Print this Article


මහින්දාගමනයයි සිංහල සභ්‍යත්වයයි

මහින්දාගමනයයි සිංහල සභ්‍යත්වයයි

බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයත් ඒ හා බැඳුණු සදාචාරයත්, සභ්‍යත්වයත් ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු අති උතුම් දිනය වන්නේ පොසොන් පුර පසළොස්වක දිනය යි. මිහිඳු මහරහතන් වහන්සේ සිංහල සභ්‍යත්වය ගොඩනැඟීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළහ.

දෙවන පෑතිස් රජු ද මෙරට පාලකයා වශයෙන් ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නිසා එකී සිංහල සභ්‍යත්වය මෙරට ජනයා අතර ව්‍යාප්ත කිරීම පහසු කාර්යයක් විය. එවක් පටන් සිංහල සභ්‍යත්වය පෝෂණය කිරීමටත්, අඛණ්ඩව පවත්වා ගෙන යාමටත් උර දුන් මහා සංඝරත්නයටත්, රජදරුවන්ටත් ජාතියේ ගෞරවය හා ප්‍රණාමය හිමි විය යුතු වේ.

මහින්දාගමනය මෙරට ජනයාගේ අධ්‍යාත්මික ශික්ෂණය ඇතිකරමින් ධර්ම මාර්ගයට යොමු කිරීම ප්‍රමුඛ කාර්යය වුවත් අතීතයෙහි සිට හෙළවැසියා අනුගමනය කළ අනර්ථකාරී පුරුදු දුරු කරමින් යහපත් ගුණධර්ම කියාදෙමින් මෙරට වැසියාගේ සභ්‍යත්වය පෝෂණය කිරීමට උපකාරි වන දේශනාවන් සිදු කිරීමටත්, චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමටත් අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදීමට මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රියා කළහ.

උන්වහන්සේ රජු හා රාජකීයන්ගේ සිතුම් පැතුම් හා බුද්ධිය කෙබඳුදැයි දැනගැනීමෙන් පසුව තෙරුවන් ගැන තත්ත්වාබෝධයක් ලබාදීම සඳහා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළහ. එමඟින් කාය වාග් සංවරයෙහි පිහිටා, සීල සංවරයෙන්, මානසික සැනසීම ලබා ගන්නා වූ අන්දම පැහැදිලි කළහ. ඉන්පසු රජගෙදර දී විමානවත්ථුව දේශනා කරමින් දිව්‍ය ආත්මබවයන් ලබමින් පී‍්‍රතිමත් ජීවිත ගෙවන පිරිස ගැන කරුණු දැක්වූ අතර, එයින් මිනිසෙකු ව යහපත් ක්‍රියාවල නිරත වීම, සැපවත් ආත්මභාවයන් ලැබීමට උපාකරීවන බව ද පැහැදිලි කළහ. එසේම පේතවත්ථු දේශනාව සිදු කරමින් මිනිසෙකුව ඉපිද අකුසල හා පාපී ක්‍රියාවන් සිදු කරන්නා කටුක ආත්ම ලබමින් වද හිංසාවන්ට යොමු වන ආකාරය පහදා දුන්හ.අනතුරුව කුසල හා අකුසල කර්මයන්ගේ විපාක හා පවෙහි ආදීනව දැක්වෙන දේවදූත සූත්‍රය දේශනා කළහ. බාලයා සිය අඥාන බව නිසා පව් කර මෙලොව, පරලොව දුක් විදින ආකාරයත් , පාපයෙන් වැලකී කුසල් සිදු කර දෙව්ලොව සැප විඳින ආකාරයත් බාලපණ්ඩිත සූත්‍රය ඇසුරෙන් විවරණය කළහ. මෙවැනි දේශනා ඇසු ජනයා පවට බිය වීමත්, කුසලයෙහි ඇලීමටත් , යහපත් පුරවැසියෙකුවීමට කටයුතු කිරීමටත් උද්‍යෝගයක් ඇති කරයි. එබැවින් එම දේශනා මෙරට වැසියාගේ ආකල්ප පරිවර්තනයක් සිදු කරමින් ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක් ගොඩනැඟීමට ඉවහල් වූ බව මනාව පැහැදිලි වේ.

සභ්‍යත්වයේ ඉලක්කය වන්නේ නරක පුරුදු බැහැර කර තමාගේ හා අනුන්ගේ වශයෙන් සැම දෙනාගේ ම යහපත උදා කරන යහපත් හැසිරීම් සිදු කිරීම ය. ඒ අනුව සමාජයේ වෙසෙන්නන් හොඳ වශයෙන් සලකන්නේ සභ්‍යත්වයට හේතුවන කරුණු ය. නමුත් මහින්දාගමනයට පෙර සමාජයේ ව්‍යාප්තව පැවැති සංස්කෘතිය, සභ්‍යත්වය උදාර එකක් නොවී ය. සත්ත්ව ඝාතනය, යක්ෂ හා නාග ආදී ගෝත්‍රික ජනයා සතුටු කරවන බිලි පිදීම හා බලි තොවිල් සිදු කිරීම ද විය. එසේම සත්ව ඝාතනය කිරීම හා එහිදී මරණයට පත්වන සත්ත්වයා දැක විනෝදයට පත්වීම එකල ජනයාගේ සාමාන්‍ය ලක්ෂණයක් වූ බව දෙවන පෑතිස් රජුගේ මුව දඩයමේ යාමෙන් පැහැදිලි වේ. සභ්‍යත්වයක් නො පිහිටි රජු මෙන් ම මිනිසුන් ද සාමාන්‍ය ක්‍රියාවල නිරත වෙමින් කාලය ගත කර ඇත.

