Print this Article


මිස්සක පව්වෙන් පායා ආ පොසොන් සඳ

මිස්සක පව්වෙන් පායා ආ පොසොන් සඳ

මුළු දිවයිනම සාමාජීය, සංස්කෘතික හා අධ්‍යාත්මික වශයෙන් ප්‍රබුද්ධ ප්‍රගමනයකට පත්කරමින් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස දඹදිව් තලයෙන් මිහින්තලාවට වැඩමකොට දෙවනපෑතිස් රජු ප්‍රධාන ලක්වැසියන් බෞද්ධෝපාසකයන් බවට පත්කොට වදාළේ අද වන් පොසොන් පුන් පොහෝ දිනක දී ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි කේන්ද්‍රස්ථානය වූ මිස්සක පව්ව; දහස් ගණන් රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වී හෙළයන්ගේ අභිමානනීය නවෝදයෙහි කැඩපතක් ලෙසින් සිරි මිහිඳුකුල පුරාවත අද පවා මූර්තිමත් කරයි.

විතණ්ඩවාදීන්ගේ මිසදිටු අදහස් මූලෝත්පාටනය කරමින් තුන්වන ධර්ම සංගායනාව පවත්වා වදාළේ සිව් පිළිසිඹියාලාභී දහසක් පමණ රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ප්‍රධාන එම ශුද්ධෝත්තමයන්ට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ මෞර්ය රාජවංශයෙහි මුදුන් මිණ යන විරුදාවලිය ලැබූ ධර්මාශෝක රජතුමා විසිනි. ඒ වන විට අනේක විධ ශාසන විලෝමක මතවාදයන්ගෙන් හා භේද භින්න වූ නිකායාන්තර බෞද්ධ හා බෞද්ධ නොවන ශ්‍රමණ සම්ප්‍රදායයන් විසින් අරක් ගත් සිසිල් සදහම් දිය පිරි සසුන් දහ තලාව බේරාගැනීම සඳහා ධර්මාශෝක රජුගෙන් ලද සහයෝගය සාසන අන්තර්ධානය දක්වාම ගෞරවයෙන් අනුස්මරණය කළ යුත්තකි. පුරා දින හතක් රජ උයනෙහි වැඩ වසමින් මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රජුට පිරිසුදු ථේරවාදී ධර්මයෙහි මූලික ඉගැන්වීම් පිළිබඳ උගන්වා වදාරණ ලදී. අනතුරුව භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න විමසන ලද රජතුමා ධර්මවාදීන් හා අධර්මවාදීන් තෝරා බේරා ගත්තේ සැට දහසක් පමණ ශ්‍රමණ වේශධාරීන්ට සුදුවත් හඳවා සසුනින් නෙරපා හැරීමෙනි. අශෝකාරාමයේ ඒ දක්වා පුරා වර්ෂ හතක් නතරවී තිබුණ සංඝයාගේ උපෝසථ කර්මය සිදු කරවා ඒ සඳහා රාජ්‍ය ආරක්ෂාව ලබාදෙමින් සිව්වනක් පිරිසටම සසුන් ගුණදම් මුහුකරවා ගැනීමට ඇවැසි සියලු ඵාසු විහරණ සැලසූයේ දසරාජ ධර්මයෙහි පිහිටා රාජ්‍ය භාරය උසුලමිනි. සැදැහැති උපාසකයෙක් වූ ධර්මාශෝක මිහිපති අන්‍යාගමිකයන්ට පවා තම ඇදහිලි නිදහසේ සිදු කිරීමේ අයිතිය ලබාදුන්නේ බෞද්ධයන්ටම පමණක් උරුම වූ නිසඟ මෛත්‍රියෙහි ද, සහජීවනයෙහි ද, යහපාලනයෙහි ද ඇති ශාන්තිය තම ජීවිතයෙන්ම සංකේතවත් කරමිනි. ස්කන්ධ අසූහාර දහසක් වූ ශ්‍රී සද්ධර්මයට පූජෝපහාර පිණිස වෙහෙර - විහාර අසූහාර දහසක් ඉදිකළ දම්සෝ නිරිඳුන් සිදුකළ පරිත්‍යාගයන්ගේ ප්‍රමාණය අනේපිඬු සිටුතුමාගේ පරිත්‍යාගයන්ටත් වඩා වැඩි බව අසා ප්‍රීති - ප්‍රමෝදයෙන් ආඩ්‍ය සිත් ඇතිව මොග්ගලීපුත්ත තිස්ස හිමියන්ගේ සිරිපා වන්දනා කළේ ය. ඉන්පසු “ස්වාමීනි මා දැන් බුදු සසුනෙහි කොටස්කරුවෙකු වේ දැ”යි විමසා සිටියේ ය. පිළිතුරු වදාළ මොග්ගලීපුත්ත රහතන් වහන්සේ; මහරජතුමනි! දිළින්දෙක් හෝ වේවා ධනවතෙක් හෝ වේවා තම පුතු බුදු සසුනෙහි පැවිදි කරවයි නම් හෙතෙම සාසනයෙහි කොටස් කරුවෙකු වන බව වදාළ සේක.

