[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තේරුම් ගැනීම සහ තෝරා ගැනීම

තේරුම් ගැනීම සහ තෝරා ගැනීම

තේරුම් ගැනීම සහ තෝරා ගැනීම යන මෙම මාතෘකාවෙන් අප අදහස් කරනුයේ මිනිස් ජීවිතය තුළ භෞතික පැවැත්ම ආරවුල්වලින් තොරව, හැළහැප්පීම්වලින් තොරව පවත්වා ගැනීමටත්, සිය අධ්‍යාත්මික ජීවන පැවැත්මට ඉවහල් වන අයුරින් පරිසරය සකස් කර ගන්නා ආකාරයත්, පිළිබඳව දැනුවත් කිරීම යි.

බොහෝ දෙනා තම ලෞකික ජීවිතයේ පැවැත්ම උදෙසා සහ ලෝකෝත්තර අභිවෘද්ධිය උදෙසා නිසි තෝරා ගැනීමක් නො කරන නිසාත්, නිසි තේරුම් ගැනීමක් නොමැති නිසාත් තම ජීවිතය විශාල අපහසුතාවයන්ට පත් කර ගන්නා ආකාරය අපට කොතෙකුත් දකින්නට තිබෙනවා.එවන් අයට නිරන්තර පසුතැවිල්ලෙන් ජීවත් වන්නට සිදු වෙනවා. බොහෝ දෙනා එවන් අවාසනාවන්ත තත්ත්වයකට පත් වන්නේ මතුපිටින් අත ගා බාහිර ස්වභාවය මත තේරුම් ගැනීමෙන් තොරව තෝරා ගැනීම්වලට ඉදිරිපත් වෙන නිසයි. ඒ නිසා ඇසින් දකින දෙයක් තුළ වුව ද නො පෙනෙන ඇතුළාන්තයක් තිබෙන බව තේරුම් ගන්න උත්සාහ කරන්න. විමසිලිමත් වන්න.

තෝරා ගැනීම සහ තේරුම් ගැනීම යන කාරණා දෙකෙන් පළමුව කළ යුත්තේ කුමක් ද? කළ යුත්තේ පළමුව තේරුම් ගෙන පසුව තෝරා ගැනීමයි. සමහරු පළමුව තෝරා ගෙන දෙවනුව තේරුම් ගන්නට උත්සාහ කරනවා. එවිට සිදු විය යුතු හානිය සිදු වී හමාර විය හැකියි. සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන බොහෝ සිදුවීම් තුළින් ඒ ගැන මනාව වටහා ගත හැකියි. විශේෂයෙන් ම මෙකල තරුණ පරපුර තම අනාගත සහකරු හෝ සහකාරිය සොයා ගැනීමේ දී භාවිත කළ යුතු ක්‍රම වේදය වන්නේ පළමුව තේරුම් ගෙන පසුව තෝරා ගැනීමයි.

තීරණ ගැනීමේදී ...

කෙනෙකු ඇසින් දුටු පමණින් ඔහුගේ හෝ ඇයගේ බාහිර රූපයට ඇළී හදිසි තීරණ ගත යුතු නොවේ. කිසියම් කෙනෙක් කෙරෙහි කැමැත්තක් ඇති වූ සැණින් දැඩි සබඳතා ගොඩ නගා ගන්නට පළමුව ඒ කෙනා කාලයක් හොඳින් ඇසුරු කළ යුතු වෙනවා. එය ද ටික කාලයක් නොවෙයි. දිගු කාලයක් විය යුතුයි. ඇතැම් විට සිහියෙන් නුවණින් තොර ව දිගු කාලයක් ඇසුරු කළ ද කෙනෙකු නිසි ලෙසින් වටහා ගැනීමට අපහසු විය හැකියි. එබැවින් කිසියම් කෙනෙකු සිහියෙන් සහ නුවණින් යුතුව දිගු කාලයක් ඇසුරු කිරීමෙන් ඒ පුද්ගලයාගේ ස්වභාවය තේරුම් ගත යුතු වෙනවා. බුදුපියාණන් වහන්සේ ද අවධාරණය කර ඇත්තේ එයයි. ( සංවාසේන බෝ මහාරාජ, සීලං වේදිතබ්බං තඤ්ච ඛෝ දීඝේන න අද්ධුනා) එසේ යම්තාක් දුරට හෝ තේරුම් ගත්තාට පසුව කරනු ලබන තෝරා ගැනීම බොහෝ විට සාර්ථක වෙනවා.

තේරුම් ගැනීම සහ තෝරා ගැනීම යන මේ කාරණාව ලෞකික සහ ලෝකෝත්තර යන දෙපැත්තට ම අදාළ වෙනවා. තම අධ්‍යාත්මය දියුණු කර ගන්නා කෙනෙකුට වුව ද, තමාට ම අවංක වී , තම චරිතාංග මනා ලෙස තේරුම් ගෙන, එයට අනුව සුදුසු භාවනා කර්මස්ථාන පුරුදු කිරීම තුළින් නිවනට සමීප විය හැකි වෙනවා.

වර්තමාන සංකීර්ණ සමාජ රටාව තුළ ජීවන් වන මිනිසුන් බොහෝ දෙනා විවිධ අංශවල අතරමං වී සිටින්නේ මේ තේරුම් ගැනීම හා තෝරා ගැනීම නිසි ලෙසින් සිදු කළේ නැති නිසයි. තමාට ගැළපෙන දෙය කුමක් ද? නොගැලපෙන දේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි බොහෝ දෙනා නුසුදුසු දේ ම තෝරා ගෙන තම ජීවිතය ම අසාර්ථක කර ගන්නවා.

