Print this Article


අටලෝ දහම හමුවේ මහ පොළොව සේ අකම්පිත වෙමු

අටලෝ දහම හමුවේ මහ පොළොව සේ අකම්පිත වෙමු

සැරියුත් හිමියන් පිණ්ඩපාතය සඳහා වඩින බව දුටු එක් බමුණෙක් මෙසේ සිතුවේ ය. සැරියුත් හාමුදුරුවෝ කිසිම දේකට කලබල නොවන, ඉවසීමෙන් කටයුතු කරන ඉතා වැදගත් හිමිනමක් යැයි කවුරුත් කියනවා අසා ඇත්තෙමි.

මේ කාරණය ඇත්තක් ද? බොරුවක් ද? කියා බලන්න ඕනෑ. මෙසේ සිතා පිඬුසිඟා වඩින සැරියුත් හිමිගේ පිටට තදින් පහරක් ගැසුවේ ය. ඉදිරියට තල්ලු වී ගිය සැරියුත් හිමි තමන්ට ගැසුවේ කවරෙක් ද කියා හෝ බැලුවේ නැත. වේදනාව ඉවසමින් ඉදිරියටම වැඩමකළහ. බමුණා ඉදිරියට පැමිණ සැරියුත් හිමියන්ගේ පාමුල වැඳවැටී තමා කළ වරදට සමාවන සේක්වා යි ඉල්ලා සිටියේ ය. හාමුදුරුවනේ ඔබ වහන්සේ, ඉතාම හොඳින් ඉවසීම පුරුදු කළ හිමිනමක් ලෙස ප්‍රසිද්ධයි. එය ඇත්තක්දැයි බලන්නයි මා මේ වැරැද්ද කළේ. අනේ හාමුදුරුවනේ මට සමාව දෙන්න. කියා නැවැත නැවැතත් වැඳ වැටුණේ ය. සැරියුත් හිමි ඔහුට සමාව දුන්හ. ඊට පසු බමුණා ‘ස්වාමීන් වහන්ස, හෙට අපේ ගෙදර දානය සූදානම් කරනවා. ඔබ වහන්සේ, අපේ නිවසට වඩින්න ඕනෑ’යි දානයටත් ආරධාන කළේ ය. ඒ ආරාධනාව පිළිගෙන සැරියුත් තෙරණුවෝ පසුවදා එම නිවසෙහි දානයට වැඩම කළහ. දන්වළඳා ගෙයින් පිටතට වඩින විට එම නිවස ඉදිරිපිට මිනිස්සු රැස්ව සිටියහ. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට හිංසා කළ මේ පුද්ගලයාගේ ගෙදරට දානයට වැඩියේ කුමට ද? අප පැමිණියේ මේ මිනිසාට පාඩමක් උගන්වන්නයි. මේ මිනිසාට දඬුවම් දී නිවසත් කඩා දාන්නට ඕනෑ’යි, ඒ සඳහා සූදානම් වූ' හ.

කලබලකාරී ඒ පිරිස අමතා සැරියුත් හිමියෝ කලබලවන්න එපා, ඉවසන්න, මේ මිනිසා තමන් කළවරදට මගෙන් සමාව ගත්තා. කළ වැරැද්ද තේරුම්ගෙන දැන් හොඳ අයෙකු බවට පත්වෙලයි ඉන්නේ. අප ඉවසන්න අවශ්‍යයි. කළ වැරැද්ද තේරුම් ගැනීමයි අවශ්‍ය ය. දැන් ඒ තැනැත්තා නිවැරැදි මාර්ගය තේරුම් ගෙන ඒ මගෙහි ගමන් කරන පුද්ගලයෙකු බවට පත්වෙලයි ඉන්නේ’ යනුවෙන් ප්‍රකාශ කර සිටියහ. මෙය අවබෝධකරගත් සියලුදෙනා ම නිහඬව ඕනෑම ප්‍රශ්නයක් ඉදිරියේ ඉවසන සුළු, බුද්ධිමත් පිරිසක් බවට පත්වූහ. සමාජගත සිද්ධීන් දෙස බලනවිට සැරියුත් හිමියන්ගේ ඉවසනසුළු උදාර චරිතය අපට මහඟු ආදර්ශයක් පෙන්නුම් කරයි. එක දවසක් සැරියුත් හිමියන් තම හිස බාගෙන රාත්‍රියෙහි එළිමහනෙහි වැඩසිටියහ. උන්වහන්සේගේ හිසට සඳ එළිය වැටීම නිසා හිස දීප්තිමත් ව බැබළිණි. ඒ මොහොතේ අහසින් යන යක්ෂයන් දෙදෙනෙකුගෙන් එක යක්ෂයෙක් අනෙක් යක්ෂයාට කියනවා බබළන ලස්සන හිසක් පෙනෙනවා. ටොක්කක් අනින්න ඕනෑ කියා සූදානම් වන විටම අනෙක් යක්ෂයා එසේ නොකරන ලෙස වළක්වන්න උත්සාහ කළේ ය.එයට අවනත නොවී, සැරියුත් තෙරණුවන්ගේ හිසට ඉතා වැරෙන් පහරක් ගැසුවේ ය. හිස ඉදිමී රතු පැහැ ගැන්විණි. සැරියුත් හිමිගේ හිස ඉදිමී රතු පැහැ ගැන්වී තිබෙනු දුටු මුගලන් හිමි, හාමුදුරුවනේ, හිස ඉදිමී රතු පැහැ ගැන් වී ඇත්තේ ඇයිදැයි විමසූහ. “පොඩි පහරක් වැදුණා. එය ගණන් ගත යුතු දෙයක් නොවෙයි.” සැරියුත් හිමියෝ පිළිතුරු දුන්හ.