බුදුදහම තුළ භික්ෂූන් වහන්සේගේ සදාචාරය හා සභ්‍යත්වය පෝෂණය කිරීමට සමත් ඉගැන්වීම් සමුදායක් ඇතුළත් වේ. එයට හේතුව වන්නේ බුදු දහමෙන් ඉගැන්වෙන පරම නිෂ්ඨාවට , නිර්වාණයට පැමිණිය හැකිවන්නේ සදාචාරයෙහි හා සභ්‍යත්වයෙහි උපරිම තත්ත්වයට පත්වූ පුද්ගලයන්ට පමණි. එනිසා බුදුන් වහන්සේත් සෙසු රහතන් වහන්සේලාත් එකී සදාචාරයෙහි පරම තත්ත්වයට පැමිණි උතුම් ආර්යයන් වහන්සේලා වෙති. එකී තත්ත්වයට පැමිණි උන්වහන්සේලා පරම කුසල නම් වූ සදාචාරාත්මක පදයකින් හඳුන්වනු ලබන්නේ සභ්‍යත්වයෙහි උපරිමයට පත්වූ බව සනිටුහන් කිරීමට යි. එම සදාචාරය හා සභ්‍යත්වය තම තමන්ගේ ජීවිතවල ගොඩනඟා ගැනීම සඳහා උන්වහන්සේලාට අවශ්‍ය ශික්ෂණය ද, මඟපෙන්වීම ද විනය ප්‍රඥප්තීන්වල හා සූත්‍ර දේශනාවල මැනවින් ඇතුළත් වෙයි. මෙම මාර්ගෝපදේශයන් මගින් භික්ෂු භික්ෂුණීහු සිත, කය හා වචනය යන තිදොරින් කිසිදු විටක අල්ප වු වරදක් හෝ සිදු නො කරති. නිදසුනක් වශයෙන් ගසක කොළයක් කැඩීම, මග යන විට කුඩා සතුන්ට හිංසාවක් සිදු නොවීමට වගබලා ගැනීම වැනි කිසිදු ආකාරයක කායික හිංසනයක් සිදු නොවීමට කටයුතු කරති . මේ නිසා සමස්ත භික්ෂු සමාජයෙහි සියලුම සාමාජිකයෝ පි‍්‍රය ඇසින් බලමින්, සමගිව . සතුටු සිතින්, එකිනෙකාට උදවු කරමින්, සන්සුන් ඉරියව් පවත්වමින් කාලය ගෙවති. මෙබඳු සදාචාරාත්මක චර්යාවන් සමුදායකින් යුක්ත ඉගැන්වීම් බුදුන් වහන්සේ විසින් භික්ෂු සමාජයට හඳුන්වා දෙනු ලැබුයේ භික්ෂූන් විසින් ගිහි සමාජයහෙි ජීවත් වෙමින් සිදු කළ ප්‍රාථමික ක්‍රියාවන් දුරු කර ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක් ගොඩනැඟීම සඳහා යි. මෙම සදාචාරය හා සභ්‍යත්වය ශ්‍රී ලාංකේය ප්‍රජාවට ලැබුණු උතුම් දිනය වන්නේ පොසොන් පුර පසළොස්වක දිනය යි.

බුදු දහමෙහි ඉගැන්වෙන ධර්ම කරුණු හා සදාචාරාත්මක ඉගැන්වීම් ඇසුරු කර ගෙන ශ්‍රේෂ්ඨ සිංහල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් බිහි විය. විශේෂයෙන් විනය පිටකයෙහි ඇතුළත් සේඛියා නම් ශික්ෂාවන් ඇසුරු කරගෙන කායික සමාචාරයන් සමුදායක් සිංහල සංස්කෘතියට ඇතුළත් විය. ඇඳුම් පැළඳුම් භාවිතය, සභ්‍යත්වයේ මූලික ලක්ෂණයකි. ලජ්ජා, භය ඇතිව සමාජයේ කටයුතු කිරීමට ගිහි පැවිදි සැමටම වැදගත්වන හෙයින් එකී ධර්ම ලෝකපාලක ධර්ම වශයෙන් හඳුන්වා ඇත. ඒ අනුව සිංහල සභ්‍යත්වයේ ලක්ෂණයක් වන්නේ හාත්පස වැසෙන සේ වස්ත්‍ර හැඳීමයි. ස්ථාන තුනක් වැසෙන සේ ඇඳුම් හැඳිය යුතු ය. ඉහළ කොටස ඉඟැටිය වටා ද, පෙකිණිය ද, පහළ කොටස දණහිස ද වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු වේ. හෙළ කුල කාන්තාවකගේ ලක්ෂණයක් වන්නේ විලිබිය වැසෙන සේ ඇඳුම් ඇඳීම හා ආචාරශීලිව සමාජයේ හැසිරීම යි. එනිසා එබඳු කාන්තාවකට සමාජයෙන් හිරිහැරයක් සිදු නොවී ය.

