මග පහදා හැඳින ගමී
එම මඟ දෙසුව හද කරුණා ගුණෙන් තෙමී
නමදිමු පොසොන් දින අනුබුදු මිහිඳු හිමී