තමන්ට පහර දුන්නේ කවුරු ද? කුමක් නිසා පහර දුන්නා ද? තමන් කළ වරද කුමක් ද? එසේ පහරක් එල්ල කළේ ඇයි යනාදී කිසිවක් විමසන්නට නොගියහ. ඒ ප්‍රහාරය ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා ඉවසීමෙන්, උපේක්ෂා සහගතව, නිහඬව කටයුතු කළ ආකාරය අපට ඉතා වැදගත් ය.

දිනක් රාහුල හිමියන් ඇතුළු මහා සංඝරත්නය සැරියුත් හිමියන්ගේ ගම වූ නාලක ගමට පිණ්ඩපාතය සඳහා වැඩම කළහ. එහිදී සැරියුත් හිමිගේ මවගේ නිවසටත් පිඬු පිණිස වැඩම කළහ. තම දරුවන් මහණ වූ නිසා සැරියුත් හිමිගේ මෑණියන් මහා සංඝරත්නය කෙරෙහි තරහින් පසුවිය. භික්ෂූන් දකින සෑම අවස්ථාවකම උන්වහන්සේලාට දොස් කීවා ය. බැණ වැදුණා ය. “ගෙවල් දොරවල්වල ඕනෑ තරම් කන්න බොන්න තියෙද්දී ගෙයක් ගෙයක් ගානේ හිඟා කනවා.” කියමින් දොස් කීවා ය.මොනතරම් දොස්කීවත් ඇය පාත්‍රය පුරා දන් බෙදන්නීය. මොනතරම් අපහාස කළත් භික්ෂූහු නිහඬව පිණ්ඩපාතයෙහි වැඩම කළහ. ඒ දෝෂාරෝපණවලට පිළිතුරු දෙන්න සූදානම් නොවූහ. පිණ්ඩපාතයට ගොස් විහාරයට වැඩම වූ පසු 'රාහුල අද පිණ්ඩපාතය සඳහා ගියේ කුමන ප්‍රදේශයකට දැ' යි බුදුරදුහු ප්‍රශ්න කළහ.

අද පිණ්ඩපාතය සඳහා ගියේ නාලක ගමට යැයි රාහුල හිමි පිළිතුරු දුන්හ. ‘රාහුල ඔබ වහන්සේලා පිණ්ඩපාතය සඳහා සැරියුත් හිමිගේ මවගේ නිවසටත් වැඩියාද? ‘එහෙමයි, බුදුහාමුදුරුවනේ’ රාහුල හිමියෝ පිළිතුරු දුන්නහ. සැරියුත් හිමිගේ මෑණියන් කුමක් කීවාද? කියා ඇසූ විට “අපට හරියට බැන්නා, දොස් කීවා, සිඟන්නන් වාගේ ගෙයක් ගානේ යනවා කියා දොස් කීවා. හැබැයි මොනතරම් දොස් කීවත් අපට හොඳින් දානය බෙදුවා යැයි රාහුල හිමියෝ පිළිතුරු දුන්නහ. ඔබ වහන්සේලාට දොස් කියනවිට ඔබ වහන්සේලා මොනවද කීවේ? අපි කිසි දෙයක් කීවේ නැහැ. කලබල වුණේ නැහැ. සියල්ලම අසාගෙන නිහඬව සිටියා. රාහුල හිමියෝ ප්‍රකාශ කළහ. හරිම හොඳයි කලබල නොවී ඉවසා සිටීම ඉතා වැදගත්.

කෙනෙක් තර්ජනය කළත්, නින්දා අපහාස කළත්, පහර දුන්නත්, මරණීය තර්ජනය කළත් අප ඔවුන් වෙත එබඳු ප්‍රතික්‍රියා නොකළ යුතුයි. ඒ සියලු අභියෝගයන්ට ඉවසීමෙන් මුහුණ දීමේ ශක්තිය අප තුළ වර්ධනය කරගත යුතුව ඇත. මේ අයුරින් ඉවසීම තුළින් මහත් සැනසිල්ලක් ලබන බව නිතර සිහි කළ යුතු ය.