ආහාර ගැනීමේ දි ශිෂ්ටසම්පන්නව කටයුතු කිරීම හෙළ සභ්‍යත්වයේ ප්‍රමුඛ ලක්ෂණයකි. විනය දේශනාවලට ඇතුළත් සේඛියාවලින් කියැවෙන ආහාරපාන ගැනීමේ දී අනුගමනය කළ යුතු චාරිත්‍රවාරිත්‍ර සිංහල සභ්‍යත්වය ගොඩනැංවීමට උපකාරි විය. එනිසා අතීත සිංහලයා ශිෂ්ටසම්පන්න පිරිසක් වශයෙන් සමාජයේ ගෞරවයට පාත්‍ර විය. එහි දී යම් පමණකට ආහාර ගැනීම, පිඟාන දෙස බලා ආහාර ගැනීම, බතට සරිලන ව්‍යඤ්ජන ගැනීම, මුව පුරා බත් ගුලි නො ගැනීම, වැඩිපුර බත් හා ව්‍යඤ්ජන ගැනීමෙන් වැළකීම, අතිරේක ආහාර බත් තුළ නො සැඟවීම, ජීවිතය පවත්වා ගැනීමේ පමණට ආහාර ගැනීම, මුවෙහි ඇති බත් සපා අවසන් කිරීමට පෙර අතිරේක බත් මුවට නො ගැනීම, වැරැදි සෙවීමේ අරමුණින් අනුන්ගේ බත් පත දෙස නො බැලීම මෙහිදී අවධාරණය කෙරේ. මේවා සමකාලීන සමාජය තුළ පැවැති, පිරිහුනු සභ්‍යත්වයක් ඇති ජාතියක ලක්ෂයණයන් ය. ඒවා භික්ෂූන් තුළ මෙන්ම ගිහි සමාජයේ සදාචාරය වර්ධනයටත් බෙහෙවින් උපකාරි වේ. ගිහි හෝ පැවිදි කවරෙක් හෝ මෙබඳු වැරැදි හැසිරීම්වල නිරත වේ නම් සමාජය විසින් ඔවුන් පිළිකුල් කරයි. නිගරු කරයි.

සභ්‍යත්වයක් ඇති පිරිසක් වශයෙන් ආහාර අනුභවයේ දි අනුගමනය කළ යුතු තවත් චාරිත්‍ර කිහිපයක් මෙසේ දැක්විය හැකි ය. ආහාර මුව තුළ තබා ගෙන කථා කිරීම අශෝභන ය. ආහාර මුව තුළට විසිකිරීම, ශබ්ද නැගෙන සේ තොල් ලෙව කෑම, දිව එළියට දැමීම යනාදිය බුදු දහමින් අනුමත නො කරයි. මෙම වැරැදි පුරුදුවලින් දුරස්වීම, නිසා එකී පුද්ගලයා විනය ගරුක පුද්ගලයෙක් බව පෙන්වයි. ශබ්ද නැඟෙන සේ ආහාර අනුභව කිරීම, අත් , තොල් ලෙවකෑම, ඉඳුල් සහිත අතින් බොන වතුර භාජනය පිළිගැනීම, ඉඳුල් වතුර පිරිසුදු බිමක හෙළීම වැනි දේ සභ්‍යත්වයක් නැති පුද්ගලයන්ගේ ලක්ෂණයකි. හෙළ සභ්‍යත්වයේ ලක්ෂණයක් වන්නේ මෙබඳු පිළිකුල් සහගත කටයුතුවලින් බැහැර සදාචාර සම්පන්න සැමට පි‍්‍රයජනක පුද්ගලයෙකු බිහි කිරීම යි.

මහින්දාගමනයෙන් පෝෂණය ලැබු අපේ මිතුන්මිත්තන් තුළ පැවැති ශ්‍රී විභූතිය, සභ්‍යත්වය නිසා අතීත ශී‍්‍ර ලාංකිකයන් සැමගේ ගරු බුහුමනට පාත්‍ර වු ජාතියක් විය. වර්තමානය වන විට සමහර අය එවැනි සභ්‍යත්වයක් ගැන කිසිදු තැකීමක් නො කරයි. එය පරිහානීය පුද්ගල චරිතවල ලක්ෂණයකි. මෙවන් වටිනා දිනයක අතීත සිංහල සභ්‍යත්වය යළි සිහිපත් කර නැවත පිබිදීමට අදිටන් කර ගනිමු.