Print this Article


නිවන් සොයා යන අම්මාට මගේ පැවිදි දිවියෙන් හිමිවන කුසලයත් අත්වේවා - බ්‍රාහ්මණගම මුදිත හිමි

නිවන් සොයා යන අම්මාට මගේ පැවිදි දිවියෙන් හිමිවන කුසලයත් අත්වේවා - බ්‍රාහ්මණගම මුදිත හිමි

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය බ්‍රාහ්මණගම මුදිත හිමියන් දෙස් විදෙස්හි බොදු දනන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. සරල , සුගම බස් වහරින් ගැඹුරු ධර්ම කරුණක් වුව ශ්‍රාවක මනස ට ග්‍රහණය කරවන උන්වහන්සේ සිද්ධමුල්ල පුරාණ විහාරය, කුඩමාදුව සංඝිකාරාමය, දීපංගොඩ ශ්‍රීවර්ධනාරාමය, ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ග්‍රේට්ලේක්ස් බෞද්ධ විහාරය, කැනඩාවේ ඔයටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමය යන විහාරයන්හි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ය.

ශාසනික දිවියේ දීර්ඝ කාලයක් පුරා අධ්‍යාත්මික ගුණධර්මයන් ප්‍රගුණ කරන්නට, ශාසනෝන්නතිය වෙනුවෙන් කාලය , ශ්‍රමය කැපකරන්නට ශක්තිය,ධෛර්ය වූයේ තමන් වහන්සේගේ පින්බර මෑණියන් බව උන්වහන්සේ පවසති.

මගේ අම්මා මලවිගේ ඇග්නස් පෙරේරා මාතාවයි. මාගේ තාත්තා මුදිනිස් පෙරේරා මොරවක පියාණන් . මගේ මව්පියන් ආණ්ඩුවේ රැකියා කළ අය නොවෙයි. ගොවි පවුලක දක්ෂ ගොවියන්, ඒ කාලයේ මගේ තාත්තට කුඹුරු වතුපිටි විශාල ප්‍රමාණයක් තිබුණා. හරකබාන සිටියා. පවුලේ ආර්ථිකය ස්වයංපෝෂිතයි. අපි ඉතා සුවපහසු ජීවිතයක් ගත කළා.

ඒත් මට අවුරුදු දොළහක් වෙන විට තාත්තා මිය ගියා. පුංචි දරු දෙන්නෙක් සමඟ අම්මා තනිවුණා. අපේ අම්මා ඒ වනවිටත් බොහොම තරුණයි. තාත්තා නැති වූ දා සිටම අම්මා ආගමික පැත්තට නැඹුරු වුණා. සතර පෝයට සිල් ගත්තා. ඒත් ටිකෙන් ටික අපේ ජීවිතවලට බොහෝ කරදර ආවා. ඉඩකඩම්වල අයිතියට උසාවි යන්න පවා සිදුවුණා. ආර්ථික ප්‍රශ්නවලින් මිදෙන්න බැරි වුණා. මාත්, මල්ලිත් ජීවත් කරවන්න අම්මාට දුක් කන්දරාවක් විඳින්න සිදු වුණා. උදේ පාන්දර නැගිටලා අම්මා කඩයප්පන් හැදුවා. උදේ ඉස්කෝලේ යන්න කලින් අම්මා හදලා දෙන කඩයප්පන් ටික කඩයට ගෙන ගියේ මම යි. ආපසු ඇවිත් රබර් ගස් එකසිය පනහක් විතර කපලා අම්මට උදව්වෙලයි ඉස්කෝලේ ගියේ. කවදාවත් පාසල් නොගියත් අම්මා ඉගෙනීමේ වටිනාකම දැන සිටියා. හැම මොහොතකම ඉගෙන ගන්නා ලෙස අප උනන්දු කළා. මොන තරම් ප්‍රශ්න ආවත් අම්මාට ඒවා දරා ගන්නට පුදුමාකාර ශක්තියක් තිබුණා. මටත්, මල්ලිටත් තිබුණු දැඩි ආදරයත්, ආගමික නැඹුරුවත් නිසා අම්මාට ඒ ශක්තිය ලැබෙන්නට ඇති.