සමීපයෙහි සිටි මිහිඳු කුමරුගේ මුව මඬල බැලූ දම්සෝ රජු “මා පුත් කුමරුනි, නුඹ පැවිදි වන්නේ දැ”යි ඇසී ය. එකහෙලාම ඊට එකඟ වූ මිහිඳු කුමරු මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ උපාධ්‍යායත්වයෙන් සසුන්ගත කළහ. පැවිදිව උපසම්පදාව ලැබූ මොහොතේ දී ම සිව්පිලිසිඹියා ලාභීව මහා රහත් පදවිය ලදහ. රාජ දියණිය වූ සුරූපී සංඝමිත්තා කුමරියගෙන් ද පැවිදි වීම සඳහා කැමැත්ත විමසූ රජු ඇය ද පැවිදි කරවා රහත් උත්තමාවියක් බවට පත් කළේ ය.

පරප්‍රවාද මඩිමින් කථාවස්තු ප්‍රකරණය නම් අභිධර්ම පර්යාය දේශනාකොට වදාළ මොග්ගලීපුත්ත තෙරුන් වහන්සේ අනාගතයෙහි බුදු සසුන කිනම් දේශයක ආරක්ෂා වන්නේදැයි අධිචිත්ත බලයෙන් විමසූහ. ඈත ප්‍රත්‍යන්ත දේශයන්හි බුදු සසුන සුරක්ෂිත වනු දැක කස්මීරගන්ධාර රට, මහිංසක මණ්ඩලය, වනවාසී දේශය, අපරන්තක දේශය ආදී රාජ්‍යයන් දහයකට ආසන්න ප්‍රමාණයකට ධර්මදූත කණ්ඩායම් පිටත් කොට යැවූහ. තම්බපණ්ණීදීපය නම් වූ අපගේ ලක්ධරණී තලයට සාසන දායාදය රැගෙන ඒමේ භාරය පැවරුණේ මිහිඳු මහා රහතන් වහන්සේට වීම මෙහිලා විශේෂයෙන් සිහිකළ යුතු ය. තම්බපණ්ණී දිවයිනට යෑම සඳහා කල් යල් බැලූ මිහිඳු මහා රහතන් වහන්සේට වැටහී ගියේ මුටසීව නම් මහලු රජු ලක්දිව රජු බවත්, ඔහුට මේ උතුම් ධර්ම දායාදය ලැබීමට තරම් කායචිත්ත බලයක් නොමැති බවත් ය. අනතුරුව පුරා මාස හයක් දක්ඛිනාගිරි ජනපදයෙහි චාරිකාවෙහි යෙදෙමින් වේදිස නගරයට වැඩම කළහ. වේදිස මහා සිටුගේ දියණිය වූ මිහිඳු මහා රහතන් වහන්සේගේ මව විසින් කරවා මහා සංඝරුවනට පිදූ වේදිසගිරි මහා විහාරයට වැඩම කළ සිරි මිහිඳු තෙරුන් වහන්සේ තම මව් දේවියට දම් දෙසූහ. මව් ගුණයට පිහිට වී අප රටට පැමිණීම සඳහා නැවතත් කාලය විමසන විට සක්දෙව් රජතුමා මිහිඳු තෙරුන් වෙත පැමිණ, ස්වාමීනී මුටසීව රජු කලුරිය කළේ ය. ඔහුගේ පුත් දෙවනපෑතිස් රජු රාජ්‍ය කරවයි; මේ තම්බපණ්ණී දිවයිනට වැඩම කිරීමට කාලයයි. මම ද ඔබවහන්සේට සහාය වන්නෙමියි ප්‍රකාශ කොට හෙළදිවට පැමිණෙන ලෙස ආරාධනා කළේ ය.