නිසිලෙස වටහා ගැනීම

තමාගේ අධ්‍යාපනයට, වයස් සීමාවට, ආර්ථික ස්වභාවයට, ජීවත් වන පරිසරයට ගැළපෙන්නේ කුමක්දැයි නිසි ලෙසින් වටහා නොගන්නේ නම් බොහෝ විට තෝරා ගනු ලබන දේ තුළ සිදුවන්නේ ඒ පුද්ගලයාගේ දියුණුවක් නොව පරිහානියක් මැයි. තමන්ට නො ගැළපෙන නුරුස්සන දෙයක් තමා විසින් ම අනවබෝධය නිසා හෝ තෝරා ගැනීමෙන් සිදු වන්නේ ඒ පුද්ගලයාගේ සිත තුළ රාග, ද්වේශ, මෝහ, වෛර, ඊර්ෂ්‍යා, කළකිරීම් ආදී නරක සිතිවිලි වර්ධනය වීමයි. ඒ තුළ එම පුද්ගලයා නිරන්තරයෙන් තැවීමෙන් හා අසහනයෙන් සිටින කෙනෙක් බවට පත් වෙනවා. සිහියෙන්, නුවණින් යුතු ව තම තේරුම් ගැනීම සිදු කරන්නේ නැතිව තෝරා ගන්නා තැනැත්තාට සිදු වන්නේ බොහෝ විට තම ජීවිත කාලයේ සදාතනිකව විඳවන්නෙක් බවට පත්වීමයි. ක්ෂණික තෝරා ගැනීම් මත ජීවිතය විඳින්නට ගොස් සදාතනික විඳවන්නෙක් බවට පත් වන්නේ නැති ව, අනවශ්‍ය කලබලවීම් හා ඉක්මන්වීම්වලින් තොරව, ආවේගයන්ට, මුල් තැන දෙන්නේ නැතිව කටයුතු කිරීම් හැම අතින්ම අගය කළ යුතු ක්‍රියාවක් වෙනවා.

මේ ලෝකයේ අප මොන තරම් තෝරා ගැනීම් කළත් ඒ සියල්ල අපට හිමි වන්නේ නැහැ.අප කැමැති දේ ම ලෝකයේ සැමදා අපට ලැබෙන්නේ නැහැ. අප බලාපොරොත්තු වෙන පරිදි ලෝකයේ සෑම දෙයක් ම සිදු වන්නේ නැහැ. ඒ ලෝකයේ ස්වභාවය යි. ඒ ලෝක ස්වභාවය ද තේරුම් ගැනීම ඉතා වටිනවා. සිතු දේ නොම වේ. නොසිතු දේ ම වේ යනු ද ලෝක ස්වභාවයක්. (අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති) මේ ස්වභාවය වටහා ගෙන, තේරුම් ගෙන කටයුතු කිරීම බොහෝ මානසික අසහනයන් දුරු කර ගැනීමට බෙහෙවින් ම ඉවහල් වෙනවා.

නියම තෝරා ගැනීම

මේ තත්ත්වය නිසි ලෙසින් වටහා ගත්තේ නැති තැනැත්තා නිරන්තරයෙන් ම තමන් සිතන පතන, බලාපොරොත්තු වෙන දේ එලෙසින් ම සිදු විය යුතු යැයි සිතනවා. එසේ සිතා සිටින විට සිතු දේ, බලාපොරොත්තු වූ දේ සිදු වන්නේ නැති නම් විවිධ ගැටුම් ඇති කර ගන්නවා. සිත නිරන්තරයෙන් ම අතෘප්තිකර ස්වභාවයකින් පවත්වා ගෙන යනවා. මේ ස්වභාවය මත ඒ තැනැත්තා සිතත්. කයත්, යන දෙකම පීඩාවට පත්කර ගන්නවා. එයින් ද නවතින්නේ නැතිව අන් අය දෙසටත් ඒ අසහනකාරි ස්වභාවය පතුරුවනවා. ඒ නිසා ඔවුනොවුන් තුළ වෛරය, ඊර්ෂ්‍යාව ආදි දුෂ්ඨ චේතනා ඇති වෙනවා. එය සමස්ත සමාජය ම පරිහානියට ඇද දමන්නට හේතු වෙනවා.

බුදුදහම අපට උගන්වන්නේ තමන් සුවෙන්, සහනයෙන් ජීවත් වන ගමනේ ම අන් අයගේ ජීවිතවලට ද සුවයක්, සහනයක් ගෙනෙන ලෙස තම ජීවන පැවැත්ම සකස් කර ගන්නා ලෙසයි. තේරුම් ගැනීමෙන් කරනු ලබන තෝරා ගැනීම තුළින් ජීවිතය තුළ සෑම අංශයක ම සතුට හා සහනය උදා කර ගත හැකියි. දෛනික ජීවිතයේ මේ ගැන මනා දැනුවත්වීමකින් කටයුතු කරන්නේ නම්, ඒ තැනැත්තාට ලැබෙන මානසික සැනැසිල්ල වචනයෙන් විස්තර කිරීමට තරම් අපහසුයි.

ඒ අනුව ජීවිතයක් ජය ගැනීමට ප්‍රථමයෙන් ම සිදු කළ යුතු දේ වන්නේ කළ යුතු දේ කළ යුතු දේ ලෙසත්, නොකළ යුතු දේ නොකළ යුතු දේ ලෙසත්, කුසලය කුසලය ලෙසත්, අකුසලය අකුසලය ලෙසත් තේරුම් ගැනීම බව අප විසින් තේරුම් ගත යුතු වෙනවා. එය ම අපගේ නියම තෝරා ගැනීම වේවි.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]