මම පුංචි කාලෙ සිටම ඉගෙනුමට දක්ෂයි. ඒත් කිසිම ඥාතියෙකුගෙන් කිසිම උදව්වක්. උපකාරයක් ලැබුණේ නෑ. පාසලට අඳීන්න අපට සපත්තු තිබුණේ නෑ. කලිසම් දෙකයි, කමිස දෙකයි විතරයි. දහම් පාසලේ සෑම විභාගයකින්ම මම පළමුවැනි තැනට ආවා. තෑගි ලෙස ලැබුණේ කලිසම් රෙද්දයි, කමිස රෙද්දයි, එය නොවරදවාම ලැබුණා. අම්මට එයත් විශාල සහනයක් වුණා. සමහර දවස්වලට ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ හරිම කුසගින්නේ. ඒත් අපව ජීවත්කරවන්න වත්ත පිටියේ, මහ පොළවත් සමඟ පොර බදන අම්මාට වෙලාවට කෑම වේල හදාගන්න බැරි වෙනවා. ඒත් අපි අම්මාට කවදාවත් දොස් කීවේ නෑ. ඇල්වතුර කෝප්පයකින් කුස පුරවගෙන කෑම ටික ලැබෙනතුරු ඉවසාගෙන සිටියා. තත්ත්පරයක්වත් අපතේ නොයවා අම්මා ගත වෙහෙසුවේ අප වෙනුවෙන් කියලා මමත්, මල්ලිත් හොදින් දැනගෙන සිටියා.

පොතපතේ දැනුම නැතත් මගේ අම්මට ජීවිත දැනුම තිබුණා. සමාජය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්වලට දක්ෂයි. මලු– පැදුරු වියන්න දක්ෂයි.

මගේ තාත්තා ටිකක් සැර පරුෂ කෙනෙක් ඒත් අම්මයි තාත්තයි හරිම සමගියෙන් ජීවත් වුණා. උස් හඬින් කතා කරනවා හෝ ඇසී නෑ. නරක වචනයක් කවදාවත් ඇසී නෑ. ඒ තරම් ලස්සන පරිසරයක් අපේ ගෙදර තිබුණා. පුංචි කාලෙ සිට අද දක්වාත් රණ්ඩු දබර වෙන අය දකින විට, නරක වචන ඇසෙන විට මගේ සිතට හරිම පිළිකුලක් දැනෙන්නේ අප ජීවත් වූ පරිසරය නිසා වෙන්න ඇති.

ඒ කාලේ ජීවිත අද තරම් සංකීර්ණ නෑ. පොල් අතු සෙවිලිකළ මැටි ගැසු පුංචි නිවසේ තිබුණු සැනසීම මොන තරම් ද? තාත්තා සැර පරුෂ චරිතයක් නිසා ඥාතීන් අතර වැඩි ඇසුරක් තිබුණේ නෑ. ඒත් මගේ අම්මා බොහොම ලස්සනට ඥාති සම්බන්ධතා ගෙන ගියා. අම්මා පවුලට සම්බන්ධ වුණාට පසුව හැමෝම එකමුතු වුණා.

පුංචි කාලෙ මම ඉගෙන ගත්තෙ බ්‍රාහ්මණගම මේධානන්ද මහා විද්‍යාලයේ. ඒ කාලේ ඒ පළාතේ තිබුණු අති විශිෂ්ට පාසලක්. පුංචි කාලෙ මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳ මතක ශක්තියක් තිබුණා.