අනාගතය බලන දිවමන් බුදුරදුන් විසින් තුන් යලක් මේ සිරිබිමට වඩින ලදුව අප රට බුද්ධ භූමියක් බවට පත් කළ අතර මිහිඳු හිමි ලක්දිව වඩින දා සහාය වන ලෙස සක්දෙව් රජුට වදාළ සේක. සක් දෙවිඳුගේ ආරාධනාව පිළිගත් මිහිඳු සමිඳු ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සහ භණ්ඩුක උපාසක යන පිරිස සමඟ ලක්දිවට වැඩම කිරීම සඳහා වේදිසගිරි විහාරයෙන් ගුවන් තලයට පැන නැගුණහ. ස්වර්ණ හංස සමූහයක් සේ අහසින් වඩින විරාගී උතුමන්ට දෙව්ලොව දෙවියෝ අනේකවිධ පූජෝපහාර නොඅඩුව එලවූහ. එකල හෙළදිව පුරා පොසොන් උත්සවයන් පැවැත්වුන අතර රජතුමා ඇතුලු රට වැසියන් ප්‍රීතියෙන් -කෙළිදෙලෙන් සතුටු වෙමින් සතළිස් දහසක් පිරිස සමග මිස්සක පව්වට නැගුනේ මුව දඩයම විනෝදාංශයක් වූ බැවිනි. මිහිඳු මහා රහන් වහන්සේ ඇතුලු ධර්මදූත පිරිස එම පර්වතයට වැඩම කළේ ඒ මොහොතේ දී ය. එක්තරා වනදෙවියෙකු විසින් මුවකුගේ වෙසක් මවා තමා රජුට දක්වා ක්‍රමයෙන් පර්වත මස්තකයට පමුණුවා තෙරුන් වහන්සේ පෙනෙන්නට සලසා අතුරුදන් විය. ඒ සමගම තමා හැර සෙසු පිරිස රජුට නොපෙනේවායි අදිටන් කළ මිහිඳු මාහිමියන් “තිස්ස මෙහි එන්න” යැයි නමින් රජු ඇමතූ විට දෙවනපෑතිස් රජු මවිතයට පත්විය. ඉක්බිති මිහිඳු මාහිමියෝ “මහා රජුනි, ධර්මරාජ වූ බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ වූ අපි නුඹට අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෝ වෙමු”යි වදාළහ. බොහෝ කලක පටන් දම්සෝ නිරිඳුන් හා දෙවනපෑතිස් රජු නොදුටු මිතුරෝ වූහ. මිස්සක පව්වෙන් උදා වූ පුන් සඳක් සදිසි මිහිඳු මහා රහතන් වහන්සේගේ කරුණාබර ආමන්ත්‍රණයෙන් පහන් ලයක් ඇති දෙවනපෑතිස් රජතුමා අතින් ගත් ආයුධ බිම දමා තෙරුන් වෙත එළැඹීමත් සමග සෙසු දූත පිරිස ද රජුට පෙනෙන්නට සැලැස්වූහ. වඩාත් පහන් සිත් ඇති දෙවනපෑතිස් රජතුමා විසින් “ස්වාමීනි මොවුහු කවදා පැමිණියාහුදැ”යි ඇසූ විට, තමා සමගම පැමිණි බව මිහිඳු හිමි පැවසූහ. “මෙවන් උපශාන්ත ශ්‍රමණයන් තවත් වෙසේදැ”යි ඇසූ රජුට; “මෙකල දඹදිව කසාවතින් බබළයි” යනුවෙන් වදාළහ. උතුරා නගින ප්‍රීතියෙන් යුතු පිනැති දෙවනපෑතිස් භූපති “ස්වාමීනි කෙසේ පැමිණියාහුදැ”යි ඇසූ විට ජලයෙන් හෝ ගොඩබිමින් නොපැමිණි බව පැවසූහ. බුද්ධිමත් රජතුමා අහසින් වැඩම කළ බව අවබෝධකර ගත්හ.

දෙවනපෑතිස් රජුගේ ප්‍රඥා පාටවය හඳුනාගනු රිසි මිහිඳු මාහිමියෝ අඹ ගසක් හා ඤාතීන් මුල් කර ගත් දෙපැනයක් විමසා රජතුමා පණ්ඩිත බවත් තථාගත ධර්මය අවබෝධ කරගැනීමට පොහොනා නුවණකින් යුතු බවත් හඳුනා ගත්හ. රජු ඇතුළු හතළිස් දහසක් පිරිසට ගැළපෙන ධර්ම පර්යායක් විමසූ මිහිඳු මහා රහතන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ චූල හත්ථි පදෝපම සූත්‍රය වදාළ සේක. අවසානයේ දී තම පිරිස සමග තිසරණයෙහි පිහිටියේ ය. ඒ මොහොතේ දෙවනපෑතිස් රජුට දිවා ආහාරය ගෙනෙනු ලැබී ය. මිහිඳු හිමියන් ඇතුළු පිරිස විකාලයේ ආහාර නොවළඳන බව දැනගත්තේ නමුත් සිංහලයන්ගේ ඇති උදාර ගුණය සිහිකරමින්; “ස්වාමීනි අනුභව කරමුදැ”යි ඇසූ විට, “මහරජුනි, බුදුන්ගේ පැවිදි ශ්‍රාවකයන් වන අපට ආහාර වැළ¼දීම කැපවන්නේ අරුණෝදයේ පටන් මධ්‍යාහ්නය දක්වා පමණක් බව ප්‍රකාශ කළහ. අනතුරුව නගරයට යෑමට ආරාධනා කළ රජතුමාට මිහිඳු හිමියන් ප්‍රකාශ කළේ වන අරණේ නවාතැන් ගැනීම සුවදායක බව ය.

මෙම ලිපියේ ඉතිරි කොටස පොසොන් අව අටවක පෝදා (25) පත්‍රයේ පළවේ.