එක් දිනෙක තරුණ භික්ෂුවක් ‘බුදුහාමුදුරුවනේ, ඔබවහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවන සැරියුත් හිමියන් දැන් මොහොතකට පෙර මට කනට පහරක් ගසා පිටවන ලෙස දැන්වූවා’යි බුදුරදුන් වෙත පැමිණ පැමිණිල්ලක් කළේ ය. සැරියුත් හිමි එසේ ක්‍රියා නොකරන බවත්, මේ භික්ෂුව බොරු පැමිණිල්ලක් කළ බවත් බුදුහාමුදුරුවෝ දැන සිටියහ. එසේ වුවත් මේ පැමිණිල්ල විසඳීම සඳහා තමන් වෙත පැමිණෙන ලෙස සැරියුත් හිමිට දන්වා සිටියහ. සැරියුත් හිමි තමන් වෙත පැමිණීමෙන් පසු ‘ශාරිපුත්‍රය, මේ තරුණ භික්ෂුවට ඔබ වහන්සේ කනේ පහරක් ගසා, ඒ ගැන කිසිත් නොසිතා, ඒ ගැන සමාවක් ද නොගෙන යන්නට ගියාය කියා මාවෙත පැමිණිලිකර තිබෙනවා, ශාරිපුත්‍රය, ඔබ මේ ගැන කියන්නේ කුමක්ද? ‘බුදුරජාණන් වහන්ස, මා මහපොළව වගෙයි, වතුර වගෙයි, මා ගින්න වගෙයි මා සුළඟ වගෙයි.

මහපොළොවට, වතුරට, ගින්නට, සුළඟට හොඳ දේ දැම්මත්, නරක අපවිත්‍ර දේ දැම්මත් එක සමානව පිළිගනී. හොඳ දේ දැම්මා කියා ඒ අයට ප්‍රශංසාවක්වත්, සතුටක්වත් නරක, අපිරිසුදු දේ දැම්ම කියා අසතුටක්වත්, දෝෂාරෝපණයක්වත් දක්වන්නේ නැත. හොඳ නරක සියලු දෙයම උපේක්ෂාවෙන් පිළිගනී. ඒ හැමදේම ඉවසයි. දෙපැත්තටම හෙළන්නේ සම දැක්මකි. මේ අයුරින් තමන් තුළ පවතින ඉවසීමේ ගුණය, මධ්‍යස්ථ ස්වභාවය, ප්‍රශ්න ඉදිරියේ අකම්පිත ස්වභාවය උපමා නවයක් තුළින් පෙන්වා දුන්නහ. තමන් වහන්සේ පයේ කුණු පිසදාන පාපිස්සක් වැනි බවත්, අංකැඩුණු ගොනෙකු හා සැඩොල් ළමයෙකු සේ නිරහංකාර බවත් පෙන්වා දුන්නහ.

තමන් වෙත මොනතරම් දෝෂාරෝපණ, නින්දා අපහාස, උපහාස එල්ල කළත් ඒ සියල්ලම කරුණාවෙන්, මෛත්‍රීයෙන්, උපේක්ෂාවෙන් ඉවසන ආකාරය ඉතා පැහැදිලිව පෙන්වා දුන්නහ.

මෙය ඇසූ එතන සිටි පෘථග්ජන භික්ෂුහු හඬමින්, කඳුලු සලමින් සැරියුත් හිමියන්ගේ ඒ උදාර ගුණය වර්ණනා කළහ. සැරියුත් හිමි තමන්ට කනේ පහරක් ගැසුවා යැයි බොරුවක් කී තරුණ භික්ෂුව වෙව්ලමින්, ගැහෙමින් සැරියුත් හිමිගේ පා මුල වැඳ වැටී සමාව ඉල්ලී ය. කිසිම ප්‍රශ්නයක් ඇතිකර නොගෙන සැරියුත් හිමියෝ බොරුවක් කියමින් තමන් වහන්සේට අපහාස කළ ඒ තරුණ භික්ෂුවට සමාව දුන්නහ.

අද සමාජගත සිද්ධීන් දෙස බලනවිට සාරිපුත්ත සීහනාද සූත්‍රයේ සඳහන් ඉහත දැක්වූ කරුණු අපට ඉතා වැදගත් වේ. අද සමහර අයට විවිධ පැතිකඩවලින් නින්දා අපහාස, දෝෂාරෝපණ, විවේචන එල්ලවන බව දැක ගන්නට පුළුවනි. ඒවා සමහරවිට සත්‍ය වන්නටත් පුළුවනි. අසත්‍ය වන්නටත් පුළුවනි. තමන්ගේ පැවැත්ම නිවැරැදිනම් මේ කිසිම දෙයකින් කම්පිතවෙන්නට අවශ්‍ය නැත. ප්‍රශංසා, නින්දා, සැපදුක් වැනි අට ලෝ දහම තුළ මහපොළොව මෙන් අකම්පිතව නොසැලී ඉදිරියටත් තම නිවැරැදි කාර්ය භාරය කරගෙන යෑමට අපි උත්සාහ කරමු. බුද්ධිමතා කළ යුත්තේ ද එය ම ය.