සමිති සමාගම්වල හැම වැඩ සටහනකටම මම ඉදිරිපත් වෙනවා. සබකෝලයක් තිබුණේ ම නෑ. අම්මා සිල් සමාදන් වෙන්න පන්සලට යනකොට මම ත් යනවා. සිල් සමාදන් වෙනවා. ඒ කාලයේ හැන්දෑ වෙනකොට සිල් පවාරණය කරන්නේ නෑ. රාත්‍රිය ගත කළේ පන්සලේ බණ මඩුවේ. ඉතින් රාත්‍රියේ සිල් ඇත්තන්ට ඇහෙන්න සතිපට්ඨාන පොත කියවන්නේ මම. ඒ වන විට මට අවුරුදු දහතුනක් විතර ඇති. 1967 දී එස්.එස්.සී විභාගය හොඳින් සමත් වුණා. එච්.එස්. සී වලට සූදානම් වී සිටින අවස්ථාවේ දවසක් කිරින්දේ නිමලව ආරණ්‍යයේ දානමය පින්කමකට සහභාගි වුණා. එහි දී හාමුදුරුවන් වහන්සේගේ සංවර හැසිරීම, භාවනානුයෝගී ජීවිතය දැකලා මටත් මහණ වෙන්නට සිතුණා. ඒ කාලේ අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මා ඇතුළු ගමේ ළමයි දහ දොළොස් දෙනෙකුට සවස පන්තියක් පැවැත්වූවා. මාවිත්තර අරියවංශ හාමුදුරුවෝ. ඉස්කෝලේ පොත්පත් වගේම පන්සල් පොත් පත් කියවන්නත් මම බොහොම කැමැතියි. පන්සල් හෝඩියේ බැඳි අකුරු කියෙව්වා ම හොඳින් මතකයේ හිටිනවා. ඒ වගේම ඒ කාලයේ අද වගේ ටියුෂන් (උපකාරක) පන්ති තිබුණේ නෑ. ඉස්කෝලෙන් පස්සේ පැය දෙකතුනක් ගුරුවරු අපට ඉගැන්නුවා. මුදලට ඉගැන්නුවේ නෑ. එය ලජ්ජා නැති වැඩක් විදිහටයි ඒ කාලයේ ගුරුවරු සැලකුවේ.

මේ අතර මගේ මහණ වීමේ බලාපොරොත්තුව තවත් වැඩිවුණා. අම්මටයි, බාප්පටයි මේ ගැන කීවා. මා මහණ වීමට නිමලව ආරණ්‍යයට යනවාට ගමේ පන්සලේ හාමුදුරුවෝ කැමැති වුණේ නෑ. ඒ අනුව 1970 ජනවාරි විසි දෙවැනිදා මා මහණ දිවියට ඇතුළත් වුණා. ඒ දීපංගොඩ ශී‍්‍ර වර්ධනාරාමයේ දී. මාවිත්තර අරියවංශ හාමුදුරුවෝ, කිරුළපනේ සෝමානන්ද අනුනායක හාමුදුරුවෝ මගේ ගුරු හාමුදුරුවරු. ඒ වගේම පරගස්තොට පියරතන ලොකු හාමුදුුරුවන්ගේ අන්තිම ගෝලයා මම.

මම මහණ වෙනවාට අම්මා කැමැති වුණා. ඒත් බුලත් දීලා වඳිනකොට අම්මයි , ලොකු අම්මයි ඇඬුවා. මල්ලී නම් මම මහණ වෙනවාට කැමැති වුණේ ම නෑ. මගේ හොඳම යාළුවා හේමන්ත . ඔහුත් ඔහුගේ අක්කාත් මා පැවිදි වෙනවාට අකැමැති වුණා. ගමේ අය එකතුවෙලා මගේ මහණ පින්කම ලස්සනට සිදු කළා. ඉන් පස්සේ මා මහරගම භික්ෂු මධ්‍යස්ථානයට භාර දුන්නා. මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හාමුදුරුවෝ යටතේ ඉගෙන ගත්තා. මම දවසින් දවස අධ්‍යාපනයෙන් ඉහළට යනකොට මගේ අම්මා පුදුමාකාර මානසික සුවයක් වින්ඳා.මම මුලින්ම ඇමෙරිකාවට යන අවස්ථාවේ මට සෙත් පතන්න පින්කමක් තිබුණා. අම්මා සතුටින් සිටියත් අම්මා කීවේ ‘මමයි පොඩි පුතයි තනිවෙනවා. අපට හරි පාළුයි’ කියලයි. නොපෙන්නුවත් අම්මගේ හිතේ දුකක් තිබෙන්න ඇති.

මගේ අම්මා කවදාවත් මට උස් හඬින් බැණලා නෑ. දඟ වැඩ කළා තමයි. ඒත් මල්ලිත්, මමත් කවදාවත් වැරැදි වැඩ කළේ නෑ. දඟකාරකමට සතෙකුට හිංසා කරනවා දැක්කොත් අම්මා ඒ වායේ විපාක කියලා දුන්නේ පන්සලේ දී . විහාරයේ ඇඳ තිබෙන බිතු සිතුවම් පෙන්වමින් පේනවා නේද සතුන්ට හිංසා කරන අයට ලැබෙන දඬුවම්’ කියලා ඇය අපේ සිත්වල පවට බිය ඇති කළා. පුංචි කාලේ ඉඳලම පවට බිය වුණේ , ලජ්ජා වුණේ අම්මා නිසයි. අම්මගේ සංවර ශීලි හැසිරීම මටත් දායාද වුණා. මහරගම භික්ෂු මධ්‍යස්ථානයේ ඉන්න කාලේ මට සෙංගමාලය වැළඳුණා. බේත්හේත් ලැබුණා තමයි. ඒත් මට ඒවේලාවේ මගේ අම්මා නිතර මතක් වුණා. ළඟ හිටියා නම් කියලා හිතුණා. ඇස්වලට කඳුළු ආවා.

මගේ ගෝල හාමුදුරුවරු දකින විට මට මගේ සාමණේර කාලය මතක් වෙනවා. ඒ පොඩි හාමුදුරුවන්ටත් අම්මා මතක් වෙනවා ඇති කියලා මට හිතෙනවා. ඇතැම් වෙලාවට ගුණගරුකව හදාවඩා ගන්න දොස් කීවත්, ඒ හිතකින් නම් නොවෙයි. මගේ ගෝල හාමුදුරුවරු විසිනමක් පමණ සිටිනවා.

මගේ අම්මා ජීවිතයේ උපරිම ආයුෂ වින්දනය කළා. 2009 වසරේ අම්මා මිය යන විට වයස අවුරුදු අනූ අටක්.මම හිතුවේ සියක් වසක් අම්මා ජීවත් වෙයි කියලයි අම්මා මිය යන මොහොතේ හොඳ සිහි කල්පනාවෙන් හිටියා. අම්මා බලාගත්තේ මල්ලිගේ බිරිඳ. ඇය ලේලියක ලෙස නොව දියණියක් වගේ අම්මට ආදරෙයි. අම්මා ලෙඩ වුනාම බැලුවේ තමන්ගේ පුංචි දරුවෝ ගැන නොවෙයි. අම්මා ගැනමයි. අම්මා මිය යන දවසේ මගේ මල්ලිගේ පුතාට තෑගි උත්සවයක් තිබුණා. එතනට යන්න සූදානම් වෙලා මල්ලි අම්මාගේ දෙපා වඳින වෙලාවේ මල්ලිගේ සපත්තු කිලිටියි කියලා අම්මා ඒවාත් පිරිසුදු කර දී තිබෙනවා. මිය යන්න හෝරා, කීපයකට පෙර බුදුගෙට ගිහින් බුද්ධ වන්දනාව සිදුකරලා . මගේ අම්මා හරිම පිරිසුදුයි. කවදාවත් හිසට තෙල් ටිකක් දැම්මේ නෑ. මිය යන මොහොතේත් ඒ පිරිසුදු කම තිබුණා. මනා සිහි බුද්ධියක් තිබුණා. රෝග පීඩා තිබුණේ නෑ.

මට හිතෙනවා මම මගේ අම්මා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ඒ මගේ මහණ ජීවිතයට අතිශය සාධාරණයක් ඉටු කරන නිසයි. මහණ දිවියට ඇතුළත් වු දා සිටම මම අදටත් ආගමානුකූලව, විනයානුකූලව ජීවත් වෙනවා. නිර්වාණය සොයා යන ගමනේදී මගේ අම්මාට ඒ කුසලයත් හේතු වේවා යි මම ප්‍රාර්ථනා කරනවා.